Print this Article


වනයේ උපන් කලිඟු කුමරුට සක්විති රජකම ලැබුණු හැටි

වනයේ උපන් කලිඟු කුමරුට සක්විති රජකම ලැබුණු හැටි

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භාවයක උපත ලබනවා කලිඟු කුමාරයා කියලා. කාලිංග දේශය කියන විශාල රටේ පාලකයා වෙන්නේ මේ කුමාරයා.

කුමාරයාට රජකම ලබා දෙන්න ඔහුගේ උපතටත් පෙර සිට ම සැලසුම් කරන්නේ සුළු කලිඟු නමින් ප්‍රකට තමන්ගේ පියතුමා. මේ රට පාලනය කළේ ඔහුගේ මුත්තණුවන්. ඔහුට හිටියා දරුවෝ දෙන්නෙක්. වැඩිමහලු දරුවා මහාකලිඟු. දෙවැනි දරුවා සුළුකලිඟු. දවසක් රජතුමා නිමිති කියන්නන් ගෙන්වා ගෙන දරුවන් දෙන්නාගේ ම හඳහන් පරීක්ෂා කර බැලුවා. තමන්ගේ මරණින් පස්සේ වැඩිමහලු පුතා මහාකලිඟු රජ වන බවත්, සුළුකලිඟු කුමාරයා යුවරජ වෙන බවත්, යුවරජකම හැර දමා වන ගත වන බවත් මොනයම් හේතුවක් නිසා ඔහුට දාව දරුවෙක් උපත ලැබුවොත් ඒ කුමාරයා සක්විති රාජ්‍ය ලබා ගන්නා බවත් කියා සිටිනවා.

මේ කතා පුවත රාජ්‍ය පුරා ම පැතිරිලා යන්න පටන් ගත්තා. කුමාරවරුන් දෙදෙනා ම කෙළි දෙලෙන් කාලය ගත කරමින් ක්‍රමයෙන් තරුණ වයසට පත් වුණා. ඇත්, අස්, කඩු ආදී ශිල්ප ඉගෙන ගත්තා. මෙහෙම කාලය ගත වෙද්දී පියරජතුමා මිය යනවා. නිමිති කියන්නන්ගේ පූර්ව නිගමනය අනුව මහාකලිඟු රාජ්‍යත්වයට පත් වෙනවා.

ඔහුට අහන්න ලැබෙනවා දෙදෙනාට නම් තබපු දවසේ නිමිති පාඨකයින් කියපු කාරණා සියල්ලම. යුවරජකමට පත් සුළුකලිඟු කුමාරයාත් ‘මගේ දරුවෙක් අනාගතේ සක්විති රජකම ලබා ගන්නවා’යි කියන මානය ඇතිව කටයුතු කරන්න පටන් ගන්නවා.

මේ කාරණයෙන් බොහෝම බියට පත් වෙන මහාකලිඟු රජතුමා දවසක් තමන්ට වඩාත් විශ්වාසවන්ත ම ඇමැතියෙක්ට කතා කර ‘සුළුකලිඟුව අල්ලාගෙන ඇවිත් සිරගත කරන්න’ යි අණ කරනවා. මේ ඇමැතියා සුළුකලිඟු යුව රජුට බොහෝම හිතවත් කෙනෙක්. ඒ නිසා ඉක්මනින් ම යුවරජු ළඟට ගිහින් ඒ පුවත දන්වා සිටිනවා. සුළුකලිඟු කුමාරයා කල්පනා කරනවා

‘රජකමට වඩා මගේ ජීවිතය මට වටිනවා, ඒ නිසා අදම මේ රාජ්‍යයෙන් පලා යන්න ඕන’යි තීරණය කරලා තමන්ට හිතවත් ඇමැතියාට කතා කරලා

‘අමාත්‍යයෙනි, මම අද රෑ රාජ්‍යය හැරදමා පැන යනවා. මගේ දරුවෙක් අනාගතයේ රාජ්‍යයට පැමිණියහොත් ඔහුට රාජ්‍ය ලබා දීමට උදව් කරන්න. මම අද ගෙනියන මේ පේරැස් මුද්දත්, සියුම් පලසත්, මේ කඩුවත් හොඳීන් බලන්න. මේ තුන කුමාරයා අත එවනවා. මේ සලකුණෙන් ඔහුට සහාය වන්න‘යි කියා වෙස්වලාගෙන රාජ්‍යයෙන් පලා යනවා. කඳු හතකින් වටවුණු මහා වනයකට ගිහින් ගංගාවක් ළඟ ආරාමයක් හදාගෙන තාපස පැවිද්දෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා.

