Print this Article


භාවනා පුහුණුව අධිමානසික හැකියාවන් සහිත සුපිරි ජීවියකු වීමට නොවේ

සුවපත් මනසක් සුවබර දිවියක් - 04 කොටස:

භාවනා පුහුණුව අධිමානසික හැකියාවන් සහිත සුපිරි ජීවියකු වීමට නොවේ

භාවනාව යන විෂයය අළලා ලියැවුණු පොත් පත් මහත් රාශියක් ඇත. ඒවායින් බොහොමයක් ලියවී ඇත්තේ යම්කිසි ආගමික හෝ දාර්ශනික සම්ප්‍රදායක් පසුබිම් කොට ගෙන ය. බොහෝ ලේඛකයන් මෙය පෙන්වා දීමට වෙහෙසක් දරා නොමැති බව පෙනෙයි. ඔවුන් පොදු නීති ලෙස හැඟෙන පරිදි භාවනාව සම්බන්ධ කරන ප්‍රකාශයන් බොහෝ විට එක සම්ප්‍රදායකට සුවිශේෂී වෙයි.

ප්‍රතිඵලය මහත් පටලැවිල්ලකි. එකිනෙකට පටහැනි වූ සංකීර්ණ න්‍යායයන් හා අර්ථ දැක්වීම්, තත්ත්වය වඩාත් නරක අතට හරවයි. විසංවාදී මත සංකලනයක් හා අදාළ නොවූ තොරතුරු සමූහයක් මෙහි ප්‍රතිඵලය වෙයි.

ඔබගේ හැසිරීම් රටාව විනිවිද දැකීමට හැකිවන පරිදි සන්සුන්ව හා බැඳීම්වලින් තොරව ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටීමට අපි ඔබට උගන්වමු. මෙහිදී හඳුන්වා දෙන්නේ විපස්සනා භාවනා ප්‍රවේශය සමඟ පමණි.

අපගේ අරමුණ වන්නේ එළැඹි සිහියෙන් සිටීමයි. එනම් යථාර්ථයේ ඇතුළාන්ත ක්‍රියාකාරී මට්ටම දැක ගත හැකි වන අන්දමේ තියුණු එළැඹි සිහියක් හා මානසික ඒකාග්‍රතාවක් ලබා ගැනීමයි.

භාවනාව පිළිබඳ ප්‍රකට පොදු වැරදි හැඟීම් රාශියක් තිබේ. එම ප්‍රශ්න නවක සිසුන් විසින් නැවත නැවතත් මතු කරනු අපි දැක ඇත්තෙමු. භාවනානුයෝගියාගේ දියුණුවට බාධා පමුණුවන මෙම කරුණු සමඟ ආරම්භයේ දී ම ගනුදෙනු කිරීම යෝග්‍ය වෙයි. වරකට එක බැගින් ගෙන භාවනාව ආශ්‍රයෙන් තිබෙන මෙම වැරැදි හැඟීම් දුරු කර ගමු.

භාවනාව සම්බන්ධ පළමු වැනි වැරැදි හැඟීම

‘භාවනාව යනු හුදෙක්ම මානසික විවේකයක් අත්කර ගැනීමේ ක්‍රම ශිල්පයකි. ‘ යන්නයි.

මෙහි හුඹස් බිය ඇති කරන්නේ “හුදෙක්ම” යන්නයි. මානසික විවේකය භාවනාවෙහි ප්‍රධාන අංගය වුව ද විපස්සනා භාවනා ප්‍රවේශයට ඊට වඩා උදාර අරමුණක් තිබේ. කෙසේ වෙතත් අනෙකුත් භාවනා ක්‍රම සම්බන්ධයෙන් මෙම කියමන ඉතාමත් නිවැරැදිය. සමස්තයක් ලෙස ගත් කල, සියලුම භාවනා ක්‍රම මානසික ඒකාග්‍රතාව ඇති කර, මනස එක සිතිවිල්ලක විවේකීව තබයි. ඉතාමත් හොඳීන් සිත එක අරමුණක පිහිටි විට ඔබ ගැඹුරු ප්‍රීති ප්‍රමෝදාත්මක මානසික විවේකයක් අත්විඳීනු ඇත.

