Print this Article


මිහිපිට ම අපායක් කර ගත් කල...

මිහිපිට ම අපායක් කර ගත් කල...

සුරාමෙරය මජ්ජ පමාදට්ඨානා යනු පංචශීල ප්‍රතිපත්තියේ පස්වැනි සිල් පදයයි. වෑත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍යයේ දී සුරාමෙරයෙන් මත් වූ පුද්ගලයන් පිළිබඳ ව හරි අපූරුවට සඳහන් කර තිබෙනවා.

රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්

ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලයා සුරාවෙන් මත් නොවී සිහියෙන් යුක්තව අප්‍රමාදව සිටිය යුතුයි. සුරාවෙන් මිදුණු තැනැත්තාගේ පරලොව ජීවිතය පමණක් නොව මෙලොව ජීවිතය ද වාසනාවන්ත වෙනවා.

තරුණ, මහලු, දුප්පත්, පොහොසත්, වැදගත්, නොවැදගත් ආදී වශයෙන් සමාජයේ කුමන මට්ටමකින් ජීවත්වන පුද්ගලයෙක් වුවත් මත් උවදුරට ගොදුරු වෙනවා නම්, ඔහු කායික, මානසික දුබලතාවන්ට පත්වෙනවා. ඔවුන්ගේ පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. ඔවුන්ගේ සමාජ සංස්ථාව බිඳ වැටෙනවා. “උම්මත්තකා විගත ලජ්ජගුණ භවන්ති” යන ආදී වශයෙන් ලජ්ජාව, භය පහ වී උමතු ස්වභාවයට පත්වන මත්ලෝලියා තමාට පමණක් නොවෙයි, මුළු සමාජයට ම බරක් වෙනවා.

එනිසා ඉතා උසස් තත්ත්වයට දියුණු කළ හැකි මනසකින් හෙබි මිනිස් දිවියක් ලැබූවෙකු සුරාසොඬෙකු වශයෙන් මිහිපිට අපායක් නිර්මාණය කොට ජීවත් වෙත් නම් පරලොව ගැන කුමන කතා ද?

“මජ්ජ පමාදට්ඨානා” තේරුම් ගැනීම සඳහා අටුවාවේ ද ඉදිරිපත් කොට ඇති කාරණා ඉතාම වැදගත් වෙනවා. එනම්,

සුරාමෙරය මජ්ජ පමාදට්ඨානාති එත්ථ
සුරාති පඤ්චසුරා
පිට්යාසුරා පුවසුරා මෙරයම්ති
පුප්ඵාසවො

ආදී වශයෙන් මෙහි සඳහන් ආකාරය “සුරා” යනු පිටි ආදියෙන් සාදා ගන්නා දේ ය.

“මේරය” යනු මල්පැණි ආදියෙන් පෙරා ගන්නා දේ ය.

“මජ්ජ” යනු එම සුරා හා මේරය දෙවර්ගයෙන් ම මත් කරවන අදහසයි. එසේම යම් මත් කරවන දෙයක් තිබේ ද? යමක් පානය කිරීමෙන් මත් වෙයි ද? ප්‍රමාද වෙයි ද? එය මජ්ජයයි. මෙයින් පැහැදිලි වන්නේ මජ්ජ කියන්නේ මත්වීම බවයි.

ඒ අනුව “සුරාමෙරය මජ්ජ පමාදට්ඨානා වේරමණී” යනු මත්වීමට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැළකීමයි.

අපේ දරුවන් නොමඟට යෑමෙන් වළක්වා ගැනීමට දෙමව්පියන්ට විශාල වගකීමක් තිබෙනවා. අප සමාජයේ කිසිවකුටවත් එම වගකීමෙන් මිදෙන්න බැහැ. එම නිසා දරුවන් මත්වතුර ඇතුළුව අනෙකුත් මත්ද්‍රව්‍යවලට යොමු වීමෙන් වැළැක්වීමට සුවිශේෂී අවධානයක් අපි අපේ දරුවන් කෙරේ යොමු කළ යුතුයි. මතට ඇබ්බැහි වූවන් එම අවස්ථාවක හැසිරෙන්නේ යහපත් චේතනාවලින් නොවේ. එවැනි අවස්ථාවක ඔහු මරණයට පත්වුවහොත් උපදින්නේත් නරක ස්ථානයකයි. සුළුවෙන් හෝ වැරැදි දෙයකට ඇබ්බැහි වීම භයානකයි. ඉතා සුළුවෙන් පටන් ගන්නා දේ තමයි ඊළඟ පියවර වශයෙන් ඇබ්බැහිකමට යොමුවීමට පෙලඹෙන්නේ. ඉන් වන්නේ විශාල හානියක්.

කුමන ආකාරයකින් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම අපට සාධාරණීකරණය කරන්න බැහැ. මතට ඇබ්බැහි වූවන් ඉන් විශාල තෘප්තියක් ලබන බව ඇතැම්විට ප්‍රකාශ කරනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් තමන්ට ලැබෙනවා කියන වාසි හා අනෙක් අතට මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුහුණ දෙන ආදීනව හෙවත් අයහපත් විපාක පිළිබඳ කිරා බැලුවහොත් ඝෘජු වශයෙන් ම බීමත්කමේ ආදීනව වැඩියි.

