Print this Article


රට දැය සමය පුබුදුවනබෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

රට දැය සමය පුබුදුවන බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය

ඇසළ උත්සවයෙහි අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිව යන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙබඳු උත්සවයක් පැවති බවට බොහෝ සාධක දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ අප රටට ද බලපාන ලද ආකාරය ප්‍රකට කරුණකි.

අනුරාධපුර යුගයේ දී සාමාන්‍ය සැණකෙලියක ස්වරූපයෙන් ඇසළ සමය පැවති බවට තොරතුරු අසන්නට ලැබේ. පසු කාලීනව බුදු දහමෙහි බලපෑම මත එය ආගමික ස්වරූපයක් ගෙන ඇති අයුරු ප්‍රකට ය.

ඒ අනුව ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ මුල් කරගෙන දළදා පූජෝත්සවයක් ලෙස සම්පුර්ණ ආගමික ස්වරූපයකින් ම මෙය සිදුකොට ඇත. කාලයාගේ ඇවෑමෙන් තත්කාලීන රජවරුන්ගේ මැදිහත්වීම නිසා දෙවියන් උදෙසා කෙරෙන උපහාර පුජාවක් වශයෙන් දේවාල පෙරහර මෙයට සම්බන්ධ වන්නට ඇතැයි සිතිය හැකි ය.

කෙසේ නමුත් පැවති හිංසා සහගත ස්වරූපය හා විනෝදාත්මක ස්වරූපය මුළුමනින් ම ඉවත්ව බුදු දහමෙහි බලපෑම මත ඇසළ උත්සවය, ඇසළ පෙරහර බවට පත්වන්නට ඇතැයි සිතිය හැකි ය. ශී‍්‍ර ලාංකික ජනතාව මෙයින් අවිහිංසක වින්දනයක් හා ආගමික රසාස්වාදයක් ලබා ගන්නා ලද්දේ මතු නොව වසර පුරා විවිධ කටයුතුවලින් ඔද්දල් වුණු සිත්සතන් පී‍්‍රනණය තුළින් ඇසළ උත්සවය බෞද්ධ ජන ජීවිතයට මහත් අස්වැසිල්ලක් වූ බව පෙනේ.

දුරාතීතයේ සිට ශී‍්‍ර ලංකාවේ පවත්වා ගෙන එනු ලබන ඇසළ උත්සව, ඇසළ පෙරහර රාශියක් පිළිබඳ ප්‍රකට ය. මහනුවර, දෙවිනුවර, කතරගම හා රත්නපුර යනාදී ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කොටගෙන ඇසළ උත්සව පැවැත්වෙන අතර බෙල්ලන්විල ද එහි ප්‍රධාන ස්ථානක් නියෝජනය කරයි. එමෙන්ම වෙනත් විවිධ පූජනීය ස්ථානවල ද විවිධ තරාතිරම්වලින් යුතුව ආරම්භ කොට පවත්වා ගෙන යනු ලබන ඇසළ පෙරහර රාශියක් ඇති බව ද සඳහන් කළ යුතු ය.

බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය එහි පැරැණි සම්ප්‍රදායන් නොඉක්වමවින් පවත්වා ගෙන යාම ඉතා විශේෂිත කාර්යක් ලෙස සඳහන් කළ හැකි ය. පූජාමය සිරිත් ඉටු කිරීම් වශයෙන් පවත්වනු ලබන මෙම පෙරහර උත්සවය තුළින් පොදු ජනතාව ලබනුයේ මහත් මානසික ශාන්තියකි. බොහෝ දෙනෙක් එකට එක්ව සාමූහික කි‍්‍රයාදාමයක් වශයෙන් සිදුකෙරෙන මෙම ඇසළ පූජෝත්සවය නිසා ගොඩනැඟෙන මානව සම්බන්ධතාවන්හි ස්වරූපය ඉතා වැදගත් ය. අඛණ්ඩව රැක ගනිමින් පවත්වා ගෙන එන සිරිත් විරිත් නිසා අපගේ ජාතික අනන්‍යතාවයට ද ලැබී ඇත්තේ මහත් පිටුවහලකි.