මෙය ධ්‍යානය නමින් හඳුන්වනු ලබයි. මහත් ප්‍රමෝදයකට හේතුවන මෙම සුවය ප්‍රබල ශාන්ත භාවයකි. එය සාමාන්‍ය මානසික තලයක දී අත්විඳීය හැකි උපරිම වින්දනය ද ඉක්මවා යන හැඟීමක් වෙයි. බොහෝ භාවනා ක්‍රමයන්හි අවසානය මෙයයි.

ඉතිරි ප්‍රීති කාලයේ දී සිදුවන්නේ මෙම අත්දැකීම නැවත නැවතත් ලබා ගැනීමයි. නමුත් විපස්සනා ක්‍රමයේ දී එය වෙනස් ය. විපස්සනා භාවනාවට වෙනත් පරමාර්ථයක් තිබේ. එළැඹි සිහියෙන් සිටීම, මානසික ඒකාග්‍රතාව (ධ්‍යානය) හා මානසික විවේකය විපස්සනා භාවනාවේ අත්‍යවශ්‍ය අංග ලෙස සැලකෙයි. ඒවා අත්‍යවශ්‍ය ආරම්භකයන්, ප්‍රයෝජනවත් උපකරණ මෙන්ම අතුරුඵලයන් ද වෙයි. ඉලක්කය වන්නේ විනිවිද දකිනා ප්‍රඥාවයි. විපස්සනා භාවනාව ඔබගේ එදිනෙදා ජීවිතය ශුද්ධ පවිත්‍ර කර, වෙනසකට ලක් කරන ප්‍රබල ධාර්මික අභ්‍යාසයකි. චිත්ත ඒකාග්‍රතාවයේ හා විනිවිද දකින ප්‍රඥාවේ වෙනස ඉදිරියේ දී විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.

දෙවැනි වැරැදි හැඟීම

‘භාවනාව යනු නිද්‍රාවකට පත්වීම යන්නයි.‘

නැවතත් මෙම කියමන අනෙකුත් භාවනා ක්‍රම සම්බන්ධයෙන් සත්‍ය වුව ද, විපස්සනාවට අනුව අසත්‍යයකි. විපස්සනා භාවනාව මෝහනය කිරීමක් නොවෙයි. මනස නිද්‍රාවකට පත්කර සිහිසුන් තත්ත්වයට පැමිණීම අවශ්‍ය නැත. ඔබව හැඟීම්, දැනීම් නැති තත්ත්වයට පත් නොකරයි. ඇත්තෙන් ම සිද්ධවන්නේ ඊට හාත්පසින් ම විරුද්ධ දෙයයි. ඔබගේ වෙනස්වන හැඟීම් සහ ආවේග කෙරෙහි ඔබ වඩාත් සංවේදී බවක් දක්වයි. ඔබට, ඔබ පිළිබඳ වඩාත් පැහැදිලි වූත්, නිරවද්‍යවූත් අවබෝධයක් ලබා ගත හැකි වෙයි. මෙම ක්‍රියාවලියේ දී, පිටතින් එදෙස බලන්නකුට නිද්‍රාවක් ලෙස පෙනෙන මානසික ස්වභාවයන් ඇතිවීමට පුළුවන. නමුත් සිදුවන්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. මෝහන නිද්‍රාවේ දී වෙනත් පුද්ගලයකු විසින් මෝහනයට පත්වන්නා හසුරුවනු ලබයි. නමුත් ගැඹුරු මානසික ඒකාග්‍රතාවයක සිටින භාවනානුයෝගියා තමාගේ පාලනය යටතේ පසුවෙයි.