බීමත් පුද්ගලයන් හැසිරෙන්නේ වීරයන් වගේ ආවේගශීලීවයි. ඔහුට භය, ලජ්ජාව කියලා නැහැ. බීමත් පියවරු නිසා කොයිතරම් නම් පවුල් ආරවුල් ඇතිවෙනවා ද? එම පවුල්වල අඬදබර ඇතිවෙනවා ද. මේවා දකින දරුවන්ගේ අනාගතය කොයිතරම් නම් විනාශ වෙනවා ද? මත් වතුර පානයෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීමයි කළ යුත්තේ. වඩාත් භයානක වන්නේ මෙයට ඇබ්බැහි වීමයි. මත්වතුරට ලොල් වූ පාලකයින් සිටි රටවල් පවා විනාශ වූ බව ජාතක කතාවල සඳහන් වෙනවා.

සුරාමේරයෙන් සිදුවනුයේ පුද්ගලයා මත්වීමයි. එසේ සුරාවෙන් මත් වූ පුද්ගලයකුට කළ යුතු දේ හෝ නොකළ යුතු දේ පිළිබඳ ව නිවැරැදි තීරණයකට එළඹිය නොහැකියි. ඒ වගේම සුරාවට ඇබ්බැහි වුවත් ශාරීරික දුර්වලතාවලට ලක් වීම වැළැක්විය නොහැකියි.

සුරාමෙරය පානං භික්ඛවේ ආසෙවිතං
භාවිතං බහුලීකතං
නිරය සංවත්තනිකං තිරච්ඡාන යොනි
සංවත්තනිකං පෙත්ති විසය
සංවත්ති නිකං
යො සබ්බලහු සො සුරාමෙරය පානස්ස
විපාකො,
මනුස්සභූතස්ස
උම්මත්තක
සංවත්තනිකො හොතී

සුරාමේරයෙහි නිතර නිතර යෙදෙන්නා හෙවත් ඊට ඇබ්බැහි වූවෝ සතර අපායේ උප්පත්තිය ලබන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම්කිසි ආකාරයකින් ඔහු සතර අපායේ උප්පත්තිය නොලබා මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවහොත් උන්මත්තකයකු, බිහිරකු සේ අඩු ලුහුඬුකම් ඇතිව උප්පත්තිය ලබන බවයි අදහස් වන්නේ.

බුදුරජාණන් වහන්සේ අපාය මුඛ හයක් දේශනා කළා. අපාය යනු සැප නැති තැනයි. සුරාමේරය නිසා මුහුණදීමට සිදුවන ආදීනව හයක් බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. එනම්,

මෙලොව දී ම ඇස්පනාපිට ම තමන් සතු ධනය, භෝග විනාශ වෙනවා.

කෝලාහල ඇතිවෙනවා
රෝග ඇතිවෙනවා
අපකීර්තිය පැතිරෙනවා
ලජ්ජාව නැතිවෙනවා
ප්‍රඥාව හීන වෙනවා.

මත්ද්‍රව්‍ය නිසා ප්‍රඥාව හීන වීමෙන් මතකය නැති වෙනවා. එනිසා ම යහපත් අරමුණු කරා ගමන් කිරීමට ඇති ශක්තිය නැති වෙනවා.

එනිසා සත්පුරුෂයන් මත්වතුරෙන් සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතුයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෙර රජ දවසේත් මත්වතුර පානය කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රජුන් මත්වතුර බීමට ගිය ස්ථාන ආපාන භූමි ලෙස සාහිත්‍යයේ හඳුන්වා තිබෙනවා. ආපාන භූමිවලට රජුන් ගොස් ඇත්තේ සියලු රාජාභරණවලින් සැරසී ඉතාමත් රාජකීය ලීලාවෙන් බවයි සඳහන් වන්නේ. බොහෝ දෙනා තමන් කරන වැරැදි දේ වසා ගැනීමට අතීතයෙන් හෝ වර්තමානයෙන් හේතු සෙවීමට උත්සාහ කරනවා මිස මුළු ජීවිත කාලයේදීවත් නිවැරැදි කර ගන්න උත්සාහ කරන්නේ නැහැ.

රටක් වශයෙන් ගත් විට මුළුමනින්ම මත්වතුර පානය කිරීම වැළැක්වීමට පුළුවන් ද? ඇත්ත වශයෙන්ම එය ප්‍රායෝගික තත්ත්වයක් නොවේ. රටක් කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න තැනක් නොවේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටිනවා. ඒ අයගේ සිතුම් පැතුම් වෙනස්. ඒ වගේම රටක සංචාරක ව්‍යාපාරයක් පවතිනවා. එනිසා මුළුමනින්ම මත්වතුර පානය නතරවීමක් අපේක්ෂා කළ නොහැකියි. එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැක්කේ උත්තරීතර සමාජයක විතරයි. සමහර ශීත රටවල් තිබෙනවා ඒ අය එම තත්ත්වය නැති කර ගැනීම සඳහා මත්වතුර භාවිත කරනවා. නමුත් ශ්‍රී ලංකාව වැනි සමශීතෝෂ්ණ රටක එවැනි අවශ්‍යතාවක් පැන නඟින්නේ නැහැ. එනිසා රටක් වශයෙන් මුළුමනින් ම මතට තිත තැබිය නොහැකි වුවත්, එය ඉහළ ප්‍රතිශතයක් යටතේ උපරිම පාලනයක් කළ හැකියි. අප එතැනට යා යුතුයි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ආශ්‍රයෙන් සකස් කෙරිණි.