[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රත්‍යලාභීන් අතර අග්‍රවීමට මහා පිනක් කළ සීවලී මහරහතන් වහන්සේ

ප්‍රත්‍යලාභීන් අතර අග්‍රවීමට මහා පිනක් කළ සීවලී මහරහතන් වහන්සේ

මීට කල්ප ලක්ෂයකට පමණ පෙර ලොව පහළ වී වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වෙහෙර තිබුණේ හංසවතී කියන නගරයේ යි. ඒ කාලයේ හංසවතී නගරයේ රජු ලෙස ඉපිද සිටියේ ගෞතම බුදු සසුනේ වැඩ සිටි අපගේ සීවලී මහරහතන් වහන්සේ යි.

බුද්ධ කියන නාමය පවා ලොවට සැපයක් ගෙන දෙනවා. සැපයක් උදෙසා ලොව පහළ වන බුදුරජාණන් වහන්සේ මොහොතකට, එක නිමේෂයකට ඇසුරු කරන්න ලැබුණත් එයින් තමාගේ මුළු දිවි ගමනම සැපයට පත් වෙනවා. ඒ වගේ සිදුවීමක් මේ රජුටත් සිදු වුණා.

මේ රජතුමා දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට ගියා. එදා භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරද්දී භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස මැද්දේ එක ශ්‍රාවකයෙක් විශේෂ කරමින් අගතනතුරු ප්‍රදානය කළා.

“මහණෙනි, භික්ෂු සංඝයා අතරේ යම් භික්ෂුවක් සුදර්ශන නමින් සිටී ද? ඒ භික්ෂුව පදුමුත්තර බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන්ට අග්‍ර භික්ෂුව යි.” කියමින් අගතනතුරු ප්‍රදානය කළා.

එය දුටු රජතුමා මහත් සතුටට පත්වුණා. “අනේ මටත් මෙහෙම බුදු සසුනක ප්‍රත්‍යලාභී අගතනතුර දරන්නට හැකි නම්” කියා සිතක් උපන්නා. මහා පුණ්‍යවන්තයන්ට පමණක් ඉපදෙන විශේෂ ආශාවක් ඒක. ඒ ආශාව උපන් මොහොතේ දී ම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට රජතුමා ආරාධනාවක් කළා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අද පටන් සත් දිනක් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීමට මම කැමැතියි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට අනුකම්පා කර මාගේ ආරාධනාව පිළිගන්නා සේක්වා’ කියා ඉල්ලා සිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. දින හතක් එක දිගට දානය පූජා කළා. හත් වැනි දා රජතුමා අටපිරිකර සහිත කොට මහා පරිස්කාර පූජාවක් කළා. ඒ සියල්ල අවසන් වූවාට පසුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ කියා සිටියා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම මෙසේ දන් පූජා කොට උදාර පුණ්‍ය ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි, මම අනාගත බුදුසසුනක ප්‍රත්‍යලාභීන්ට අග්‍ර භික්ෂුවක් වීමට ආශාවක් තිබෙනවා. ස්වාමීනි, මාගේ ඒ පුණ්‍ය පැතුම සමෘද්ධිමත් වීමට ආශිර්වාද කරන සේක්වා කියා ඉල්ලා සිටියා.

අසිරිමත් බුදු ඇසින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ පින්වන්තයාට ඒ සඳහා උරුමයක් තිබෙනවා ද කියා බැලුවා. උන්වහන්සේ දුටුවා කල්ප ලක්ෂයක් ගිය තැන ලෝකයට ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයේ මේ මහා පින්වන්තයා සීවලී නමින් ප්‍රත්‍යලාභීන්ට අගතැන්පත් භික්ෂුව වෙනවා ඒ සඳහා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ රජුට නියත විවරණ ලබා දුන්නා. රජුට අප්‍රමාණ සතුටක් උපන්නා. එදා සිට දිවි තිබෙන තාක් දන් දුන්නා. දිවි තිබෙන තාක් දන් පැන් පුදමින් පින් කළා.

රජතුමා මිය පරලොව ගොස් දෙවියන් අතර උපන්නා. කල්ප ගාණක් දෙව් මිනිස් සැප විඳ මීට අනූ එක් කල්පයකට පෙර ලොව්තුරා විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණා.