සමානකම් ඇතොත් ඒ මතුපිටින් පෙනෙන සමානකම් පමණි. කෙසේ වෙතත් එවැනි දේ ලබා ගැනීම විපස්සනා භාවනාවේ අරමුණ නොවෙයි. කලින් කී පරිදි ගැඹුරු මානසික ඒකාග්‍රතාව නොහොත් ධ්‍යාන ගතවීම, එළැඹි සිහිය තියුණු කර ගැනීමේ මාර්ගයෙහි පියවරක් වෙයි. විපස්සනා යන්නෙහි අර්ථය වන්නේ ද දැන සිටීම නොහොත් එළැඹි සිහිය වගා කර ගැනීමයි. භාවනා පුහුණුවේ දී ඔබ සිහි මුර්ජා වන බව දැනෙනවා නම්, ඉතාමත් සරලව කිව හැක්කේ ඔබ විපස්සනා ප්‍රවේශයට අදාළව භාවනා නොකරන බවයි.

තෙවැනි වැරැදි හැඟීම

භාවනාව යනු තේරුම් ගැනීමට අපහසු ගුප්ත අභ්‍යාසයක් බවයි.

සත්‍යය නොවන නමුත් මෙය සත්‍යයට ඉතා සමීප වෙයි. භාවනාවේ දී ගනුදෙනු කරන්නේ සංකල්පමය සිතිවිලි මට්ටමට වඩා ගැඹුරු මානසික තලයක් සමගිනි. භාවනාවට අදාළ සමහර කරුණු වචනවලට ගොනු කිරීම අසීරු කාර්යයකි. වටහා ගැනීමට නොහැකි බව මින් අදහස් නොකරමු. වචනවලට වඩා ගැඹුරු තේරුම් ගැනීමේ ක්‍රම ඇත. ඇවිදින්නේ කෙසේද යන්න ඔබ පහසුවෙන් තේරුම් ගනියි. සමහරවිට මෙහිදී නියුරෝන හා මස්පිඬුවල හැකිළීම සිදුවන්නේ කුමන අන්දමට ද යන්න ඔබට නොවැටහීමට පුළුවන. නමුත් ඔබට ඇවිදීමට හැකි ය. භාවනාව ද මෙලෙස අභ්‍යාසය තුළින් තේරුම් ගත යුතු ක්‍රියාවකි.

සාමාන්‍ය වචන මඟින් එය ඉගෙන ගත නොහැකි ය. එය කථා කිරීමට මාතෘකාවක් ද නොවෙයි. එය පුහුණුව තුළින් ම අත්දැකිය යුතු දෙයකි. භාවනාව, ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පලකළ හැකි හෝ ස්වයංක්‍රීය ප්‍රතිඵල ලබා දෙන සූත්‍රයක් නොවෙයි. භාවනා කාලයක් තුළ දී නිශ්චිතව මේ දේ සිදුවෙතැයි කිසිදිනෙක අනාවැකි පලකළ නොහැකි ය. එය විමර්ශනයක් හා අත්හදා බැලීමකි. සැමවිටම කුතුහලයෙන් පිරි ගවේෂණයකි. ඉදිරියට සිදුවන්නේ කුමක් දැයි සිතා ගත හැකි එකම තත්ත්වයක රැදී සිටින සැටියක් ඔබගේ පුහුණුවේ දී ඔබට දැනේ නම්, එය ඔබ මාර්ගයෙන් පිට පැන ඇති බවට සංඥාවකි. එක තැනම පල්වෙන බවට ලකුණකි. විපස්සනාවේ දී, හැම තත්පරයක් ම විශ්වයේ පළමු මෙන්ම එකම තත්පරය ලෙස සැලකීම අත්‍යවශ්‍ය කරුණකි.

සිව්වැනි වැරැදි හැඟීම

‘භාවනා පුහුණුවේ යෙදෙන්නේ අධිමානසික හැකියාවන් සහිත සුපිරි ජීවියකු වීම සඳහා ය.‘ යන්න ය.