විශේෂයෙන් ම පෙරහර පුජෝත්සවය සඳහා මූලික දායකත්වය ලබා දෙන නර්ථන ශිල්පින්ගේ පාරම්පරික දේශීය නැටුම් කලාව සුරක්ෂිත කරවීමට හා පෝෂණයට ද මෙයින් ලබා දෙන්නේ මහත් ශක්තියකි.

අපේ සංස්කෘතිය මතු නොව කලාව කෙතරම් උසස් වුව ද ඒවා ප්‍රදර්ශනය සඳහා වේදිකාවක් නොලැබේ නම් කලාකරුවා දිරිමත් නොවේ. ඒ සඳහා මෙබඳු පෙරහර පූජෝත්සව ඉතා සවිමත් වේදිකාවක් වන බව ද සඳහන් කළ යුතු ය.

මෙවන් උදාර පරමාර්ථ රාශියක් මුදුන් පැමිණවීම බෙල්ලන්විල ඇසළ පූජෝත්සවයෙන් සිදු කෙරෙනවා මතුනොව දශක හතකුත් වසර තුනක් පුරා මෙම ඓතිහාසික පෙරහර ශී‍්‍ර ලාංකේය ජන හදවත් අමන්දානන්දයට පත් කොට ඇති බව නොරහසකි. මින් දශක තුනකුත් වසර තුනක් මෙම පෙරහර මනාව සංවිධානය කරමින් විහාරස්ථ ප්‍රගමණය සඳහා අයෝමය ශක්තියක් ව භික්ෂු පෞරුෂයෙහි වත්මන් යති සලකුණ සනිටුහන් කළ මහාචාර්ය ගරු අපේ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ දැයක් හඬවමින් අපෙන් සමුගෙන පස් වසක් සම්පූර්ණව ඇති මේ මොහොතේ ද නොනිමි සංවේගයෙන් යුතුව එම ශී‍්‍ර නාමයට ප්‍රණාමය පලකරමින් මෙම සටහන තබන බව ද සඳහන් කළ යුතුව ඇත.

බෙල්ලන්විල රාජමහා විහාරය ශී‍්‍ර ලංකාවේ පෞරාණික සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානය ගන්නා පුණ්‍ය භූමියකි. ඉපැරණි දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගේත්, එම බෝ සෙවනෙහි සුපිහිටි ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය ප්‍රධාන දේවාල සමුහයත් නිසා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට බෙල්ලන්විල පුණ්‍ය භූමියක් මතුනොව අභය භූමියක් බවට ද පත්ව ඇති බව කිව යුතු ය.

විහාරස්ථානය ජනතාවට ලෞකික හා ලොවුතුරා සැප සලසන කේන්ද්‍රස්ථානයක් විය යුතු බව දුරාතීතයේ සිටම භික්ෂුන් වහන්සේගේ පිළිගැනීම විය. ඒ අනුව පන්සල ආගම දහමටත්, අධ්‍යාපනයටත්, කලාවටත්, සංස්කෘතියටත් කේන්ද්‍රීය වූ මධ්‍යස්ථානයක් ම වේ.

මෙම මතයෙහි දැඩිව එල්බ සිටි බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩසිට මින් එකුන්සතළිස් වසරකට පෙර අපවත් වී වදාළ ගරු බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 1950 වර්ෂයේ දී බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ආරම්භ කරන ලදහ. ඒ වන විටත් සාමාන්‍ය දුරුතු පෙරහරක් වශයෙන් කාලාන්තරයක් මුළුල්ලේ මෙම පෙරහර පැවති බව මුඛ පරම්පරාගතව කියැවේ.

