ගුරු වචනයට කන් නොදීමේ
අභාග්‍යය
ගා/සිරි/ඤාණරතන පිරිවෙනෙහි පරිවෙණාධිපති,
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
බුත්තල ඤාණාධාර හිමි
අසන්නට ඇති කැමැත්ත ශුශ්‍රෑෂාව නම් වේ. ගුරු වදනට කන්දීමත්, නොයෙක් දේ දැනගැනීම
පිණිස ප්‍රශ්න ඇසීමත්, පත්පොත් බැලීමත්, සාකච්ඡා පැවැත්වීමත්, උගතුන්ගේ දෙසුම්වලට
කන්දීමත්, යන මේ සියල්ල ශුශ්‍රෑෂාව යන්නට ගත හැකි ය. ඉකුත් දා ගුරු මුවින් අසා
දැනගත් හෙයින් අසනු කැමැත්ත “ශුශ්‍රෑෂාවය” යි ව්‍යවහාර වෙතත්, වත්මන්හී ඉගෙනීමට
තවත් නොයෙක් ක්‍රම තිබෙන හෙයින් පත්පොත් බැලීමාදිය ද ඊට ම අයත් ය.
යමක් කියා දෙන විට ඊට කන් යොමු කොට දැන ගන්නට සිතීම ශුශ්‍රැෂාව යි. ගුරු වචනයට
ඇහුම්කන් නොදීම ගුරුවරයාට කැරෙන අගෞරවයක් සේ ම ආදරයෙන් අසා නො සිටීම තමාගේත් මහත්
පිරිහීමෙකි.
ගුරුවරයා කොපමණ දක්ෂ වුවත්, ඉගෙනීම ගැන ශිෂ්‍යයාට වුවමනාවක් නැත්නම්, ගුරුවරයාගේ
දක්ෂකමින් ද වැඩක් සිදු නොවේ. ශිෂ්‍යයාගේ උනන්දුව තිබේ නම්, ගුරුවරයා එතරම් ම දක්ෂ
නොවුව ද දියුණුව උදාකර ගැනීම අපහසු නැත. එලෙස පිළිපදින ශිෂ්‍යයා දැල්වූ පහනක් සේ
සිය නුවණින් ගුරුවරයා ද ඉක්මවා බබළන්නේ ය. නුවණ දියුණුවට ශිෂ්‍යයාගේ ඇහුම් කන්දීම
ඉතාම අවශ්‍ය ය.
වත්මන්හි බොහෝ ශිෂ්‍යයන් ගුරු වචනයට කන් නො දීම නිසා පාඨ පරීක්ෂණ (විභාග)වල පවා
නිසි පිළිතුරු දීමට නො සමත් ව ඉන් උත්තීර්ණ විය නොහී, බලාපොරොත්තු සුන්කර ගන්නා බව
නොයෙක් විට පෙනෙන්නකි. පන්තියේ දෛනික වැඩ නිසි අයුරු නො කොට, නිකරුණේ කාලය ගෙවා දමා
පශ්චාත්තාප වන්නන් මෙකල පහසුවෙන් දැකිය හැකි ය.
ගුරුවරයා උගන්වන විට ඊට හොඳින් ඇහුම්කන් නො දීමත්, නො වැටහෙන තැන් ගැන ප්‍රශ්න නඟා
දැන නො ගැනීමත්, සටහන් කර ගත යුතු තැන් සටහන් කර නො ගැනීමත් වර්තමාන බොහෝ
ශිෂ්‍යයන්ගේ ස්වභාවයෙකි.
වත්මන්හි ඇතැම් ශිෂ්‍යයන් ප්‍රශ්නයක් නගතත්, එය ගුරුවරයාට කෙරෙන විහිළුවක් මිස දැන
ගනු රිසියෙන් ම නඟන ප්‍රශ්නයක් නොවේ. පාසල්හි ගුරුවරයාට පවා උසුළු විසුළු කරමින්
සිය ඉගෙනීම ගැන උනන්දුවක් නො දක්වන අදාන්ත ශිෂ්‍යයන් දිනෙන් දින වැඩිවීම ඔවුන්ගේ
පමණක් නොව රටේත් බලවත් පිරිහීමක් නිසා රට, දැය, ආගම ගැන ලැදියාවක් ඇතියවුනට මහත්ම
කනගාටුවෙකි. ඇතැම් ගුරුවරු ද පෙරදිග උතුම් සිරිත් බැහැර කොට, බටහිර සිරිතින් නොමනා
සිරිත් පමණක් ගරු කොට සිතා, ශිෂ්‍යයන් සමඟ දුම්, මත්පැන් බීමාදියට පවා බැසීම ගුරු
ගෞරවය නැතිවීමට හේතුවක්ව පවතී.
ගුරුවරයා කෙරෙහි දැඩි භක්තිය සහ ගෞරවය තිබෙන ශිෂ්‍යයා ගුරු සිත සනසාලීමට අදහස්
කිරීම නිසාවත් ඒ ගුරුවරයා උගන්වන විෂයයන් හොඳින් ඉගෙනීමට සිතනු නො අනුමාන ය.
පැරැන්නන් තුළ හොඳින් ගුරු ගෞරවය පැවැති හෙයින් ඔවුන් ගුරු සිත සැනැසීමටත් සමඟ
හොඳින් උගත් බව සත්‍යයෙකි. ගුරුවරයා කෙරෙහි ගෞරවයක් තිබේ නම්, ගුරුවරයා කියන දේ ද
ඉතා ගෞරවයෙන් අසා ගෙන සිටිනු ඒකාන්ත ය. මෙකල ශිෂ්‍යයන් වැඩි දෙනකු ගුරු වචනයට කන්
නො දෙන්නේ ගුරු ගෞරවය අඩුව ගොස් තිබෙන හෙයිනැයි කීම එහෙයින් සුදුසු ය.
වර්තමාන ශිෂ්‍යයන් තුළ තිබෙන මේ අඩුව නිසා ඒ ශිෂ්‍යයනට පෞද්ගලිකව උගන්වන්නටත් සිදු
වී තිබීම මව් පියන්ටත් මහත් කරදරයක්ව පවතී. කෙසේ හෝ වේවා ගුරු වචනයට කන් නොදෙන
තැනැත්තා බලාපොරොත්තු සපුරා ගත නොහී පිරිහෙනු ඒකාන්ත ය. |