Print this Article


පන්නිපිටිය පැලැන්වත්තට පෑයූ පුන්සඳ: පන්විල ශ්‍රී සෝරත නා හිමි

පන්නිපිටිය පැලැන්වත්තට පෑයූ පුන්සඳ

පන්විල ශ්‍රී සෝරත නා හිමි

පන්විල ශ්‍රී සෝරත නා හිමියන් වෙත සිරි ඤාණාරාම වංශාලංකාර ශාසන කීර්ති සංඝ සෝභන ගෞරව නාම සහිතව මහෝපාධ්‍යාය පදවිය පිරිනැමීමට අදාළ අක්ත පත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් අගෝස්තු 13 වැනි දින සවස 2.30ට මහරගම ජාතික තරුණ සේවා සභා ශාලාවේ දී සිදු කෙරේ.

පැලැන්වත්ත වැලිපත බුලත්සිංහල වෙද මහතාගේ නිවසේ පන්සලක් හදන්න සාකච්ඡාවක් පැවැත් වුණා.තරුණ හාමුදුරුවෝ ඉදිරියේ හය දෙනෙක් බිම වාඩිවෙලා හිටියා. මගේ පියාත් ඒ අතර, මාත් ටිකක් පිටුපසට වෙන්න වාඩි වෙලා හිටියා.

බුලත්සිංහල වෙද මහතාගේ ඉඩමක් අරගෙන පන්සල හදන්න 1976 අවුරුද්දේ තීරණය වුණා. බුලත්සිංහල වෙද මහතාගේ නැන්දනිය පරිත්‍යාග කරපු කුඩා බිම් කොටසේ කටුමැටි ගසා කුටියක් ඉදිකළා. පන්විල ශ්‍රී සෝරත නමින් අපි හඳුනාගත් වයස අවුරුදු 29ක් වූ මේ තරුණ හාමුදුරුවෝ ඉදි කළ කුටියේ වැඩ වසන්නට වුණා. පන්සලට නම දැම්මේ ශ්‍රී සෝරත ධර්මායතනය කියලා.

ඒ කාලය වන විට විදුලි ආලෝකය මුළු පළාතට ම තිබුණේ නෑ.

මාර්ග අංක 296 බස් රථ මාර්ගයේ ඒ දවස්වල එනම් 70 දශකයේ කරත්ත පාරක් වශයෙන් පැවතුණා. ඉඳහිට එහි ගමන් ගත්තේ කරත්ත පමණයි. සමන්පුර, මහායාය වත්ත, සමගිපුර, කුරුලු උයන වැනි විවිධ නම්වලින් ජනාවාස වී තිබෙන ප්‍රදේශ එදා රබර් වතු හෝ කුරුඳු වතු විදිහටයි තිබුණේ. සමූපකාර මාවත, විජිතපුර වැනි ප්‍රදේශ ජනාවාස වී තිබුණා.

බස් එකකට යන්න අඩුම තරමින් කිලෝමීටර් 03ක්වත් පයින් යන්න ඕනේ. මෙවැනි පරිසරයක් තුළ ගමට වැඩි සෝරත හිමියන් කටුමැටි ආවාසයේ වැඩ සිටිමින් ගමේ ගැමියන් සමඟ සම්බන්ධ වුණේ ඉතා ඉක්මනින්. පඬු පාට සිවුරකින් යුතුªව, ගොටු අත්තක් අරගෙන ගමේ ගැමියන් සමඟ කතා කරමින් ගමන් කරන හාමුදුරුවන් දකින අපට අපේ පවුලේම කෙනෙක් විදිහට හාමුදුරුවන් දැනෙන්නට වුණා.

අපේ හිමියන් ගමට පැමිණ මුලින්ම කළේ ශ්‍රී සාරිපුත්‍ර බෝසත් ළමා සමිතිය නමින් ළමා සමිතියක් ආරම්භ කරපු එක.

පන්සලේ බොහෝ දේවල් සංවිධානය කරන්න මැදිහත් වුණේ ළමා සමිතියේ අපි. අපේ සෝරත හාමුදුරුවෝ බොහෝ වගකීම් දුන්නේ වැඩිහිටියන්ට නොවෙයි. ළමයි වුණ අපිට.

