Print this Article


සැනසිල්ලෙන් ජීවත්වෙලා සැහැල්ලුවෙන් හුස්ම පිටකරන්න

සැනසිල්ලෙන් ජීවත්වෙලා සැහැල්ලුවෙන් හුස්ම පිටකරන්න

ජීවිතයේ ගෙවන හැම තත්පරයකම සතුට, සැනසුම, සැහැල්ලුව අපට තිබෙනවා නම් එය කෙ තරම් යහපතක් ද? සෑම තත්පරය ම සුව සේ පීඩාවක් නැතුව ජීවිතය ගෙවා දැමීමේ පහසුව කොහොමද අපි ඇතිකර ගන්නේ? බුද්ධ දේශනාවේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ලෝකයේ ජීවත්වන හැම කෙනකු දෙසම බලා මෛත්‍රී සිතක් උපදවා ගන්න අපට පුලුවන් නම් එය තමා ලබන ජයග්‍රහණයක් කියලා. යම් කෙනෙක් යම් දක්ෂතාවක්, යම් සැපතක් ලබා තිබෙනවා නම් ඒ අය ඒ කිසි දෙයකින් පිරිහෙන්න එපා. තමා සමඟ එකට ජීවත්වෙන, දකින්නට අහන්නට ලැබෙන සියලු ම දෙනාට ම එසේ හදවතින් ම පතන්නට පුලුවන් නම් එය කෙතරම් වටිනවාද?

මේ කිසි කෙනෙක් ලද දෙයින් පිරිහෙන්න එපා. මාගේ සතුරෝ වේවා. මිතුරෝ වේවා ඔවුන්ට මේ තිබෙන සුව පහසුව නම් අහිමි වෙන්න එපා. ඔවුන්ට තව තවත් දියුණුවක් ම ලැබේවා කියා සිතන සිතක් තිබෙනවා නම් ඔහු හෝ ඇය හෝ බොහෝ වාසනාවන්ත යි. ඒක ඒ සිත්වලට සැහැල්ලුව උදාකර දෙනවා.

අසල්වාසී පවුලක දරුවකු හොඳින් අධ්‍යාපනය ලබනවා. නමුත් තමාගේ දරුවා එතරම් දක්ෂයෙක් නොවේ. එතකොට අපේ හිතට දුකක්, සංතාපයක්, වේදනාවක්, එනවා. එසේ නොවී අපට පුළුවන් නම් ඒ දක්ෂ දරුවා ගැන සතුටක් උපදවා ගෙන ඔහුට සෙතක් ශාන්තියක් වේවා කියා මුළු හදවතින් ම සෙත් පතන්න එය කො තරම් සුන්දර අත්දැකීමක් ද? එසේ සිතනවා නම් අපේ සිතේ නිතරම සතුට රැඳී පවතිනවා. සුන්දර රූපයක් තිබෙන කෙනෙක් දුටු විට ඒ සුන්දරත්වය ගැන අපට සතුටු වෙන්න පුලුවන් නම් සතුටින් කතා කරන්න පුලුවන් නම්, ඒ ගුණ වර්ණනා කරන්න පුලුවන් නම්, අපට මොනවා නැතත් සිතේ සතුට ඉතිරි වෙනවා.

ධනවත් කෙනකු දුටු විට, ඇසුරට ලැබුණු විට අපට සිතක් උපදවාගන්න පුළුවන්නම් මොහු තව තවත් දියුණුූ වේවා, ලද සම්පතින් නො පිරිහේවා කියලා හදවතින් ම සිතන්නට පුළුවන්නම් අප කෙ තරම් දුප්පත් වුණත් අපට සතුට ඉතිරිවෙනවා.

අප මේ ගෙවා එන සංසාරය බොහෝම දීර්ඝ යි. බියකරු යි. අමිහිරි යි. මේ ජීවිතයේ මිනිස් ජීවිතය ලැබුවත් ඊළඟ ජීවිතය බොහෝ කටුක වෙන්න පුළුවන්. තිරිසන් සතකුගේ මවුකුසක ඉපදෙන්න පුලුවන්. පේ‍්‍රත ලෝකයේ, නිරයේ බොහෝ දුක් සහිත ලෝකයක ඉපදෙන්නට අපට සිදුවෙන්න පුලුවන්. එහෙම දීර්ඝ සසරක යන අපි සුගති ලෝකයක ඉපදිලත් නැවත කටුක සසරට වැටෙන්නට ඕන ද? නැවත ඊළඟ ජීවිතය මිනිස් ලෝකයේ ඉපදුණා කියලා හිතමු. ඒත් අපි අන්‍ය ආගමික මවකගේ කුසේ පිළිසිඳ ගත්තොත් එදා සිට අපි ඒ ආගමේ. මිත්‍යාදෘෂ්ඨික ජීවිතයක් ගත කරලා බොහෝ දීර්ඝ දුක් සහිත සසර ගමනක් එදා සිට යන්නට සිදු වෙනවා.