ඒ කාලයේ නැවත මේ පින්වන්තයා මිනිස් ලෝකයේ ඉපදුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බන්ධුමතී කියන නගරයේ, නගරයට ආසන්නව තව ගමක් තිබුණා. ඒ ගමේ මේ තරුණයා ඉපදුණා. ඔහු රැකියාවට කළේ මී පැණියි, කිරියි හදලා විකුණපු එකයි. ඔහුට ලොකු ධනයක් තිබුණේ නැහැ. ඔහු කිරි සහ මී පැණි ගෙන මිනිසුන් ගැවසෙන නගරයට යනවා. ඒවා අළෙවි කරනවා.

එක්තරා දවසක් බන්ධුමතී නගරයේ ජනයා එකතුවෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙළ කළා. එතැන මහා සංඝරත්නය ලක්ෂ හැට අටනමක් වැඩ සිටියා. විශාල මණ්ඩප තනවා බන්ධුමති නුවර වැසියන් මහා දානයක් පිළියෙළ කළා. අඩුපාඩුවක් නැතිව දානය දෙන්නට සියල්ල සූදානම් කළා. දානය හෙට දින යෙදී තිබිය දී එක් අයකු දුටුවා, මේ මහා දානයට මී පැණි සහ කිරි සූදානම් කරලා නැහැනේ කියලා. සියලු දෙනාට එය අඩුවක් ලෙස දැනුණා. දැන් පිරිසක් නගරය පුරා විසිරී ගිහින් කිරි සහ පැණි සොයන්නට පටන් ගත්තා. නමුත් හමුවුණේ නැහැ. එක් පුරුෂයෙක් දුටුවා තරුණයෙක් මී පැණි සහ කිරි රැගෙන එනවා. ඔහු වහා දිව ගොස් ඇසුවා.

“මේ කිරි සහ මී පැණි මොකට ද?”

“මම මේවා විකුණනවා”

“එහෙම නම් මේ ටික මට දෙන්න. මම ඔබට කහවනුවක් දෙන්නම්. මේ තරුණයාට හිතුණා මේ කිරි සහ පැණි ටික කහවනුවක් තරම් වටින්නේ නැහැනේ. ඇයි මේ පුද්ගලයා කලබලයෙන් මේවා සොයන්නේ. මම විස්තර සොයන්න ඕන කියලා හිතලා

‘එක් කහවනුවකට මේවා දෙන්න බැහැ’

‘එහෙම නම් මම ඔබට කහවනු පහක් දෙන්නම්’

කහවනු දාහය, විස්ස, තිහ ආදි ලෙස වැඩි කරලා ඔහු කියනවා “තරුණය, මම කහවනු දහසක් දෙන්නම් මේ කිරි සහ පැණි මට දෙන්න.”

තරුණයා සිතුවා මගේ මුළු ජීවිතයේ දී ම කිරිවලට මෙතරම් අගයක් දුන් කෙනෙක් මට හමුවෙලා නෑ. මේක පුදුමයක්. මෙතරම් ගණනක් දීලා මේ ආකාරයට ඇයි කිරි ගන්නේ? මම ඒ ගැන අහන්න ඕන කියා සිතා තරුණයා අසනවා.

‘කහවනුවක්වත් වටින්නේ නැති මේ කිරි ටික ඇයි ඔබ ගන්නට කලබල කරන්නේ?

‘තරුණය, මට කහවනු දහසක් ගියාට කමක් නැහැ. මේ මී පැණි සමඟ කිරි මම මිල දී ගන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසායි. එනිසා මට මෙය ලබා දෙන්න.

තරුණයා කල්පනා කළා.

“බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පුදන්නට මේ මනුස්සයා මෙතරම් ආශා කරනවා නම්, දුප්පත් මට කෙ තරම් ආශා කළ යුතු ද? තරුණයා කියනවා.

“පින්වත, එහෙම නොවේ. මාවත් මේ දානයේ කොටස්කාරයෙක් කර ගන්න. මට මුදල් එපා. මේ කිරි සහ පැණි ටික මට ම පූජා කර ගන්න ඉඩ දෙන්න” ඔහු ඉල්ලා සිටියා.