එයට පිළිතුර ‘කොහෙත්ම නැත.‘ යන්නයි. භාවනාවේ පරමාර්ථය සිහිකල්පනාව වර්ධනය කර ගැනීමයි. අන් අයගේ සිත් කියවීමට ඉගෙනීම හෝ අහසින් ගමන් කිරීම අපගේ බලාපොරොත්තුව නොවෙයි. අපගේ ඉලක්කය විමුක්තිය ලබා ගැනීමයි.

අධිමානසික බලය හා භාවනාව අතර සම්බන්ධයක් තිබෙන නමුත් එය සංකීර්ණ එකකි.

භාවනා ජීවිතයේ මුල් අවදියේ දී මෙවැනි සිද්ධීන් ඇතිවීම හෝ නොවීම සිදුවීමට පුළුවන. සමහර පුද්ගලයන් හට සහජ ඥානය හෝ පෙර භවයන් හි මතකයන් උඩුසිත කරා පැමිණිය හැක. සමහරුන්ට මෙම අත්දැකීම් නොලැබෙයි. කෙසේ වෙතත් මෙවැනි දේ හොඳීන් වර්ධනය වූ හා විශ්වාස කළ හැකි අධිමානසික හැකියාවන් ලෙස නොසැලකෙයි. එමෙන්ම ඒවාට අනවශ්‍ය වැදගත්කම් ආරෝපණය නොකළ යුතු ය. මුළාවිය හැකි බැවින් මෙවැනි සිද්ධීන් නවක සිසුන්ට අන්තරාදායී විය හැක.

මේවා, ඔබ මාර්ගයෙන් ඉවතට කැඳවා ගෙන යන මමත්වයේ උගුලක් වීමට පුළුවන. කළ යුත්තේ මෙවැනි සිද්ධීන්ට අනවශ්‍ය වැදගත්කමක් හෝ අනවශ්‍ය අවධානයක් නොදීමයි. ඒවා පැමිණියහොත් එය යහපත් ය. ඒවා නොපැමිණීම ද යහපත් ය. භාවනා ජීවිතයේ දී මානසික හැකියාවන් පුහුණු කළ හැකි, විශේෂ අභ්‍යාසයන් හි යෙදෙන කාලයක් ඇත. නමුත් ඒ සෑහෙන පුහුණුවකින් පසුව ය. ඉතා ගැඹුරු ධ්‍යානයක් හා මානසික විවේකයක් අත්කර ගැනීමෙන් පසුවයි. මේ වන විට අන්තරාවකින් තොරව මෙවැනි බලයක් සමඟ, ගනුදෙනු කළ හැකි දියුණු තත්ත්වයක් භාවනානුයෝගියා අත්කරගෙන සිටියි. එවිට ඔහු හෝ ඇය එම හැකියාවන් වර්ධනය කර ගන්නේ අන් අයට යහපතක් සැලසීමේ අභිප්‍රායෙන් පමණකි. බොහෝ විට මෙවැනි මට්ටමට කෙනෙක් පත්වන්නේ දශක කීපයක් තුළ භාවනා පුහුණුවෙන් පසු ය.

ඒ ගැන ඔබ දැන්ම කරදර නොවන්න. එළැඹි සිහිය වර්ධනය කර ගැනීම පිළිබඳ පමණක් සිත යොමු කරන්න. දර්ශන හෝ කටහඬ පැමිණේ නම් ඒ බව දැනගෙන, ඒවාට යන්න හරින්න. ඒවා සමඟ නොපැටලෙන්න.

පස්වැනි වැරැදි හැඟීම

භාවනා පුහුණුව අනතුරුදායකයි. නුවණැත්තන් භාවනාව මඟ හැරිය යුතුයි.