සුළුකලිඟු කුමාරයා උපදින කාලයේ ම සාගල නුවර මධු රජතුමාට දාව රූපයෙන් අගතැන්පත් කුමාරිකාවක් ද උපදිනවා. නිමිති කියන්නෝ ඇයගේ හඳහන පරීක්ෂා කරලා

‘මේ කුමාරිකාවට දාව උපදින දරුවා සක්විති රජකම ලබනවා’යි කියා සිටිනවා. මේ පුවතත් මුළු දඹදිව පුරාම පැතිරිලා ගියා. හැම රාජ්‍යයක ම රජවරු ඇය අගබිසව කර ගැනීමේ අදහසින් මධුරට ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මධු රජතුමා කල්පනා කරනවා

‘රාජ්‍යයට වඩා මගේ දරුවත්, බිසවත් වටිනවා. අදම මේ රාජ්‍ය හැරදමා වන ගත වෙන්න ඕන’යි තීරණය කරලා වෙස් වලාගෙන සුළුකලිඟු කුමාරයා සිටින සත්කඳුවලින් වට වූ වනයට ම පලා යනවා.

ඔවුන් ගංගාවේ ඉහළ ඉවුරේ අසපුවක් හදාගෙන ජීවත් වෙනවා. දියණියගේ සියුමැලි බව නිසාම ඇගේ රූපයට හානියක් වීම වළක්වා ගැනීමට ඇය අසපුවේ නවතා තමයි හැමදාම මව්පිය දෙන්නා පළවැල නෙළාගෙන එන්න වනගත වෙන්නේ. කුමාරිකාව අසපුව අවට ඇවිදින ගමන් ලස්සන මල් නෙළාගෙන ඇවිත් ඒවායින් ලස්සන ලස්සන මල්මාලා ගොතලා හිසේ පැළඳ ගන්නවා. ගංගාවට නැමිලා තියෙන, පහසුවෙන් නඟින්න පුළුවන් පියගැට පෙළ වගේ අතු පිහිටලා තියන අඹ ගහක් උඩට නැඟලා ගීත ගායනා කරමින් විනෝද වීම ඇගේ පුරුද්දක් වුණා.

මෙහෙම විනෝද වෙලා තමන්ගේ හිසේ පැළඳගෙන ඉන්න මල්මාලය ගඟට දාලා එය පාවි පාවී යන හැටි බලන්නත් ඇය බොහොම ප්‍රිය කළා.

ගංගාවේ පහළ ඉන්න සුළුකලිඟු කුමාරයාත් හැමදාම උදේට නාගන්න එන්නේ මේ ගංගාවට ම. දවසක් දිය නාමින් ඉන්න කොට ඔහුගේ හිසේ ගැටෙනවා ලස්සන මල්මාලාවක්. ඔහු ඒක අතට අරගෙන

‘මේ මල්මාලයේ මල් අනුව, මේක නෙළා තිබෙන ආකාරය අනුව මෙය නම් තරුණ ස්ත්‍රීයක විසින් කරපු එකක්. මැහැල්ලක විසින් කරපු එකක් නම් වෙන්න බෑ. ගඟ ඉහත්තාවට ගිහින් බලන්න ඕන‘යි තීරණය කරලා ගංගාවේ ඉහළ ඉවුරට යනවා.

කුමාරයා මධු රජුගේ අසපුව දිහාවට ළං වෙද්දී ම ඇහෙන්න පටන් ගන්නවා කන පිනවන ඉමිහිරි ගීත කියන ස්ත්‍රී කටහඬක්. තව තවත් ළං වෙන කොට දකින්න ලැබෙනවා රූපයෙන් බබළන කුමාරිකාවක්. ඇයත් එක්ක කතා කරලා ආගිය තොරතුරු දෙමාපියන්, කුලගොත් ආදීය දැන ගන්නවා. දෙමාපියන් පැමිණියාට පස්සේ තමන් කලිඟු රට සුළුකලිඟු යුව රජු බව දන්වා ඔහුගේ ඉල්ලීම අනුව දියණිය සරණ පාවා ගන්නවා.

කල් යත්ම ඔවුන්ට දාව උතුම් පුත් රුවනක් ලැබෙනවා. ඔහුට නම් තියනවා කලිඟු කුමාරයා කියලා. පියාගෙනුත්, මුත්තණුවන්ගෙනුත් ශිල්පය හොඳට ඉගෙන ගෙන තරුණ වයසට පත් වෙනවා. මේ කාලයේ දී සුළු කලිඟු යුවරජතුමාට දැන ගන්න ලැබෙනවා මහාකලිඟු රජු මිය ගිය පුවත.