පසුදින දානයට ඔහු කිරි සමඟ පිරිසුදු මී පැණි අරගෙන ගියා. ඒ කිරි සියල්ලම භාජනයකට දැමුවා. ඊට උඩින් පැණි වත් කළා. ඔහු ළඟ ලක්ෂ හැට අට නමකට දෙන්න තරම් කිරි තිබුණේ නෑ. එනිසා ඔහු බුදුරජාණන් වහන්සේට එය පූජා කළා. මෙසේ කිව්වා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම ළඟ තිබෙන මේ ප්‍රණීත කිරි පැණි දානය ඔබ වහන්සේට පූජා වේවා” කියා සතුටින් පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන වළඳද්දී මේ පින්වන්තයාට පේනවා හැට අට ලක්ෂයක් මහා සංඝරත්නයත් මී කිරි

වළඳනවා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ඍද්ධියකි. ඔහු එදා සසරට මහා බලගතු පිනක් කර ගත්තා.

ඔහු ඒ ජීවිතයේ මිය පරලොව ගොස් නැවතත් මනුස්ස ලෝකයේ ඉපදුණා. මේ සංසාර ගමන හරි පුදුමයි. ඇතැම්විට මහා පුණ්‍යවන්තයන්ටත් වරදිනවා. ඔහු ඒ ජීවිතයේ බරණැස රජ පවුලේ ඉපදුණා. බරණැස් රජුට හිටපු එකම රාජකිය කුමාරයා ඔහුයි. බරණැස් කුමාරයා තරුණ වයසට එන විට සතුරු රජෙක් ඇවිත් මේ බරණැස ආක්‍රමණය කළා. රජකුමාරයාට පළා යන්න කියලා පිය රජු දැනුම් දුන්නා. සතුරු රජා බරණැස් රජු මරණයට පත් කළා. අගමෙහෙසිය හිර කළා. රාජ කුමාරයා කාලයක් යද්දී එළියේ සිට සේනාව ටික ටික සංවිධානය කළා. යුද්ධයක් කර නැවත බරණැස අල්ලා ගන්නට තීරණය කළා. බරණැසට එන්නට පෙර කුමාරයා අම්මාට රහසේ පණිවිඩයක් තිබ්බා.

“අම්මේ මම දැන් සේනාව සංවිධානය කර තිබෙන්නේ. මම රාජ්‍ය නැවත ලබා ගන්නට යුද්ධ කරනවා. අම්මා මට ආශිර්වාද කරන්න” කියලා ඉල්ලා සිටියා.

අම්මා කුමාරයාට මෙහෙම පණිවිඩයක් එව්වා.

“පුතේ මේ සතුරු රජාව ඝාතනය කරලා බරණැස ගන්න ඔබ යුද්ධ කරන්න ඕනෑ නැහැ. ඔබ මේ බරණැස ඇතුළට යම්තාක් ගංගා ඇලදොළ ගලා එනවා ද ඇළ

පාරවල් එනවා ද? ඒවා සියල්ල වසා දමන්න. එවිට මේ බරණැස රට වැසියාට ජලය නැතුව යාවි.

ඒ වගේම පුත්‍රය, මේ බරණැස් නුවරින් කාටවත් එළියට යන්නට ඉඩ නො දෙන්න. රාජ්‍ය ඇතුළට කිසිවකුට එන්නත් ඉඩ නො දෙන්න. එවිට රට වැසියාට කෑම සහ ජලය නැති වූ විට රටවැසියා කුපිත වෙලා රජුව මරා දමයි. නිකම්ම ඔබට එවිට රජකම ලැබේවි.” කියා පණිවිඩයක් යැව්වා.

එදා ඒ විපාකය කරන්න කියා උපාය කිව්වේ අම්මායි. ක්‍රියාත්මක කළේ පුතායි. අම්මාගේ සහ පුතාගේ උපායෙන් දින හතක් රට වැසියා කෑම බීම නැතිව හෙම්බත් වුණා.

මිනිසුන් සතුරු රජු ඝාතනය කරලා රජකම අර කුමරුට ලබා දුන්නා. සංසාරය ගොඩාක් භයානක යි. මේ අම්මයි පුතයි බලවත් පාප කර්මයකට කර ගැසුවා. ඒ කර්මය විඳවන්නට වුණෙත් ඒ අම්මටයි පුතාට ම යි. ඒ මේ ආකාරයට යි.