සෑම දෙයක් ම අනතුරුදායකයි. පාර හරහා යන ඔබ බසයකට යට විය හැක. දිය නාන විට පය ලිස්සා බෙල්ල කඩා ගැනීමට ඉඩකඩ ඇත. භාවනා කිරීමේ දී වැලලුණු අමිහිරි අතීත සිද්ධීන් මතුපිටට පැමිණීමට පුළුවන. දිගු කාලයක් තිස්සේ සිත යට යටපත් ව තිබූ කරුණු බිය ගෙන දෙන සුලු විය හැක.

නමුත් එය ඉතා ප්‍රයෝජනවත් ය. අවදානමකින් තොර වූ කිසිවක් ලොව නැත. එම නිසා ආරක්ෂාකාරී කෝෂයක් තුළ සිරවී සිටීම ද කළ නොහැක. එය ජීවත්වීමට වඩා අකල් මරණයට ගොදුරුවීමක් වැනි ය. අනතුරු සමඟ ගනුදෙනු කළ යුතු හොඳම ක්‍රමය වන්නේ දළ වශයෙන් අන්තරාවේ ප්‍රමාණය, තිබිය හැකි ස්ථාන හා පැන නැඟුණු විට එයට මුහුණදෙන ආකාරය ඉගෙන ගැනීමයි මෙහි පරමාර්ථය එයයි.

විපස්සනාව යනු සිහිනුවණ දියුණු කිරීමයි. එය තනිව ගත්විට අන්තරාදායී නැත. එපමණක් නොව දියුණු සිහි කල්පනාව අනතුරු සඳහා වූ ආරක්ෂාවයි. හරියාකාරව පුහුණු වූ විට, භාවනාව මෘදු මෙන්ම ක්‍රමානුකූල ක්‍රියාවලියකි. එය සෙමෙන්, සැහැල්ලුවෙන් පුරුදු වන විට ඔබගේ පුහුණුවේ වර්ධනය ඉබේම සිදුවනු ඇත. කිසි බලකිරීමක් ඇවැසි නැත. පසු කාලයක දී ඔබ දක්ෂ භාවනා ගුරුතුමකු ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂාකාරී ගුරූපදේශ සමඟ පුහුණුව ලබන කල, භාවනා කාලය දීර්ඝ කර, ඔබගේ වර්ධන වේගය ද වැඩි කර ගත හැක. මුල දී සෙමෙන් පුහුණු වන්න. එවිට සියල්ල හොඳීන් සිද්ධවනු ඇත.

සයවැනි වැරැදි හැඟීම

භාවනා පුහුණුව ඇත්තේ ශාන්තුවරයන් සහ මුනිවරයන් සඳහායි. සාමාන්‍ය ජනයා සඳහා නොවෙයි යන්නයි.

සංඝයා වහන්සේට සහ ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්නන්හට මහත් ගෞරව හා වන්දනාමාන දක්වන ආසියානු රටවල ජනයා අතර මෙවැනි ආකල්පයක් පවතියි.

මෙය තරමක් දුරට අමෙරිකානු ජාතිකයින් සිනමා තාරකාවන් සහ බේස් පන්දු වීරයින් දේවත්වයෙහිලා සැලකීම හා සමාන ආකල්පයකි. මෙවැනි පුද්ගලයින් එකම ආකෘතියකට ඇතුළත් කොට, යථාර්ථයට වඩා විශාල කොට, මනුෂ්‍යයින් අතුරින් ඉතා ටික දෙනකුට පමණක් ළඟා කර ගත හැකි නොයෙක් මාදිලියේ ගති ලක්ෂණවලින් හැඩගන්වා ඇත.

