[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පංචකාම ලෝකය අත්පත් කර ගැනීමේ උත්සාහය අනවරත දුක් සමූහයක ඇරඹුම යි

පංචකාම ලෝකය අත්පත් කර ගැනීමේ උත්සාහය අනවරත දුක් සමූහයක ඇරඹුම යි

පුද්ගල සන්තානය හෙවත් සිත අනාදිමත් කාලයක් තිස්සේ විවිධ කෙලෙස් ධර්ම හේතුවෙන් කිලිටි වීම ස්වභාවික ය. එසේම සුගතිය හෝ දුගතිය තීරණය වන්නේ චිත්ත පාරිශුද්ධත්වය අනුව ය.

බුදුරජාණන් වහන්සේ වදාළේ සිත අපිරිසුදු වීම හේතුවෙන් දුගතියත්, සිත පිරිසුදු වීමෙන් සුගතියත් තීරණය වන බවයි (චිත්තේ සංකිලිට්ඨෙ දුග්ගති පාටිකංඛා චිත්තේ අසංකිලිට්ඨෙ සුග්ගති පාටිකංඛා). එසේම සිත අපිරිසුදු වීමෙන් පුද්ගලයා අපිරිසුදු වන බවත්, (චිත්ත සංකිලෙසා සත්තා සංකිලිස්සන්ති) සිත පිරිසුදු වීමෙන් පුද්ගලයා පිරිසුදු වන බවත් (චිත්ත වෝදානා සත්තා විසුජ්ඣන්ති) වදාළ බුදුරජාණන් වහන්සේ, කෙනකුගේ සුද්ධිය හෝ අසුද්ධිය නැතහොත් ආධ්‍යාත්මික පිරිසුදු බව හෝ අපිරිසුදු බව තීරණය වන්නේ අදාළ පුද්ගලයාට සාපේක්‍ෂව බවත් පැහැදිලි කළහ.

ඒ අනුව කිසිවකුටත් තවත් කෙනකු පාරිශුද්ධත්වයට පත් කළ නොහැකි බව පැහැදිලි කරුණකි. බුදුරදුන් වාදාළ පරිදි කෙනකුට තවත් කෙනකුට උපදෙස් දීමෙන් හෝ මඟ පෙන්වීමෙන් සහය විය හැකි වුව ද ගලවා ගැනීම හෝ පිරිසුදු කිරීම කළ නොහැකි ය.

තථාගතයන් වහන්සේ ද අනුශාසනා කළේ තමන් වහන්සේ මඟ පෙන්වන මාර්ගෝපදේශකයකු මිස මඟ කැඳවා ගෙන යන්නකු නොවන බවයි. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ සිත පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම පුද්ගලයා ම මිස වෙනත් අයකු නොවන බවයි. මෙනිසා සිත පිරිසුදු කිරීමේ කාර්යය පුද්ගලික කාර්යකි.

සිත පිරිසුදු කිරීම එතරම් පහසු කාර්යයක් නොවන්නේ එය අනාදිමත් කාලයක සිට අපිරිසුදු වෙමින් පවතින හෙයිනි. බුදුරදුන් වදාළ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් පරිසමාප්තියට පත්වන්නකි. එහි අවසාන ප්‍රතිඵලය නම් අංශ තුනකින් පරිපූර්ණත්වයට පත් ප්‍රබුද්ධ පුද්ගලයකු නිර්මාණය කිරීම ය.

පරිපූර්ණ සදචාරයෙන් ද (ශීල), පරිපූර්ණ මානසික ඒකාග්‍රතාවෙන් ද (සමාධි), පරිපූර්ණ ප්‍රඥාවෙන් ද (පඤ්ඤා) එම ප්‍රබුද්ධ පෞරුෂය පරිසමාප්තියට පත්ව තිබේ.

