Print this Article


අනුන්ගේ දොස් දකින්නට පෙර ...

අනුන්ගේ දොස් දකින්නට පෙර ...

අප විසින් කලක සිට විමසුමට ලක් කරමින් පවතින බුදුසරණ දහම් පුවත්පත මඟින් පින්වත් ඔබ වෙත පත් කරමින් සිටින කරණිය මෙත්ත සූත්‍රයෙහි සඳහන් ඉතා වැදගත් කරුණක් අද අපේ විමසුමට ලක් කරනවා.

“න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං” මෙයින් ඉදිරිපත් කරන අදහස් ටික ගිහි පැවිදි අප හැම දෙනාට ම අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා.

මෙහි දී සඳහන් වූ පළමු කොටසෙන් කියවෙන්නේ ( න ච ඛුද්දං සමාචරෙ ) ඉතා කුඩා වූ වරදක් වුවත් ගිහි පැවිදි අප කවුරුත් නො කළ යුතු යන අදහස යි. ඉතින් වරද දිහා බලන විට එය කුඩා ද? ලොකු ද? යන්නට වඩා වැදගත් වන්නේ වරද වරද ම ය කියා සිතා කටයුතු කිරීම යි. කුඩා දරුවකු වුව ද ඉතා බාල වියේ දී පාසලේ දී කුඩා පෑනක්, පැන්සලක් වැනි දෙයක් සොර සිතින් තවත් දරුවකුගෙන් පැහැර ගෙන තම ගෙදරට ගිහින් නැති බැරිකම්වලින් පෙළෙන තම අම්මාට දුන්නහම එම ක්‍රියාව වරදක් බව නො කියා හෝ නිහඬ ව සිට එහි ආදිනව දරුවාට කියා දී දරුවා වරදින් මුදවා ගන්නට ක්‍රියා නොකළොත් ඒ දරුවා අනාගතයේ මහා දරුණු හොරෙකු බවට පත් වී සිරබත් කා මෙලොව ම දුකට පත් වෙනු දැකීමට ඒ අම්මාට වුව ද සිදු වෙනවා. එවැනි කොතෙකුත් නිදර්ශන සමාජයෙන් අපට ලබා ගන්ට පුළුවන්.

මේ තත්ත්වය අපට බොහෝ විට වැටහෙන්නේ යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් බොහෝ දුර දිග ගොස් අන්ත අසරණ තත්වයට පත් වුණාට පස්සෙ යි.

මේ නිසාම පැවිදි පක්ෂය වුවත්, ගිහිපක්ෂය වුවත් තම ශිෂ්‍යබාලාදීන් එහෙම නැත්නම් ගෝලබාලයන් (පැවිදි), දරුවන් හදන වඩන කොට ස්වල්ප හෝ වරදක්, අවැඩක් ඒ අය විසින් කරන කොට ඒ ගැන විමසිලිමත් වී සුළු හෝ ඒ වරදින් මුදවා ගෙන බාල වයසේ පසුවන පිරිස් මුදවා ගැනීමට ක්‍රියා කළ යුතු වෙනවා.

දීඝනිකායේ සුභ සූත්‍රයේ දී කියැවෙන විදිහට සසර දුක ගැන කළකිරුණු තැනැත්තා එයින් මිදී සියලු බන්ධනයන්ගෙන් ඉවත්ව මහණදම් පුරණවා නම් ඉතා සුළු වරදෙහි වුව භය ඇති කර ගෙන ක්‍රියා කරන බව ප්‍රකාශ වෙනවා.

පංචශීලයෙහි එන ශික්ෂා පද කීපයෙන් කය වචනය දෙකින් සිදු වන වරදින් මුදවා ගැනීමේ කාර්යය ඉටු කර ගැනීමට බෞද්ධයෝ මෙම සිල්පද සමාදන් වෙනවා. එපමණක් නොව දශවිධ අකුසල කර්මයෙන් වෙන් වීම තුළ යහපතෙහි ක්‍රියා කරනවා. වරදින් මිදෙනවා.

”යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං” යන කරණීය මෙත්ත සූත්‍ර පාඨයට අනුව වරද සුළු හෝ බරපතල කෙසේ වෙතත් වරද වරදක් ම යි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යම් කිසි නුවණැති අයකු විසින් අපවාදයට හේතු වන වරදක් කිරීමේ දී ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. මෙහි දී නුවණැත්තා (විඤ්ඤූ)ලෙස ප්‍රකට කරන අර්ථය වන්නේ සැබෑ කල්‍යාණ මිත්‍රයා යන්නයි. එසේ නම් අප විසින් කරනු ලබන යම් සුළු හෝ මහත් වූ වරදක් අවැඩක් වෙයි නම් ඒ පිළිබඳ දොස් දකිමින් එහි ගුණාගුණ පෙන්වා දීමට තරම් ශක්තිය ඇත්තේ එම වරදෙහි කිසි ලෙසකින්වත් තමා නො බැඳුණු, තවත් අය එම වරදෙහි බැඳෙන විට කරුණාවෙන් දයාවෙන් එහි ආදිනව පෙන්වා දෙමින් ක්‍රියා කරන බුද්ධිමත් වූ අයයි. මෙබඳු අය සමාජයේ දුර්ලභ යි.

අද සමාජය ඉදිරියේ භික්ෂුවකගේ හෝ වේවා ගිහි අයකුගේ හෝ වේවා එම වරද උලුප්පවමින් වරද සුළුවෙන් හෝ සිදු කළ අය නිග්‍රහයට, අවමානයට ලක් කරමින් නිරන්තරයෙන් ම තවත් අයකුගේ සිදුරු සොයමින් කටයුතු කරනු වෙනුවට ඒ ආකාරයෙන් සුළු හෝ වරද නිවැරැදි කර ගැනීමට නිහඬ ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වන ආකාරයක් අපට පෙනෙන්නේ නැහැ. ඒ අනුවණ අඥානයන්ගේ පිළිවෙත බුදුරජාණන් වහන්සේගේ දහමට විරුද්ධ වුවක්. එවැනි අඥාන පාපතර මිත්‍රයාගේ කාර්යය බවට පත්වෙලා තිබෙන්නේ තමන්ගේ අසත්පුරුෂ ලාමක ගතිය නිසා වරද කරන පුද්ගලයා සමාජය ඉදිරියේ ගර්හාවට ලක්කර, ඔහු සමාජයෙන් කොන් කර තමන්ගේ නිර්දෝෂ ප්‍රතිරුපය පුම්බා ගැනීමට ක්‍රියා කිරීම යි.

මෙම අසත්පුරුෂයෝ කිසියම් පුද්ගලයකු තුළ පවත්නා සත්ධර්ම සුළුවට හෝ දක්නට ලැබෙයි නම් ඒවා හැම විටම යටපත් කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කරමින් හදිසියෙන් සිදු වන අත්වැරැද්ද පවා උපුටා දක්වමින් පුද්ගලයා සමාජය ඉදිරියේ ගර්හාවට ලක් කරනවා.

ගුණය හඳුනන ගුණවත් හෙවත් සත්පුරුෂයා පමණක් යම් අයකුගේ ස්වල්ප වූ ද ගුණයක් දුටුවිට එය අගයමින් ඒ පිළිබඳ මහත් වූ තෘප්තියට පත්වෙන බව එදා භාරතිය පඬිවරයන් පවා ප්‍රකාශ කළේ බුදුදහමේ උගන්වන න්‍යාය අනුව යමින් යැයි පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා.

ඒ වගේම තමා

අනුන්ගේ කුණු කන්දල් හොයන අසත්පුරුෂයාගේ කිසිම කලණ ගුණයක් නැහැ. උපමාවකින් පෙන්වනවා නම් ඌරාගේ ස්වභාවය ගත්තොත් මැරිච්ච මුතු බෙල්ලෙකුගේ කුණක් දුටු හැටියේ ම ඒ ඌරා කරන්නේ අර මලකුණේ පණුවන් සහිත ජරාව, සැරව සොයා කෑම යි, බීම යි. ඌරට මුතුබෙල්ලාගේ මුතුවල කිසිම වටිනාකමක් නැහැ. මුතු බෙල්ලාගේ වටිනා කිසිදු දෙයක් වැටහෙන්නේ නැහැ. ඒ වගේම තමා මේ දිනවල සමහර පුවත්පත් ඇතුළු ජනමාධ්‍යවල ප්‍රකාශ වන ප්‍රවෘත්ති. ඔවුන් සොයන්නේ කුණු ම යි. කෙනකුගේ වටිනාකම් ගැන උපුටා දැක්වීමක් කරන්නේ බොහොමත් ම කලාතුරකින්

ඇතැම් භික්ෂූන් වෙසින් පෙනී සිටින පුද්ගලයන්ගේ නොහොබිනා ක්‍රියා අනුමත කරන්නේ නැහැ. එය බුද්ධ කාලයේත් විද්‍යමාන වූ තත්වයක්. එහෙත් විනය දේශනාවන්හි වුව ද ප්‍රතිකර්ම කර නැවත සංඝ සමාජයේ පිළිගැනීමට භාජන කළ හැකි ඇතැම් විනයානුකුල ක්‍රියා ද තිබෙනවා.

