Print this Article


ධර්ම දානයක් ලෙස පිරිනමන සාමණේර බණ දහම් පොත

ධර්ම දානයක් ලෙස පිරිනමන සාමණේර බණ දහම් පොත

“විනයෝ නාම සාසනස්ස ආයු, විනයේ ඨිතේ සාසනං ච ඨිතො හෝති” යනුවෙන් අප බුදුරදුන් දේශනා කළේ සම්මා සම්බුද්ධ ශාසනයේ නිසි පැවැත්මට විනය ම පදනම්ව පවතින බැවිනි.

සාසනය යනු වෙනකක් නොව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිස ම ය. මේ සතර කණ්ඩායමෙන් සුසැදි මහා සංවිධානයේ යහපත් පැවැත්ම, චිර පැවැත්ම විනය නොමැතිව සිදු නොවන්නේ ම ය.

මෙ කරුණෙහිලා භික්ෂු විනය ප්‍රධාන ය. භික්ෂු විනය ආරම්භ වන්නේ සාමණේර පැවිද්දත් සමඟ ය. ලෝකයට අනුශාසනා කරන, සමාජයට ආදර්ශය සපයන භික්ෂුව තම ජීවිතයේ පදනම සකසා ගන්නේ සාමණේර ජීවිතයේ මනා හික්මීමත් සමඟ ය. මේ කාරණාව ඉටුකරනු ලබන්නේ සාමණේර බණ දහම් පොත මඟිනි. මූලික විනය හා ඇවතුම් පැවතුම් සහ පිරිත් බණ දහම් ආදී කටපාඩම් කළ යුතු වූත්, පරිශීලනය කළ යුතු වූත් අත්‍යවශ්‍ය දහම් කරුණු ඇතුළත් මේ ධර්ම විනය සංග්‍රහය මෙතෙක් පැවතියේ සාම්ප්‍රදායික ක්‍රමයකට ය. එහි චිත්තාකර්ෂණීය බවක් දක්නට නොලැබිණ.

පැවති සාම්ප්‍රදායික තත්ත්වයෙන් බැහැරව විශේෂයෙන් ළමා වියේ පැවිදි අපේක්ෂක පණ්ඩු පලාස දරුවන්ටත්, දහර සාමණේර හිමිවරුන්ටත් පි‍්‍රයමනාප ආකාරයෙන් පරිශීලනය කළ හැකි නව සාමණේර බණ දහම් පොතක් දැන් ප්‍රකාශනයට පත්ව ඇත.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම මඟින් ප්‍රකාශයට පත්කර ඇති මේ නව නිමැවුම වර්ණ සහිත ආකර්ෂණීය චිත්‍ර ආදියෙන් සමලංකෘත ය. එසේම සිත්ගන්නා සුලු අයුරින් මුද්‍රණය කර ඇත.

ළමා මනෝවිද්‍යාවට අනුව විචිත්‍රත්වය පි‍්‍රය කරන මනසට තෘප්තියක් ගෙන දෙන ආකාරයෙන් නිමවා ඇති මේ කෘතිය සඳහා මුද්‍රණ දායකත්වය පිරිනමා ඇත්තේ මැලේසියාවේ සංඝනායක බූටාවත්තේ සරණංකර නාහිමිපාණන් ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මාහිමියන්ගේ පෙරවදනකින් ද, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ පසුවදනකින් ද සමන්විත මේ නව සංස්කරණයේ විශේෂත්වය වන්නේ ගුරුවර වැඩිහිටි භික්ෂූන් වහන්සේගේ අවධානය සඳහා “සේඛියා මුත්තක ආභිසමාචාරික විධි” නමින් සුවිශේෂී චර්යා මාලාවක් ඇතුළත් කර තිබීමයි.

දහර, තරුණ පමණක් නොව ඇතැම් ථෙර මහාථෙර චරිතවල පවා දක්නට ලැබෙන අවිනයවාදී අශ්‍රමණ පැවතුම් දුරු කරලීමටත්, දුටුවන් සිත් පහදවන සුසන්ත පැවැත්මක් තහවුරු කරලීමටත් මේ චර්යා මාලාව මැනවින් ම හේතුවනු ඇත.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිගේ සංස්කාරකත්වයෙන් හා පණ්ඩිත ඇඹිලිපිටියේ සුජාත හිමියන්ගේ සහාය සංස්කාරකත්වයෙන් යුතුව මේ කෘතිය සම්පාදනය වී ඇත.

ධර්මදානයක් වශයෙන් නොමිලේ පිරිනැමෙන මේ නව සාමණේර බණ දහම් පොත ලබා ගැනීමට ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම වෙතින් විමසන ලෙස ප්‍රකාශකයෝ දන්වා සිටිති.