බෙල්ලන්විල විහාරස්ථානය මනාව දියුණු කළ අප නාහිමිපාණන් වහන්සේ ඇසළ පෙරහරෙහි නිර්මාතෘවරයා වශයෙන් සිදුකර ඇති සේවය ඉමහත් ය. නිර්මාණ කුසලතාවයෙන් හා බහුජන හිතකාමී බවින් යුතුව අසාමාන්‍ය කි‍්‍රයාවලියක නිරත වූ උන්වහන්සේ විහාරස්ථානය සමාජ අවශ්‍යතා ද සපුරාලන ආයතනයක් විය යුතු බව තරයේම පිළිගන්නා ලදහ. එනිසා එයට සරිලන අධ්‍යාපනික හා සංස්කෘතික වටපිටාවක් නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදුයේ මතු නොව බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය ද එවැන්නකි. මෙම පෙරහර නින්දගම් හා රාජකාරි ක්‍රමය මත සිදුවන්නක් නොවේ. වත්මන් සමාජ ආර්ථික රටාව දෙස බලන විට බෙල්ලන්විල පෙරහර 73 වසක් කල් පවත්වා ගෙන ඒමට ශී‍්‍ර සෝමරතන නාහිමියන්ගේ ඒ උදාර ආධ්‍යාය හේතු වූවාට කිසිදු සැකයක් නැත.

දශක හත ඉක්මවා ඇති බෙල්ලන්විල ඇසළ උළෙල රට තුළ ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත කාලවකවානුවල දී පවා නොකඩවා පවත්වාලීම සුවිශේෂිත කරුණකි. මෙවර පෙරහර පුජෝත්සවය ද කිසිදු අඩුවකින් තොරව පැවැත්වීම සඳහා සංවිධාන කටයුතු සිදුකොට ඇති අතර අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන මෙම පෙරහර පූජෝත්සවයෙහි අපි දක්නා සුවිශේෂීතාවක් ඇත. එනම්, පෞරාණික චාරිත්‍රවිධීන් නොඉක්මවා ඒ සදහා ප්‍රමුඛත්වය දී කි‍්‍රයා කිරීම ය.

එනිසා මෙය හුදෙක් සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් පමණක් නොව උසස් පෙරහර පුජෝත්සවයක් බවට පත්ව ඇති බව ද සඳහන් කළ යුතු ය. ඒ අනුව මෙහි ප්‍රමුඛතාව හිමිවන්නේ තෙරුවන් වන්දනාව සඳහා ය. තෙරුවන් පිළිබඳ කෙරෙන උපහාරයක් වශයෙනුත්, අපවත් වී වදාළ ඇසළ පෙරහර පූජෝත්සවයේ නිර්මාතෘවර ගරු බෙල්ලන්විල සෝමරතන නාහිමිපාණන් වහන්සේට කෘතවේදීභාවය පළ කිරීම සඳහාත් ගුණානුස්මරණ පින්කම් මාලාවකින් මෙහි කටයුතු ඇරඹීම සිදු වන්නේ 1985 වර්ෂයේ සිට ය.

වර්තමාන බෙල්ලන්විල රාජමාහා විහාරාධිපති ආචාර්ය ගරු බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේත්, අපවත් වී වදාළ විහාරාධිකාරී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කුලපති හා කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුම් අනු නායක පදවිය ද හොබවන ලද මහාචාර්ය ගරු බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේත් පුර්ණ අධීක්ෂණය යටතේ වසරින් වසර බෙල්ලන්විල ඇසළ පෙරහර උළෙල නවමු මුහුණුවරකින් යුතුව සංවිධානය කරනු ලැබිණි. ඒඅනුව ගුණානුස්මරණ පින්කම් මාලාව අවසානයේ දී ආරම්භ කරනු ලබන්නේ මහා සති පිරිත් දේශනයයි. එය ධර්මයේ ආශිර්වාදය හා ආරක්ෂාව රට දැය වෙනුවෙන් ලබා දීමකි.එම පිරිත් දේශනාව පැවැත්වෙන අතර සුභ මොහොතින් පෙරහර සඳහා කප් සිටුවීම සිදු කරන්නේ මතු නොව සති පිරිත් දේශනයෙහි විචිත්‍රවත් දේවදූත පෙරහර පැවැත්වෙන්නේ ඉන් පසුව ය.

කුඹල් පෙරහර ගෙවැදීම මෙදිනම සිදුවන අතර විහාර භූමියට පමණක් සීමාවන මල් පෙරහර සිවු දිනක් මුළුල්ලෙහි පවත්වමින් රත්නත්‍රය සඳහා පූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදු කරනු ලැබේ.

මේ අනුව සමස්ත පෙරහරම තෙරුවන් වන්දනාවට ප්‍රමුඛත්වය දී සැකසී ඇති අයුරු විශිෂ්ට ය.

ඉන් අනතුරුව පාවාඩ පෙරහරේ සිට මාළිගාවේ පෙරහර හෙවත් සර්වඥධාතුන් වහන්සේ අඩංගු සධාතුක කරඬුව පෙරටු කොටගත් ධාතු පෙරහර ඉදිරියෙන් ගමන් ගනී.

දේවාභරණ රැගත් සතර මහා දේවාලවලට අයත් පෙරහර සතරකින් ද යුතු වූ පංච මහා පෙරහරකින් බෙල්ලන්විල ඇසළ පෙරහර සමන්විත වේ. එසේම අවසාන රන්දෝළි මහා පෙරහරෙන් පසුව දහවල් පෙරහර හෙවත් දිය කපන පෙරහර පවත්වා දිය කැපීමේ චාරිත්‍රය ද සිදුකොට ගරා යක් නැටුමෙන් හා දේව දානයෙන් පසු පෙරහර පුජෝත්සවය නිමාවට පත් කරනු ලැබේ. මෙසේ සුපුරුදු පිළිවෙලකට අනුව චාරිත්‍ර මුලික කොටගෙන ක්‍රමික ස්වරූපයකට අනුව බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය සංවිධානය කොට තිබේ.

ඒ අනුව මහනුවර ශී‍්‍ර දළදා පෙරහරෙහි සැකැස්මට සමාන වන අයුරින් සංවිධිත මෙම මහා පෙරහර මෙරට පමණක් නොව විදේශයන්හි ද කීර්තියට පත්ව ඇති අතර ලංකාවේ සිවූ දිගින් පැමිණෙන බැතිමතුන්ගෙන් බෙල්ලන්විල පුදබිම ඇසළ උත්සව සමයේ දී පිරී ඉතිරි යන ආකාරය දක්නට ලැබේ.

බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවය ඇරඹී මේ වන විට සති දෙකක් ඉක්මගොස් ඇත.එහි ආරම්භය වූ ගුණානුස්මරණ ධර්ම දේශනා මාලාවෙන් පසු පසුගිය අගෝස්තු 6 වැනි දින සිට අගෝස්තු 12 වැනි දින දක්වා සති පිරිත් දේශනය පවත්වන ලදී. අගෝස්තු 13 මල් පෙරහර පවත්වන ලද අතර පාවාඩ පෙරහර අගෝස්තු 17 දින පැවැත්වෙන අතර 18 වැනි දින පැවැත්වෙනුයේ රන් සිවි පෙරහරයි. 19 වැනි දින පවත්වනු ලබන්නේ අවසන් රන්දෝළි මහා පෙරහරයි. 20 වැනි දින දහවල් පෙරහරින් පසු දිය කැපීමේ චාරිත්‍රය ද, එදිනම පස්වරුවෙහි පැවැත්වෙන ගරා යක් නැටුමෙන් හා දේවදානයෙන් පසු මෙවර ද බෙල්ලන්විල ඇසළ මහා පෙරහර රටට හා දැයට ආශිර්වාද කරමින් නිමාවට පත් කෙරෙනු ඇත.