ඇතැම් අවිනය ක්‍රියා යථාවත් කොට භික්ෂුව ආයති සංවරයෙහි පිහිටුවීමටත් හැකියාව විනයානුකූලව පවතිනවා. මේ කිසිවක් නොදන්නා ඇතැම් චෝදකයෝ ක්‍රෝධයෙන්, වෛරයෙන්, වෙනත් අය කියන පලියට ඒ ඔස්සේ යමින් කරුණු නොවිමසා අවිචාරවත් ව පළිගැනීමේ චේතනාවෙන් වාචාළ බස් දොඩවමින් නිකරුණේ කාලය ගත කරමින් භික්ෂූන් වහන්සේ අපහාසයට උපහාසයට ලක් කරන අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ පවා එවැනි දෝෂාරෝපණයන්ට එදා ලක් වූයේ මෙවැනි වෛරී, ඊර්ෂ්‍යා පරවස තත්වයන් යටතේ ඇතැම් අඳ බාල මුළා වූ මිනිසුන් එදත් මේ සමාජයේ සිටිය නිසයි.

අද ඒ තත්වය වෙන කවරදාටත් වඩා වර්ධනය වී තිබෙන්නේ වරදටත් වඩා විවිධ බලවේග ක්‍රියාත්මක වීම නිසයි.

බුදුරජාණන් වහන්සේ වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ කෙනෙකුගේ දොසක් දැකලා, ඒ දෝෂය නිවැරැදි කර දීමට කල්‍යාණ මිත්‍රභාවයෙන් යුක්තව, අනුකම්පාවෙන්, දයාවෙන් නැවත එම දෝස සහිත බවක් ඇති නො වීමට කරුණු පෙන්වා දෙන සත්පුරුෂයා කවුද යන්න අවබෝධ කර ගෙන, හොඳීන් දැන ගෙන නිතරම ක්‍රියා කළ යුතු බවයි.

අද අපේ සමාජයේ බොහෝවිට දක්නට ලැබෙන තත්ත්වයක් වන්නේ පස්පව්වල ඇලී ගැලී නිතරම සදොස් සහිත ජීවිත ගත කරන බොහෝ අඳ බාල පිරිස් දේශපාලන, ලාභ, ප්‍රයෝජන සලකා අනුන්ගේ දොස් දකිමින් අසාමාන්‍ය චෝදනා ඉදිරිපත් කරමින් නිදොස් ජීවිත ගත කරන භික්ෂූන් වහන්සේගේ වුව ද අල්ප මාත්‍ර අඩුපාඩුවක් දුටු සැණින් වහසි බස් දොඩමින් පුවත්පත් සාකච්ඡා ද පවත්වමින් ඒවාට ද අසාමාන්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙමින් ක්‍රියා කරන ආකාරයක්.

මෙහි දි කල්‍යාණ මිත්‍රයා මේ තත්වයෙන් වෙනස් වන්නේ ඔහු යමකුගේ සුළු හෝ ගුණය පැසසුමට ලක් කරනවා වගේ ම දක්නට ලැබෙන යම් අඩුපාඩුවක් වේ නම් අති මහත් වූ කරුණාවෙන් නිහඬව ඒ තත්වය අවබෝධ කර දි ආයති සංවරයෙහි පිහිටුවීමට ක්‍රියාකිරීම නිසයි

කෙසේ වුණත් ආත්ම ගෞරවය ඇතිව, පරෝපවාද රහිතව තමන්ගේ ජීවන ගමන සකස් කර ගන්නා අය හැමවිට ම කිසිවකුගේ දොස් නො අසා කටයුතු කරන්නට උත්සාහ කරනවා.

ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා, අප විසින් තේරුම් ගත යුතු කරුණක් වන්නේ අප විසින් කරනු ලබන සෑම හොඳ හෝ නරක පැවැත්මක ප්‍රතිඵලය පිළිබඳ වගකීම වෙනත් අයකු සතු නොවන බව බුදුරදුන්ගේ ඉගැන්වීම යි

” සුද්ධී අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසොධයෙ ”

ඒ නුව තම ක්‍රියාවේ ප්‍රතිඵලය තමා පසුපස්සේ හඹා එනවා නම්, කුමකට ද අපි තවත් අයකුගේ ක්‍රියාවක් දැක දොස් දකින මනසින් යුක්තව වෙහෙසෙන්නේ. පළමුව තමන්ගේ දොස් ඇත්නම් නිදොස් වීම නේද කළ යුත්තේ.