අපගේ ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස ලෝකයට පහළ වුණා. උන්වහන්සේ ලොව පහළ වන කාලයේ තිබුණා කුණ්ඩියා කියලා නගරයක්.

ඒ කුණ්ඩියා නගරයේ ජීවත්වුණා සුප්පාවාස කියලා කාන්තාවක්. ඇය බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, ශ්‍රී සද්ධර්මය පිළිබඳවත්, ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් අචල ශ්‍රද්ධාවෙන් යුත් ආර්ය ශ්‍රාවිකාවක්. ඇය සෝතාපන්න වෙලයි හිටියේ. ඇය විවාහ වුණා. ඔහු සුප්පිය උපාසක. එතුමාත් සෝතාපන්න ශ්‍රාවකයෙක්. මේ දෙදෙනාට දාව පින්වත් කුමාරයෙක් කුස පිළිසිඳ ගත්තා. ඒ සීවලී කුමාරයා යි. ඒ පින්වන්ත අම්මාගේ කුසේ පිළිසිඳ ගත් දා පටන් ඒ නිවසට ප්‍රත්‍යලාභ ගලන්නට පටන් ගත්තා. සෞභාග්‍යය උදාවුණා. ගසක හට ගන්නා ගෙඩි පවා පල බරින් පිරී ගියා. කුණ්ඩිය කියන නගරයට පවා සෞභාග්‍ය උදා වුණා. එතරම් මහා පිනක් රැගෙනයි ඔහු මනුලොවට ආවේ.

නමුත් එලෙස එන විට පෙර කර්මයත් ඒ සමඟ ම රැගෙන ආවා. දැන් සීවලී කුමරු මවගේ කුස තුළ වැඩෙනවා. අවුරුදු හතයි, මාස හතයි, දින හතක් කුමාරයා කුස තුළ හිර වී බිහි නොවී සිටියා. සුප්වාවාසා මව දැඩි වේදනාවෙන් පෙළුණා.

ඇයට වේදනාව එන සෑම විට ම ඇය සිතනවා “අපේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ යි. සම්බුදුරජාණන් වහන්සේ තමා මේ වගේ දුක් දුරු කිරීමට ධර්මය දේශනා කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒකාන්ත කොට සුපටිපන්න යි. ඒ උත්තමයෝ සීල, සමාධි, ප්‍රඥා දියුණු කරන්නේ මේ වගේ දුක්වලින් ගැලවීම පිණිසයි.

නිවන නම් ඒකාන්තයෙන් සැපයක් ම යි. මේ වගේ දුක් කිසිවක් නිවන තුළ නැත්තේ ම’ය.” කියමින් ඇය කුස අතගාමින් සිතනවා. අවුරුදු හතයි, මාස හතයි, දින හතක් එසේ සිතමින් ඇය වේදනාව ඉහිලුවා. දැන් අයට ඒ වේදනාව කෙසේවත් උසුලා ගන්නට බැහැ. දරුවා දඟලද්දී ඇය මහා වේදනාවක් වින්ඳා. ඇය දිනක් තමගේ ස්වාමිපුරුෂයාට කතා කර කියනවා.

“ඔබ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා කියා සිටින්න භාග්‍යවතුන් වහන්ස, මාගේ ස්වාමි දුව මේ වගේ මහා විපතකට පත්වෙලයි ඉන්නේ. ඇයට ආශිර්වාද කළ මැනවි” කියා ඉල්ලා සිටින්න. ඒ අනුව සුප්පිය උපාසක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සිදු වී ඇති විපත කියා සිටියා. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කරුණා ගුණය කෙ තරම් ආශ්චර්ය ද? උන්වහන්සේ සුප්පාවාසා වෙනුවෙන් මෙසේ වදාළා.

“සුප්පාවාසා කෝලිය දියණිය සුවපත් වේවා! නිරෝගිව, නිරෝගි පුතකු වදාවා කියා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය පෙර පසු නොවි පෙරහන් කඩයක් ඇතුළෙන් සුව පහසුවට වතුර ගලා යනවා වගේ අවුරුදු හතක් තිස්සේ මෝරා සිටි ඒ දරුවා බිහි වුණා. බිහි වූ දා ම සීවලී කුමරු ඇවිදින්නට පටන් ගත්තා. කතාබහ කළා. සෙල්ලම් කළා. අම්මටයි තාත්තටයි දැන් හරි සතුටුයි. ඒ සතුට නිසා ම ඔවුන් සිතනවා අපි හත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පූජා කරමු කියලා. බුදුරජාණන් වහන්සේ වෙත ගොස් දානයට ආරාධනා කළා.