මෙවැනි උසස් පරිපූර්ණ පෞරුෂයක් නිර්මාණය කර ගැනීම වනාහි එක්වර සිදුවන කිසියම් ප්‍රාතිහාර්ය ම ය තත්ත්වයක ප්‍රතිඵලයක් නොවේ. ඒ සඳහා අනුගමනය කළ යුතු අනුපූර්ව ප්‍රතිපදාවක් බුදුරදුන් විසින් දේශිත ය. අනාදිමත් කාලයක සිට අපිරිසුදු වූ චිත්ත සන්තානය පිරිසුදු කිරීමේ කාර්යය අප හිතන තරම් පහසු වූවක් නොවේ. කෙලෙස් තැවීම සඳහා උත්සුක වන කවරකු වුව වටහා ගත යුතු පළමු කරුණ එයයි. බුද්ධ කාලයේ සිටි ඇතැම් ථෙර ථෙරණියන්ට ජීවිතයේ අවසාන මොහොත දක්වා ම සිත පිරිසුදු කිරීමේ කාර්යය සිදුකිරීමට අපහසු වීමෙන් මෙය වටහා ගත හැකි ය.

සිත කෙලෙසෙන කෙලෙස් ධර්ම ජනනය වීම සඳහා පාදක වන අරමුණු විවිධ ය. ෂඩ් ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු නුවණින් තොරව බාර ගැනීම නිසා ඇතිවන අභ්‍යන්තර මානසික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ලෝභ දෝස මෝහ මුල් කර ගත් කෙලෙස් ධර්ම වර්ධනය වේ.

මේ වනාහි බාහිර අරමුණුවල පවතින වරදක් නොවේ. පුද්ගල සන්තානයේ පවතින ජන්දරාගයේ ප්‍රතිඵලයකි. මෙය පාලනය කිරීමේ ආරම්භක අවස්ථාව ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රානුසාරී අරමුණු හඹා යාමෙන් වැළකීමට බුදුරදුන් අනුදැන වදාළේ ඒ හෙයිනි.

අතීතය මෙන් නොව වර්තමානයේ පංචකාමය හා සම්බන්ධ චිත්තවේග ජනනය වන මාධ්‍ය සුලභ ය. ඒවා ලබා ගත හැකි ප්‍රකට හා අප්‍රකට මාධ්‍ය බහුල ය. ඇතැම් විට රහසිගත ආකාරයෙන් එම අරමුණු ලබා ගැනීමේ මාධ්‍ය දියුණුවී තිබේ. මෙම පසුබිම යටතේ පංචකාමය හා සම්බන්ධ චිත්තවේග උත්තේජනය කෙරෙන අවස්ථා සුලභ ය.

පුද්ගල සන්තානයේ නිජ වශයෙන් පවතින පංචකාමය හා සම්බන්ධ ඇතැම් චිත්තවේග සන්තර්පණය කර ගන්නා ආකාරය විවිධ ය. ලිංගික කාමය සම්බන්ධයෙන් මිනිස් සිත ක්‍රියාත්මක වන ආකාරය සත්තමේථුන සූත්‍රය ඇසුරෙන් වටහා ගත හැකිවීම එක් නිදසුනකි.

වර්තමනායේ විවිධ මාධ්‍ය ඔස්සේ සැපයෙන කාමරාගය හා සම්බන්ධ උත්තේජන සියල්ල එයට අයත් වේ.

බුදුරදුන් ද්වේධාවිතක්ක සූත්‍රයෙන් පැහැදිලි කොට වදාළ පරිදි කිසියම් පුද්ගලයෙක් නිතර නිතර යම් සිතිවිල්ලක් අනුව කල්පනා කරන්නේ නම් හෝ, නැතහොත් එකම ආකාරයේ සිතිවිල්ලක් නිතර මෙනෙහි කරන්නේ නම්, එම තැනැත්තාගේ සිත ඒ පැත්තට බරව ක්‍රියාත්මක වේ.

කිසියම් පුද්ගලයෙක් නිතර නිතර කාම විතර්ක ගැන ම මෙනෙහි කරන්නේ නම් හෝ ඒ ගැන කල්පනා කරන්නේ නම් හෝ එම තැනැත්තාගේ සිතෙහි කාමය හා සම්බන්ධ සිතිවිලි කෙරෙහි නැමියාවක් ඇතිවීම ස්වභාවික ය.

මේ අනුව වර්තමානයේ පංචකාම ලෝකය පිළිබඳ අරමුණු කෙරෙහිම ඇලි බැඳී සිටින පුද්ගලයින්ට කාම විතර්කවල බලපෑමෙන් සිත නිදහස් කර ගැනීම පහසු නොවේ. මේ හේතුවෙන් සමාජ සදාචාරය බිඳ වැටී තිබේ. කෙලෙස් නිවීම සම්බන්ධයෙන් මෙම පසුබිම මැනවින් වටහා ගත යුතු අතර, ඒ පිළිබඳ මනා අවබෝධයක් නොමැති පුද්ගලයාට සිය සන්තානගත කෙලෙස් ප්‍රහීන කිරීම තබා කළමනාකාරණය කර ගැනීමට වුව ද අපහසු වේ.

සන්තානගත කෙලෙස් ධර්ම හා ඒවායේ මුල් උදුරා දැමීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උපක්‍රම රාශියකි. ශීලයෙහි ප්‍රධාන අරමුණ වන්නේ කෙලෙස් ධර්ම ප්‍රකාශයට පත්වෙන බාහිර ආයතන හෝ මාධ්‍යය පාලනය කිරීමයි. නැතහොත් කායික වාචසික සංවරයයි. එහෙත් එයින් තිරසාර විසඳුමක් නොලැබේ. මේ සඳහා ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වේ.

එහි පියවර කීපයකි. පංචකාම අත්දැකීම් මූලික කර ගත් කෙලෙස් ධර්මවල පවතින ආශ්වාදය (අස්සාද) හා ආදීනව (ආදීන) පළමුව අවබෝධ කර ගත යුතු වේ. පංච කාමය හා සම්බන්ධ අත්දැකීම්වල පවතින ආදීනව මෙලොව (දිට්ඨධම්මික) හා පරලොව (සම්පරායික) වශයෙන් විවිධ ය. ඒවායේ පවතින ආදීනව කටුක මෙන්ම, සමාජ අර්බුද නිර්මාණය වීමට පවා ඉවහල් වන අයුරු මහාදුක්ඛක්කන්ධ සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කර ගත හැකි ය.

ඒ අනුව පංචකාම ලෝකය අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහයේ දී පුද්ගලයා මුහුණ දෙන අනවරත දුක් සමූහය පුද්ගලික මට්ටමෙන් ආරම්භ වී යුද ගැටුම් දක්වා වර්ධනය වන ආකාරය බුදුරජාණන් වහන්සේ පියවර අටක් ඔස්සේ පැහැදිලි කර වදාළහ.

හයවැනි සියවසේ තරම් ඈත යුගයක එමෙන් ම වර්තමානය තරම් සංකීර්ණ නොවූ සමාජ ආර්ථික පසුබිමක් සහිත අවදියක බුදුරදුන් විසින් දේශිත එම කරුණු වර්තමාන සමාජ අර්බුද සියැසින් කරන ලද විවරණයක් හා සමාන වේ.

මෙම විග්‍රහයෙහි අන්තර්ගත මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක කරුණු පෙරටත් වඩා නූතන සමාජයට බෙහෙවින් අදාළ වේ.

මානව සමාජයේ පවතින විවිධ අර්බුද සඳහා පුද්ගල සන්තානගත කාම තෘෂ්ණාව ප්‍රධාන හේතුවක් ය යන්න බුදුරදුන්ගේ කේන්ද්‍රීය ඉගැන්වීමයි. එය බැහැර කළ යුතු පිළිවෙත දෙයාකාරයකින් ඉදිරිපත් කර ඇත.

පංචකාමය හා සම්බන්ධ මනෝභාවයන් හා අත්දැකීම් සදාචාරය මගින් කළමනාකරණය කර ගැනීම පුහුදුන් සමාජයකට කළ හැකි ප්‍රථම කාර්යයි.

දෙවැන්න හෙවත් අවසන් විසඳුම වන්නේ පංචකාමය හා තුඩුදෙන මූලික මානසික පදනම වන කාම තණ්හාව මුලිනුපුටා දැමීමයි. එය විමුක්ති කාර්යය සඳහා කැපවුණු පුද්ගලයාට මිස ලෞකික ජීවිතයකට කැපවී සිටින පුහුදුන් මිනිසාට එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ බව අවබෝධ කර ගෙන කාමය හා සම්බන්ධ තෘෂ්ණාව ප්‍රඥාවෙන් දැක (පඤ්ඤාය දිස්වා) ක්‍රමයෙන් බැහැර කළ යුතු වේ (පහාතබ්බං).

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]