පන්සලට ඉඩම ගන්න මුදල් එකතු කරන්න ගමේ ගොයම් කපන කාලෙට කුඹුරු තිබෙන අයගෙන් වී එකතු කළා. සෝරත හාමුදුරුවො අපේ වැඩිහිටියන් කිහිප දෙනෙකුත් එක්ක වී තිබෙන ගෙවල්වලට වැඩියා. ඔවුන්ට හැකි පමණින් වී ලබා දුන්න. ළමයින් වුණ අපිත් මේ ගමනට සතුටින් සම්බන්ධ වුණා. අපි වී මලු එකතු කරගෙන ඇවිත් පොල්කොටුවේ බෝටින් මාමාගේ කරත්තයට පටවනවා. අඳුර වැටීගෙන එද්දී කරත්තෙ පටවාගෙන වී මලු ටික වෙද මහතාගේ නිවසට රැගෙන එනවා. කිරි ආහාර පූජාවක් තියල පින්කමක් කරලා ඊට පස්සේ වී විකුණන්න පටන් ගන්නවා. වී බුසලක් රු. 25යි. වී ගන්නෙත් පන්සලට සම්බන්ධවෙලා හිටිය අපේ වැඩිහිටියන්මයි.

ඒ සල්ලි වෙද මහත්තයට ඉඩමට ගෙවනවා. ඒ තමයි ඉඩම මිලදී ගන්න ආරම්භ කරපු මුල්ම වැඩසටහන. පසුව දුර පළාත්වලින් ඉතාම රසවත් ලෙස කවි කියන අය ගෙන්වා ගෙන සල්පිල් පැවත්වූවා. මල් වට්ටි වෙන්දේසි පැවැත්වූවා.

මේ කටයුතු පැවැත්වෙන විට සංවිධාන කටයුතු කළේ ළමා සමිතියේ අපි. මේ හැම දෙයක් ම කළේ ඉඩමට සල්ලි ගෙවන්න.

සමහර සල්පිල් දවස්වලට වහිනවා. එළිවෙනකල් අපි තෙමෙනවා. ඒත් කිසි කෙනකුට වැස්ස ගානක් උනේ නෑ.

සෑම මාසෙකම පන්සල ආරම්භ කරපු දිනයට ගොරකපිටිය බෝධීන් වහන්සේ ළඟට පෙරහරකින් ගිහින් බෝධි පූජාවක් පැවැත්වූවා. ගමේ පාරම්පරික පන්සල්වලට සම්බන්ධ වෙලා හිටපු සමහර ගමේ අය අලුතින් පටන් ගත්තු මේ පන්සලට සම්බන්ධ වුණේ නෑ. හාමුදුරු කෙනෙක් එක්ක පෙරහරකින් ගිහින් මේ කරපු බෝධි පූජාව ඒ අය ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා.

අපේ ලොකු හාමුදුරුවෝ සල්ලි අල්ලන්නේ නැති නිසා බස් එකේ ගමනක් යන විට කවුරු හරි එක්කන් යනවා. සමහර වෙලාවට ගියේ මම.

ගමට විදුලි ආලෝකය නොතිබුණ නිසා ඒ අඩුව පිරිමසා ගත්තේ භූමිතෙල් ලාම්පුවලින්, ලාම්පු පත්තු කරන්න භූමිතෙල් ටිකක්, පහන් පත්තු කරන්න පොල්තෙල් ටිකක් තේ ටිකක් බොන්න සීනි තේ කොළ ටිකක් හොයාගන්න හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා.

පාසල ඇරිලා නිවසට ආවට පස්සේ සවස් වරුවේ පන්සලට යන එක මගේ සිරිතක්. ඒ හාමුදුරුවොත් එක්ක තියෙන හිතවත්කම නිසා.

දිනක් මම පන්සලට යන විට සිරිසේන මේසන් බාසුන්නැහැ පන්සලේ වැඩ. අපේ හාමුදුරුවෝ පේන්න හිටියේ නෑ. කවුද අත්වැඩ දෙනවා. ටිකක් ළඟට යන විට අපේ හාමුදුරුවෝ පලංචිය උඩ නැඟල අත්වැඩ දෙනවා. මේ විදිහට සෑහෙන්න දුකක් වින්දා, පන්සල ගොඩනඟන්නට අපේ හාමුදුරුවෝ.

මුල් කාලයේ ලොකු හාමුදුරුවන්ට දානය නොලැබී ගිය අවස්ථා තිබුණා. එහෙම අවස්ථා දැන ගන්නට ලැබුණොත් කිසිම කෙනෙක් හාමුදුරුවන් බඩගින්නේ තියන්නෙ නෑ. ගෙදර උයලා තියෙන කෑම ටික අරන් යනවා. සමහරවිට කීපදෙනෙක් සම්බන්ධ වෙනවා.