ඒ වන විට ඒ දින හතට මුගලන් මහ රහතන් වහන්සේගේ දායකයෙක් දානය බාරගෙනයි සිටියේ. සීවලී කුමරුගේ පින නිසාම භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“පින්වත් මොග්ගල්ලාන, මේ සුප්පාවාස හෙට සිට දින හතක් දන් දෙනවා. ඔබගේ දායකයාගේ දානය ඒ නිසා කල් දමන්න කියලා.

සීවලී කුමරු ඉපදුන දිනම ඒ නිවසට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දානයට වැඩියා. භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ඇහැළමලේ පාටින් බබළන ප්‍රඥාවෙන් අග්‍ර අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේත්, ඊට පසුව නිල් මානෙල් මලේ පාට ඇති අපගේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩියා. මේ ආකාරයට උතුම් රහතන් වහන්සේ පන්සිය නමක් ඒ නිවසට වැඩියා.

මේ දානය පිළිගන්වන වෙලාවේ සීවලී කුමාරයාත් සුප්පාදේවියගේ පස්සෙන් යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ් ළඟ දානය බෙදන්නට නැවතුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අසනවා

“චූටි පුතේ සැපෙන්, සනීපයෙන් ඉන්නවා ද?” කියලා. සීවලී කුමාරයා කියනවා.

“ස්වාමීනි, මට මොන සැපක් සනීපයක් ද? මම අවුරුදු හතක් තිස්සේ ලේ කළයක් ඇතුළේ හිරවෙලයි හිටියේ.”යි යැයි කියා සිටියා. කුමාරයා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමඟ කතා කරනවා සුප්පාවාස දුටුවා. ඇයගේ සිත පී‍්‍රතියෙන් පිනා ගියා. භාග්‍යවතුන් වහන්සේ දුටුවා ඇය අයෝනිසෝ මනසිකාරයෙන් සිටින බව. භාග්‍යවතුන් වහන්සේ ඇයට සිහිය ඉපදවීම පිණිස මෙසේ අසා සිටියා.

“සුප්පාවාසා, ඔබ මේ දරුවාට බොහෝ ආදරෙයි වගේ නේද?”

“එහෙමයි භාග්‍යවතුන් වහන්ස, මගේ සිත මේ දරුවා ගැන ආදරෙන් පිරිලා. මේ වගේ හුරතල්, මොළකැටි පින්වත්, ආදරණීය දරුවන් හතක් වුවත් ලැබෙනවා නම් මම කැමැතියි” කියා කිව්වා.

ඇයට අවුරුදු හතයි, මාස හතයි, දින හතක් විඳ වූ ඒ මහා විඳවිල්ල අමතක වුණා. ඒ දුක ගෙවා තවම එක දවසයි ගෙවුණේ. ඒ මහා දුක සිහි කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ඇයව අරමුණූ කරගෙන නුවණ පහළ වීම සඳහා මෙසේ වදාළා.

“අමිහිරි දේ මිහිරි ලෙසින් එනවා. අපි‍්‍රය දේ පි‍්‍රය ලෙසින් එනවා. දුක එන්නේ සැපක් ලෙසින්, ප්‍රමාද කෙනා මේ හැම දේට ම යටවෙලා යනවා”

එය ඇසුණ විගස සුප්පාවාසාට නුවණ පහළ වුණා. ඇය කියනවා. “අනේ ස්වාමීනි, මට නම් එක දරුවෙක්වත් එපා” කියලා. ඒ මොහොතේ ම ඇය දරුවාට ඇති බැඳීම අතහැරියා.

“එහෙම නම් පුතේ ඔයා පැවිදි වෙන්න කැමැති ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇසුවා. “එහෙමයි ස්වාමීනි” සීවලී කුමරු පිළිතුරු දුන්නා. දින හතක් ඒ නිවසේ දන් පිරිනමා හත්වැනි දින දරුවා මහ පෙරහරකින් විහාරයට කැඳවා ගෙන ගියා. පැවිද්දට කෙස් රොද කපන්නට පෙර සාරිපුත්තයන් වහන්සේ

“සීවලී ඔබ අම්මාගේ කුස තුළ හිරවෙලා විඳවපු ආකාරය සිහි කරන්න. එය මේ සසර ගැන කළකිරෙන්න, ඔබගේ විමුක්තිය උදෙසා සෑහෙනවා.” කියා වදාළා.

සීවලී කුමරු පැවිදි කිරීමට පළමු කෙස් රොද කපද්දී සෝතාපන්න වුණා. දෙවැනි කෙස් රොද කපද්දී සකෘදාගාමී වුණා. තෙවැනි කෙස් රොද කපද්දී අනාගාමි වුණා. හතරවැනි කෙස් රොද කපද්දි සව් කෙලෙස් නසා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

සීවලී මහරහතන් වහන්සේ යම් විහාරස්ථානයක වැඩ සිටිනවා ද? වඩින සෑම විහාරයට ම සෞභාග්‍ය උදා වෙනවා. එහි භික්ෂු සංඝයාට කිසිදු අඩුවක් වුණේ නැහැ. සීවලී මහරහතන් වහන්සේගේ පුණ්‍ය තේජස ඉස්මතු කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ මෙසේ කටයුතු කළා.

දිනක් රේවත මහ රහතන් වහන්සේ බැහැ දකින්නට දෙව්රම් වෙහෙරේ සිට කදිර වනයට පිටත් වුණා. කදිරවනය තිබුණේ දෙව්රම් වෙහෙරේ සිට යොදුන් තිහක් දුරින්. පා ගමනින් වඩිද්දි දවසකට යා හැකි දුර එක් යොදුනක් පමණයි. මේ ගමනට දින තිහක් පමණ ගෙවා දැමීමට සිදු වුණා. බුදුරජාණන් වහන්සේ සමඟ තිස් දහසක් මහරහතන් වහන්සේ මේ ගමන වඩින්නට සූදානමින් සිටියේ. කදිරවනයට වඩින මඟ පර කැළයක් මැදින් යා යුතුව තිබුණේ. මිනිසුන් ඒ අවට පදිංචිව සිටියේ නැහැ. දින තිහක් තිස් දාහකට දානය දැන් කෝ? කියා ගැටලුවක් මතු වුණා.

ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් කියා සිටියා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ තිස් යොදුන් පාරේ ගියොත් අපට දානේ නැහැ. ස්වාමිනි, මේ වගේ දෙගුණයක් දුර පාරක් තිබෙනවා. අප ඒ මාවතේ යොදුන් හැටක් දුර ගෙවා කදිරවනයට ගියොත් භික්ෂූන්ට දානයෙන් අඩුවක් නො වේවි. නමුත් ස්වාමීනි, ගමනට මාස දෙකක් පමණ ගත වෙනවා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ අසා වදාළා. “ආනන්ද මේ වඩින සඟ පිරිස අතරේ සීවලි වැඩ සිටිනවා ද? “එහෙමයි ස්වාමීණි, සඟ පිරිස අතරේ සීවලී තෙරුන් සිටිනවා”

එහෙම නම් ආනන්ද අපි තිස් යොදුන් පාරෙන් ගමන ආරම්භ කරමු.”

සීවලී මහරහතන් වහන්සේගේ පිනට මහා සංඝ රත්නයට යම් තැනක යමක් සිතනවා ද? ඒ දේ කිසිදු අඩුපාඩුවක් නැතුව ලැබුණා. ගමන යාමට සහ ඒමට මාස දෙකක කාලයක් ගත වුණා. ඒ කාලය පුරාවට ම සීවලී මහ රහතන් වහන්සේගේ මහා පිනේ ප්‍රතිඵලයට තිස් දහසක් පමණ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දානය වැළඳුවේ. සීවලී මහ රහතන් වහන්සේ කියන්නේ ඒ වගේ මහා පුණ්‍යවන්ත රහතන් වහන්සේ නමක්.

ඒ මහා පුණ්‍යවන්ත රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

ඇසළ අව අටවක

අගෝස්තු 08 අඟහරුවාදා
පූ.භා. 04.17 න් අව අටවක ලබා
09 බදාදා පූ.භා. 03.55 න් ගෙවේ.
08 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]