භාවනාව පිළිබඳ මෙවන් ආකල්ප බටහිර රටවල වෙසෙන අප තුළ ද පවතියි. භාවනානුයෝගීන් ඉතා සුවිශේෂ වූ පුදුම දේ කළ හැකි ධාර්මික පුද්ගලයින් විය යුතු බවට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සමඟ කෙටි ඇසුරකින් පසු එවැනි වැරැදි හැඟීම් අප කෙරෙන් බැහැරව යයි. ඔවුන් විශාල උද්‍යෝගයකින් සහ ක්‍රියාශීලී බවකින් හෙබි පුදුමාකාර ශක්තියකින් ජීවිතය ගෙන යන පුද්ගලයින් ය.

බොහෝ ශුද්ධවන්ත පුද්ගලයින් භාවනා පුහුණුවේ යෙදෙන බව ඇත්තකි. නමුත් ඔවුන් භාවනා කරන්නේ ඔවුන්ගේ ශුද්ධවන්ත බව නිසා නෙවෙයි. ඔවුන්ගේ ජීවිත ශුද්ධවන්ත වී ඇත්තේ භාවනා පුහුණුව නිසයි. මෙය ඉතාමත් වැදගත් කරුණකි.

භාවනාව ආරම්භ කිරීමට පෙර යමෙකු පූර්ණ ශුද්ධවන්ත ජීවිතයක් තිබිය යුතු බව බොහෝ ශිෂ්‍යයින් විශ්වාස කරන බව පෙනෙයි. මෙය ප්‍රායෝගික නොවන ක්‍රමවේදයකි. සිල්වත් බවක් ඇතිකර ගැනීමට යම්කිසි ප්‍රමාණයක මානසික පාලනයක් අවශ්‍ය කරයි. එය තිබිය යුතු ගුණාංගයකි. සුළු ස්වයං පාලනයක් හෝ නොමැති පුද්ගලයකුට කවර ශික්ෂා පදයක් හෝ අනුගමනය කිරීම අසීරු කාර්යයකි.

නිරතුරුව චංචල වන සිතක් ඇති තැනැත්තාට ස්වයං පාලනයක් ඇති කර ගැනීම පහසු නොවෙයි. පළමුව මානසික වගාව සිදුවිය යුත්තේ මේ හේතුවෙනි.

ශීලය, සමාධිය හා ප්‍රඥාව බෞද්ධ භාවනාවෙහි අනුබද්ධිත අංග තුනයි. ඔබගේ පුහුණුව ගැඹුරෙන් වැඩෙන විට මෙම සාධක තුන ද එකවර වර්ධනය වීම සිදුවෙයි.

එකිනෙක කෙරෙහි බලපෑම් ඇති කරන බැවින් ශීලය, සමාධිය හා ප්‍රඥාව එකවිට වර්ධනය කර ගැනීම වැදගත් ය. යම්කිසි අවස්ථාවක් නියම ආකාරයෙන් තේරුම් ගැනීමට ප්‍රඥාව ඇතිවූ විට එයට අදාළ සියලුම පාර්ශ්වයන් කෙරෙහි කරුණාව ඉබේම වැඩෙයි. මෙහි දී කරුණාව යනුවෙන් අදහස් වන්නේ තමාට හෝ අන් අයට පීඩාවක් සිදුවිය හැකි සිතිවිලිවලින්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් වැළකී සිටීමයි. එවිට ඔබගේ හැසිරීම ඉබේම ශීලසම්පන්න වෙයි.

කරුණු කාරණා ගැඹුරින් අවබෝධ කර නොගැනීම නිසා ඔබට ගැටලු මතු විය හැක. ඔබගේ ක්‍රියාවේ පලවිපාක නොදකින විට ඔබ වරදෙහි බැඳෙයි. භාවනාව ආරම්භ කිරීමට පෙර පරිපූර්ණ සීලයක් ඇති කර ගැනීමට බලා සිටින්නා කිසිදාක නොපැමිණෙන අවස්ථාවක් බලාපොරොත්තුවෙන් හිඳීයි. පැරැණි ඍෂිවරුන් පවසන පරිදි ඔහු දියනෑම සඳහා මුහුද නිශ්චල වන තුරු බලා සිටින්නකුට සමානයි.