දවසක් මම පන්සලට යන විට අපේ හාමුදුරුවෝ ඇඳි පුටුවේ වැඩ සිටිනවා. ඉදිරියේ ඇති කුඩා මේසය මත හාල් කිලෝ එකක්, පොල් ගෙඩියක්, රතු ලූනු ටිකක්, අමුමිරිස්, එළවළු දෙකක් විතර තිබුණා. මම ඇහුවා ස්වාමීන් වහන්ස, මේ මොකද කියලා. අපේ හාමුදුරුවන්ගේ උත්තරේ වුණේ “ ඒ මට හෙට දානෙ ගෙනල්ලා” කියලා. මගේ මතකයේ හැටියට උයාගෙන කන්න කිසිම උපකරණයක් පන්සලේ තිබුණේ නෑ.

මේ විදිහට කටුක ජීවිතයක් ගතකරමින් ශාසනයට විශිෂ්ට සේවයක් කරන අපේ හාමුදුරුවෝ තමන්ගේ දායකයෙක් අසනීප වූ විට නිවසට පැමිණ හෝ රෝහලට වැඩම කර පිරිත් කියා පිරිත් නූල් බැඳ නීරෝගි සුව ප්‍රාර්ථනා කරන්නට අමතක කරන්නේ නෑ.

පන්සලේ තිබෙන බෝධීන් වහන්සේ දෙනම වැඩම කළේ රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාම පන්සලේ සිටයි. ඒ කාලේ පන්සල සම්බන්ධ වෙලා හිටිය හැමෝම පෙරහරට සූදානම් වෙලා හිටියෙ. එදා දවසම එක දිගට මහ වැස්සක් වැස්සා. බුලත්සිංහල වෙද මහතාගේ නිවසින් පිටත් වෙන්න හිටිය අපිට රත්මල්දෙනිය පන්සලට යන වෙලාව එන විට වැස්ස පෑවුවා. නියමිත වෙලාවට රත්මල්දෙනිය පන්සලින් පෙරහර පිටත් වුණා. ඉඳිගහදෙණිය කන්ද පාමුල දී කාර් එක කැඩුණා. පෙරහරේ අපි සාධුකාර දී ඒ මහ කන්දේ කාර් එක තල්ලු කරගෙන පන්සලට බෝධීන්නාන්සේ දෙනම වැඩම කළා.

පන්සලට ඇවිදින් බෝධීන් වහන්සේ දෙනම පන්සලේ තැන්පත් කළාට පස්සේ නැවත වැස්ස පටන් ගත්තා.

මෙවැනි සිදුවීම් කිහිපයක් වුණා. ටික කාලයක් යනකොට වැස්ස නවත්තන්නත් වැහි වස්සන්නත් සෝරත හාමුදුරුවන්ට කිව්වා නම් හරි කියන කතාව ගමේ පැතිරුණා.

පැලැන්වත්තේ සෝභිත නමින් ගමේ දරුවෙක් ශාසනයට ඇතුළත් කරගෙන බුද්ධ ශාසනයට විශිෂ්ට සේවයක් කළා.

කාලය ගෙවිලා යන විට මේ ප්‍රදේශයේ තිබුණ විශාල වතු වෙන්දේසි වෙමින් පිටතින් පැමිණිය අය පදිංචි වුණා. ජනගහනය වැඩි වන විට සෑම අතින්ම ප්‍රදේශය දියුණු වුණා. අපේ පන්සලට එය සුබවාදීව බලපෑවා.

අපේ පන්සලේ අංග සම්පූර්ණ විහාර මන්දිරයක් ධාතු මන්දිරයක් තෙමහල් ධර්ම ශාලාවක් ඉදිවුණා. අලංකාර චෛත්‍යයක් එකතු වුණා. එදා පෙරහරෙන් වැඩම කළ කුඩා බෝධීන් වහන්සේ දෙනම අද විශාල බෝධීන්වහන්සේ දෙනමක් බවට පත් වෙලා. මේ සියල්ල සිදුවුණේ අපේ සෝරත හාමුදුරුවන්ගේ උත්සාහයෙන්.

පන්විල සෝරත නමින් අපේ ගමට වැඩි තරුණ හාමුදුරුවන්ට තිබුණේ පුදුමාකාර ආත්ම ශක්තියක්. ආත්ම විශ්වාසයක්. කාටවත්ම ඒ ආත්ම ශක්තිය යටපත් කරන්නට බැරි වුණා. අපේ ශ්‍රී සෝරත ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතමි.