Print this Article


සොබාදහමෙන් වන පීඩා අවම කර ගන්නටමෙත් සිත වඩමු

සොබාදහමෙන් වන පීඩා අවම කර ගන්නටමෙත් සිත වඩමු

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සුඛ කාමානි භූතානි
යො දණ්ඩෙන විහිංසති
අත්තනො සුඛමෙසානො
පෙච්චසො නලභතෙ සුඛං

සුඛ කාමානි භූතානි
යො දණ්ඩෙන නහිංසති
අත්තනො සුඛ මෙසානො
පෙච්චසො ලභතෙ සුඛං

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසනා සමයෙහි කුමරුන් සමූහයක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

දිනක් අප බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස දෙව්රම් වෙහෙරෙන් නික්ම වඩින විට කුමාරවරු සමූහයක් නොසන්සුන් ගතියෙන් එහා මෙහා දුවමින් ගල්මුල් රැගෙන සතෙකුට ගසා තළා පෙළා දමන ස්වභාවයක් දැක බුදුරජාණන් වහන්සේ ළමයින්ගෙන් ප්‍රශ්න කළ සේක. ‘ස්වාමීනි, මහ කළු නයෙක් අපට දෂ්ට කළොත් අපි මැරෙනවා යැයි ළමයි පිළිතුරු දුන් පසුව බුදුරජාණන් වහන්සේ

“ඔය නයාට යන්නට ඉඩ හරින්න. අප සෑම දෙනාම තම තමන්ගේ ජීවිතේට ආශා කරනවා කාටත් වේදනාව දැනෙනවා” යැයි ළමයින්ට අවවාද කොට මේ කාරණය නිමිති කර ගෙන මෙම ගාථා දේශනා කළ සේක.

සත්ත්වයෝ සැප කැමැත්තෝ ය. යමෙක් සැප කැමති වෙනත් සතෙකුට හිංසා කෙරේ නම්, ඔහු මරණින් මතු සැප නො ලබන්නේය.

එමෙන් ම යමෙක් සැප කැමැති වෙනත් කෙනෙකුට හිංසා නොකෙරේ ද ඔහු පරලොව දී සැප ලබන්නේ ය.

මිහි මත උපදින සෑම සත්ත්වයා ම සැප සංකල්පයට කැමැති වන අතර, එය කර්මය, පරිසරය අනුව අන්‍යෝන්‍ය සාපේක්ෂකව වෙනස් වන්නේ ය.

සත්ත්වයාගේ සැප දුක් වේදනාව පින් පව් ක්‍රියාකාරිත්වයේ අනිවාර්ය ප්‍රතිඵලය බව බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමයි.

අප බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව සමයේ අනන්ත භවයන්හි ඉපිද සත්ත්වයාගේ දුක සැප පිළිබඳ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය පරියේෂණාත්මක අත්දැකීම් අනුව අවබෝධ කර ගත් සේක. එයින් සත්ත්වයාගේ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය, හා පරිහානිය සිදුවන අයුරු ශාස්ත්‍රීය ලෙස දක්වා ඇත.

සෙසු සියලුම ආගම්වල කර්මය නිර්මාණවාදයට යටත් කොට ඇති නමුත් අප බුදුරජාණන් වහන්සේ සත්ත්වයාගේ කර්මය සත්වයා විසින්ම පෞද්ගලිකව ඇති කර ගන්නා බලශක්තියක් බව සූත්‍ර රාශියකම දක්වා ඇත.

කම්ම විභංග සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය ආදි දේශනාවලින් වර්තමාන කර්මය අනාගත අභිවෘද්ධියට මෙන්ම විනාශයට ද බලපාන අයුරු දක්වා ඇත.

සත්වයකුගේ ජීවිතය පවතින්නේ තවත් සත්ත්වයන් සිය දහස් ගණනකගේ ක්‍රියාකාරිත්වය අනුව ය. ඒ අනුව සත්ත්වයාගේ, විශේෂයෙන් මිනිසාගේ හොඳ හෝ නරක ක්‍රියාවන් නිසා සෙසු කෝටි සංඛ්‍යාත සත්ත්වයන්ගේ ඉරණම විසඳෙන්නට පුළුවන.

අතීත නාම රූප සංකලනයෙන් උපන් සත්වයා මවු කුසින් බිහිවූ දා සිට සොයන්නේ පසිඳුරන් පිනවීමට ය. එයට බාධාවෙන ඕනෑම දෙයක් කෙරෙහි කෝපවීම ස්වභාවික ව සිදුවන අතර, ප්‍රතිවිරුද්ධ පුද්ගලයා කෙරෙහි අභිමතය පරිදි බද්ධ වෛරයක් චිත්ත සන්තානය තුළ හට ගන්නේ ය.

පුද්ගලයකුට හුදකලාව ම ජීවත් වන්නට නොහැකි ය. අපේ ඉන්ද්‍රියයන් පිහිටා තිබෙන ස්වරූපය හා පරිසරය සිය දහස් ගණනකගේ සම්බන්ධයට සාපේක්ෂව දුක සැප වේදනා වින්දනයට අවකාශ ලබා දී ඇත. මේ නිසා සත්ත්වයා සංසාර පුරුද්ද අනුව සුඛ විහරණයට නම්‍යතාව වැඩිවන අතර, තණ්හාව නිසා ක්‍රෝධයත්, මෝහයත් ක්‍රියාත්මක වන්නේ ය. සමාජය පැවැත්මේ පදනම මානසික බලයයි. ‘මනොපුබ්බංගමාධම්මා’ යනුවෙන් අප බුදුරජාණන් වහන්සේ එය පැහැදිලිව ම පෙන්වා වදාළ සේක.

කෙනකු වෙනත් කෙනෙකුගේ ජීවිතය පිළිබඳ සැලකීමක් නොමැතිව තණ්හාවෙන් ඇලී ද්වේෂයෙන් දූෂිතව මුළාවී හිංසා පීඩා කරන්නේ නම්, එහි විපාක මරණින් මතු විඳින්නට සිදු වන්නේ ය. සතර අපායේ ඉපිද කල්ප ගණන් දුක්වේදනා විඳ විඳ මැරි මැරී එහිම උපදින්නේ ය.

ලෝකයේ හිංසාව නිසා ඇතිවන අපරාධ අපමණ ය. නීතිය, දඬුවම, පමණක් හිංසනය අඩුවීමට හේතු නොවේ. වර්තමාන මානව සමාජය සකස් වී ඇත්තේ ප්‍රාණඝාතාදී අකුසල් දැන දැනම අන්ධානුකරණයෙන් අකුසල් කිරීමට ය.

විද්‍යාත්මක ලෝකයේ දඟලන මිනිසා හැකි ඉක්මනින් කෙසේ හෝ තමන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට ප්‍රයත්න දරන්නේ ය. එයට සාපේක්ෂව සිදුකරන අකුසල නිසා මානව සමාජ එකිනෙකාට චෝදනා කිරීම දින දින වර්ධනය වන අතර, ස්වභාව ධර්මයෙන් වන පීඩා, දුක් දොම්නස් ද ඉතා වේගයෙන් ජන ජීවිතය මර්ධනය කරන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ මෛත්‍රී චින්තාව වර්තමාන ලෝකයට සම්පූර්ණයෙන් ප්‍රමාණවත් වන්නේ ය. එසේ හෙයින් එම මෛත්‍රී චින්තාව විවෘත හදවතින් ම සමස්ත මානව සමාජයට ම පතුරුවන්නට අදිටන් කර ගන්න.