මේ අවස්ථාවේ ‘පුතේ, ඔබ මේ කඩුවත්, පළසත්, පේරැස් මුද්දත් අරගෙන කලිඟු රට අසවල් වීථියේ ඉන්න ඇමැතියාගේ නිවසට ගිහින් මේ සියල්ල පෙන්වා ඔබ මගේ පුතෙක් බව කියන්න. ඔබට රජකම ලබා දෙයි’ කියලා උපදෙස් දීලා පිටත් කරනවා.

කුමාරයාත් ගිහින් ඇමැතියා මුණගැහිලා තොරතුරු කියා සිටිනවා. ඇමැතියා රාජ සභාවට ඉදිරිපත් කරලා රාජ්‍යය පවරා දෙනවා.

කුමාරයා රජ වුණායින් පස්සේ ඔහුට පුරෝහිතකම් කරන්නේ කාලිංග භාරද්වාජ නම් බමුණෙක්. ඔහු රජතුමාට දස සක්විති වත් කියා දීලා ඒ අනුව රට පාලනය කරන්න උපදෙස් දෙනවා. රජතුමාත් රට පාලනය කරන්නේ දස සක්විති වත් අනුව යි. මේ නිසා ම සක්විති රජකුට ලැබෙන රථ රත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, පරිනායක රත්නය යන රත්න හත පහළ වෙනවා.

දවසක් රජතුමා කල්පනා කරනවා දෙමාපියනුත් ආච්චි, සීයාත් රාජ්‍යයට ගෙන්වාගෙන රැක බලා ගන්න දැන් හොඳම වේලාව’යි තීරණය කරලා හස්ථිරත්නයෙන් පුරෝහිතයා සමඟ ගමන් කරනවා මහා වනයට.

ඒ ගමනේ දී ශ්‍රී මහා බෝධිය පිහිටි තැන ආකාශයෙන් ගමන් කරන්නත් සිද්ධ වෙනවා. සක්විති රජ වුණත් බෝධිය පිහිටි තැන අහසින් අඟලක්වත් යන්න ලැබෙන්නේ නෑ. ජය ගැනීමකින් මිස පසු නො බසින කාලවක කියන ඇත්කුලයේ ඉපදුණු ඇතා මෙහෙයවා යන්න උත්සාහ කළත් පුළුවන් වෙන්නේ නෑ. ඇතාට කොතරම් වදහිංසා කළත් යන්න ලැබෙන්නේ නෑ. අවසානයේ දී ඇතා මරණයට පත්වෙලා බිමට වැටෙනවා.

බෝධීන් වහන්සේගේ අප්‍රමාණ බලය ගැන පැහැදීමට පත්වෙලා බිමට බැහැලා පුරෝහිතයාගේ උපදෙස් අනුව බෝධීන් වහන්සේ වැඩ සිටින තැන රත්රන් වැලි අතුරලා මලුව සකස් කරනවා, ඒ විතරක් නොවෙයි මුතු, මැණික් ආදී නවරත්නයෙන් මළුව තවත් ලස්සන කරනවා, සත්රුවන් ප්‍රවේශ දොරටු ඉදිකරනවා, හැටයාළ ගානේ මල් පූජා කරනවා. අවසානයේ මහා බෝධි පූජාවක් පවත්වලා ආශීර්වාද ලබා ගන්නවා.

පසුව දෙමාපියන් ගෙන්වාගෙන ඇවිත් ඔවුන් සමඟත් බෝධි පූජා පවත්වමින් ආශීර්වාද ලබාගෙන දන්තපුරයේ රජකම් කරලා ආයු කෙළවර දෙව්ලොව උපත ලැබුවා ය යන කතා පුවතක් පන්සිය පනස් ජාතක පොතේ කාලිංගබෝධි ජාතකයේ සඳහන් වෙනවා.

මේ කතා පුවතින් පෙන්වා දෙනවා සත්විති රජකු වුණත් බෝධීන් වහන්සේට උඩින් අඟලක්වත් ගමන් කරන්න නොහැකියි කියන පුවත.

මිනිස්, අමිනිස්, තිරිසත් යන ලෝක සත්ත්වයාට ම හැමදාම ආශිර්වාදය දෙන වෘක්ෂය බෝධින් වහන්සේ බවත්, බෝධිපූජා තියලා සක්විති රජතුමාගේ බලයටත් වඩා වැඩි බලයක් ලබා ගන්න පුළුවන් බවත් මේ කතා පුවත තවදුරටත් පැහැදිලි කර දෙනවා.