එනිසා මේ මිනිස් ලෝකයේ ගෙවා දමන පොඩි කාලයේ අප උපදවා ගතයුත්තේ යහපත යි. යහපත් සිතිවිලි යි. එනිසා මේ සමාජයේ අපි ජීවත් වෙද්දී අන් අයගේ දියුණුව වේවා, රූප ශෝභාව වේවා, කටහඬ වේවා ඒ අයගේ අභිවෘද්ධිය දකිනවිට අපට සතුටු විය හැකි නම්, හදවතින් ම ආශිර්වාද කළ හැකි නම් මේ සමාජයේ බොහෝ පිරිස අතරේ ඔබ උසස් මිනිසෙක් වෙනවා.

කෙනකුගේ දියුණුව දකිද්දී සිසිල් වූ සැනසුමක් විඳිය හැකි නම්? ලස්සන කටහඬක් තිබෙන අයෙක් දුටු විට ඔවුන් මේ තරම් සුන්දර වුනේ පෙර පින නිසයි. ඒ ලස්සනට හානියක් වෙන්න එපා කියා මෙත් සිත, කරුණා සිත, මුදිතා සිත පෙරදැරි කර ගෙන සිතන්නට පුරුදු වුණොත් සතුට අප තුළ පිරෙන්නට ගන්නවා. හරියට උල්පතකින් ජලය ගලනවා වගේ. එවිට හැම තත්ත්පරයක ම හැම මොහොතක ම අපට සතුටින් ඉන්න පුළුවන්. අපි බොහෝ විට දුක් වෙන්නේ අන් අයගේ ප්‍රශ්න අපේ කර ගන්නා නිසා යි. එවිට සිදුවන්නේ අපට බොහෝ පීඩාකාරි ලෙස විඳවන්නට සිදුවීමයි. අල්ලපු නිවසේ පදිංචි අය ඒ නිවස ටිකක් ලොකු කර ගත්තොත් , ගේට්ටුවක් දැම්මොත්, මිදුල ලස්සනට හදා ගත්තොත් මෙහා නිවසේ අයට ඒක උසුලා ගන්න බැහැ. ඒ මනුස්සයා හිතනවා මේ තරම් මුදලක් මේ අයට කොහින් ද? හොරකම් කරනවා ඇති. පගා ගන්නවා ඇති. විෂම ක්‍රියා කරනවා ඇති කියලා හිතනවා. ඒ සමඟම නැති වෙන්නේ තමාගේ සුව පහසුව යි. ඒ වගේ අවස්ථාවක තමන් දුක සේ උපයා ගෙන පිළියළ කර ගත් කෑම වේලවත් අනුභව කරන්නට නොහැකි වෙනවා. කෑම රස නො දැනී යනවා. අපි සසර පුරාවට ම කළේ මේ දේ පමණ යි. ඉදිරියටත් සසරේ ගමන් කරන්නට වෙන්නේ සිතේ ඇති අයහපත් සිතිවිලි නිසයි. එනිසා තම තමන්ගේ සිත දෙස නිතර අවධානය යොමුකර ඒ දෙස බලා සිටින්න. එවිට අපට පුලුවන් වේවි යහපත් සිතිවිලි රඳවාගෙන, අයහපත් සිතිවිලි සිතින් බැහැර කරන්න උත්සාහ කරන්න.

ඒ වගේම අපට පුලුවන් වුණොත් අනෙක් අයගේ දක්ෂතා, අන් අයගේ වත් පොහොසත්කම් අපේ කර ගන්න, ඒ අයට වඩා සතුටක් අපට විඳින්නට පුළුවන් වේවි. ලස්සන රූපයක් තිබෙන කෙනෙක් විඳින සතුට සැනසුමට වඩා ලොකු සතුටක් ලොකු සැනසුමක් එවිට අපට විඳින්න පුළුවන් පෙර කී ක්‍රමයට අප හුරු වුණොත්.

මේ ක්‍රමය හරියට රත් හඳුන් හෝ සුදු හඳුන් පැළයක් පැළ කර ගත්තා වගේ ක්‍රමයක්. හුඟක් වටිනවා. තමාගේ නිවසේ රත් හඳුන් හෝ සුදු හඳුන් පැළයක් තිබුණොත් එහි වටිනාකමක් තිබෙනවා. නමුත් ඒ වටිනා පැළයට උපද්‍රව වැඩියි. ඒ පැළය කුඩා කාලයේ සිට ආරක්ෂා කරමින් ජලය පොහොර නිසි ලෙස ලබා දෙමින් රැක ගත්තොත් ක්‍රමයෙන් වැඩෙන ඒ පැළය පොළොවේ පිහිටනවා. ගෙවත්තේ තිබෙන වල් පැළෑටි වගේ නොවේ. සඳුන් ගහ සරුවට වැඩෙනවා. පැළය වැඩෙන්න, වැඩෙන්න වටිනාකම වැඩියි. නමුත් වල් පැළෑටිය හැදෙනකොට ඒක අපට කරදරයක්. කාලයක් යද්දී හඳුන් ගහේ වැඩුණු අතු ඉතිවලින් පොළොව පවා වසා ගන්නවා. එතකොට ඒ හඳුන් ගස අවට වල්පැළෑටි වුවත් හට ගන්නේ නෑ. ඒ වල් පැළෑටිවලට නැඟිටින්නට හඳුන් ගහ විසින් හිරු එළිය දෙන්නේ නෑ. පෙර කී සිතිවිල්ලත් හරියට හඳුන් ගහ වගේ.

ඒ සිතිවිල්ල මුදිතාව ලෙසයි භාග්‍යවතුන් වහන්සේ හැඳින්වූයේ. අනුන්ගේ දියුණුව දැක සතුටුවීම මුදිතාව යි. අනුන්ගේ අභිවෘද්ධිය දැක සැනසීම මුදිතාව යි. අන් අය දියුණුූවෙද්දී හදවතින් ම කරන ආශිර්වාදය මුදිතාව යි. ඒ මුදිතා චිත්තය සුළුවෙන් හරි අපට තිබුණොත් ඒක ඉතාමත් වටිනා දෙයක්. හඳුන් පැළයක් පොඩියි කියලා වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒ වගේ මුදිතා සිතිවිල්ලත් කුඩා වුවත් වටිනවා. හැබැයි ඒක රෝපණය කරලා, පෝෂණය දීලා බලා ගැනීම තමා සතු දෙයක්. මම පුරුදු කරන මුදිතා සිත දැන් හොඳින් වැඩිලා ද? නැතිනම් තිබුණ තැනම ද? නැතිනම් තිබුණාටත් වඩා අඩු වෙලාද? කියා විමසීමත් තමා සතු දෙයක්. එසේ අපි නිතර සොයා බැලිය යුත්තේ හරි ඉක්මනට ඊර්ෂ්‍යාව කියන වල් පැලෑටිය අපේ හිතේ වැඩෙන නිස යි.

හඳුනාගත් ගමන් වල් පැළෑටිය ගලවා දැමීම කළ යුතු වන්නේ අපි අපට ආදරේ නිසයි. මුදිතා හිත හරි පරිස්සමෙන් අපි රැක ගත්තොත් ඒ මුදිතා හිත හොඳින් දියුණූුවෙන කාලයක් එනවා. ශක්තිමත්ව, බලවත්ව, සුන්දරව වැඩුණු මුදිතා සිතට පහර දෙන්න ඊට පස්සේ කාටවත් බැහැ. එතැන් පටන් අපේ සිතේ රජ කරන්නේ මුදිතාව පමණයි. මුදිතාව වැඩුණුූ සිතේ ඊර්ෂ්‍යාව නැති වී යනවා. එවිට අපට බොහෝ සැනසිල්ලේ ජීවිතය ගෙවා දමන්නට පුලුවන්කම ලැබෙනවා.

එනිසා ඉතාම පොඩි කාලයකට මේ මිනිස් ලෝකයට ආපු අපිට ක්ෂණයෙන් අපි පැතූ සිතූ සියල්ල ම අහිමි වෙන්න පුළුවන්. ඒ ජීවත් වෙන ටික කාලයේ දී අපට පුළුවන් නම් සැනසිල්ලේ ජීවත්වෙලා, සැනසිල්ලේ හුස්මටික පිට කරලා මේ මිනිස් ලෝකය අතහරින්න. ඒක කොතරම් භාග්‍යයක් ද? ඒ භාග්‍ය උදාකර ගන්න පුළුවන් මුදිතාව කියන සිතිවිල්ලෙන්. මුදිතාව කියන සිතිවිල්ල මේ ලෝකයේ පුරුදු කළේ ගුණවත් සත්පුරුෂ උතුමන් වහන්සේයි. ඒ උන්වහන්සේ ප්‍රශංසා කළ අතිශය සොඳුරු ගුණයක්. ඒ සිතිවිල්ල වඩ වඩාත් දියුණු කර ගැනීමට අපට ද ශක්තිය ලැබේවා.!