Print this Article


මේ උතුම් වස්සානය යි

මේ උතුම් වස්සානය යි

"ඇසළ පොහෝ දිනයට පසු දින වස් එළැඹීම පෙරවස් සමාදන් වීම ලෙසත්, නිකිණි පුර පොහෝ දිනයට පසු දින වස් විසීම පසු වස් විසීම ලෙසත් සඳහන් වේ. මෙසේ මේ සඳහා අවස්ථා දෙකක් ලබා දී තිබීම තුළින් ම මෙම උතුම් කාර්යයෙහි අනිවාර්ය බව මෙන් ම අවශ්‍යතාව ද මැනවින් වටහා ගත හැකිව ඇත "

බුද්ධ ශ්‍රාවකයන් ආගමික වශයෙන් අත්විඳින ආගමික නිදහස අසාමාන වූවකි. අදට යෙදී ඇති ඇසළ පුර පොහොය දිනයෙහි සිදු කෙරෙන ඉතා වැදගත් ආගමික චාරිත්‍ර ධර්මයක් ද මතු නොව මහා පින්කමක් ද වන වස්විසීමට අදාළව වූ වස්සූපනායික ශික්ෂා පදය පැනවීම තථාගතයන් වහන්සේගේ මහජන මතයට ගරු කිරීමේ උතුම් ගුණය ප්‍රකට වන අවස්ථාවකි.

බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීනව ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කරනු ලැබේ. මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වූ බුදු දහම මූලික වශයෙන් ම තරුණ පිරිසක් ඒකරාශී කොට ගෙන ව්‍යාප්ත වූවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මඟක් ගත් දහමක් විය.

ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල දුරු කිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය දේශනා කරන ලදහ.

බුදු දහම පහළවීමෙන් එළැඹි මුල් කාලපරිච්ඡේදය වන මෙම වකවානුවෙහි පැවති විවිධ ආගමික මතවාද පිළිබඳ අපි මුලින් සඳහන් කළෙමු. මෙම ඉගැන්වීම් බහුල වශයෙන් ම නිර්මාණවාදී ඉගැන්වීම් වූ අතර, ඇතැම් ඉගැන්වීම් කර්මවාදී මෙන්ම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් විය. තත්කාලීන භාරතීය ජනතාව මෙම විවිධ ආගමික මතවාද නිසා ද දැඩි පීඩනයකට ලක්ව සිටියහ. ගිම්හාන සෘතුවේ ඇතිවන දැඩි නියඟය ආදී විවිධ පාරිසරික පීඩාවන්ගෙන් ද මහත් සේ පීඩාවට ලක් වූහ. වර්තමාන ඉන්දීය සමාජය තුළ ද මේ තත්ත්වයන් අඩු වැඩි වශයෙන් පවත්නා බව බොහෝ දෙනා දන්නා කරුණකි.

වස්සාන සාමය එළැඹෙත් ම දැඩි නියඟය ආදී පීඩාවන්ගේ මිදී ගස් වැල් තෘණලතාදිය මතු නොව සතා සීපාවද කිසියම් ප්‍රබෝධයකට පත්වීම ආරම්භ කෙරෙති. කෙසේ නමුත් භාරතයෙහි මෙම වර්ෂා සමය ද එක්තරා ප්‍රමාණයකට පීඩාකාරී කාලයක් විය. තම වාසස්ථාන තුළම රැඳී සිටීම හැර මෙම කාල වකවානුවෙහි වෙනත් කළ හැක්කක් නොමැත.

එහෙත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව වර්ෂා සමයෙහි ද ක්‍රියාත්මක සංචරණ සීමාවන් ද නොතකන ලදහ. චාරිකාවේ හැසිරෙමින් තම පරමාර්ථ සාධනයෙහි නියැළුණහ. තත්කාලීනව මහත් පිළිගැනීමකට ලක්ව තිබූ නිගන්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීරතුමාගේ ඉගැන්වීම් බුදුදහමට ද කිසියම් ප්‍රමාණයකින් බලපා ඇති බව ප්‍රකට ය. මේ අනුව එතුමාගේ පරම අවිහිංසාවාදී ඉගැන්වීම් අනුව තෘණලතාදියෙහි පවා ඒකීන්ද්‍රිය ප්‍රාණයක් ඇති බව පිළිගැනිණි. ඒ අනුව ඒවා කැඩීම, කැපීම, පෑගීම, විනාශ කිරීම් ආදියෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව ප්‍රකාශිතව තිබුණි. ජෛන ශ්‍රාවකයන්ගේ මෙම ආගමික පිළිගැනීම බුද්ධ ශ්‍රාවකයන්ගේ වස්සාන චාරිකාවන් සඳහා බලවත් බාධාවක් විය.

උන්වහන්සේ මහ ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ද ලක්වූහ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට දොස් පවරමින්, විවේචනය කරමින්, විරෝධය පළ කරමින් ඔවුන් ප්‍රකාශ කරන ලද්දේ වැසි කාලයෙහි කුරුල්ලන් පවා කූඩු තනා ඒවායේ වාසය කරන අතර, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයන් ලා තණපත් පාගමින්, ඒවා විනාශ කරමින් චාරිකාවේ හැසිරීම විනය විරෝධී ක්‍රියාවක් බවයි.

පරිසරයට හානිකර වූ, සමාජ විරෝධී ක්‍රියාවක නිරත වන බවට තම ශ්‍රාවකයන් වහන්සේට එරෙහිව සමාජය මතින් පැන නැගුණ තත් කාලීන ජන මතය පිළිබඳ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දැඩි අවදානය යොමු කළහ. භික්ෂූන් වහන්සේ වහා කැඳවාලූහ. එසේ කැඳවන ලද භික්ෂූන් අමතන ලද තථාගතයන් වහන්සේ

“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි වස්සාන සෘතුවෙහි වස් එළැඹ එක් තැනක රැඳී සිටීම අනු දනිමි” යි වස්සූපනායික ශික්ෂාපදය නම් වූ විනය නීතිය පැන වූ බව මහාවග්ග පාලියෙහි වස්සූප නායික ඛන්ධකයෙහි සඳහන් වේ.

මෙම විනය ප්‍රඥප්තියට අනුව උපසම්පදා භික්ෂූන් වහන්සේ අනිවාර්යයෙන් ම මෙම වස් ශික්ෂා පදය සමාදන් විය යුතු ය. මෙය ඉක්මවීම කිසියම් ආපත්තියක් සඳහා ද හේතු වේ.

වස්විසීම් පිළිබඳ අවස්ථා දෙකක් පිළිබඳ අපේ ත්‍රිපිටක ධර්මයෙහි සඳහන්ව ඇත. පෙර වස් විසීම, පසු වස් විසීම යනුවෙන් එය නම් කර තිබේ.

ඇසළ පොහෝ දිනයට පසු දින වස් එළැඹීම පෙරවස් සමාදන් වීම ලෙසත්, නිකිණි පුර පොහෝ දිනයට පසු දින වස් විසීම පසු වස් විසීම ලෙසත් සඳහන් වේ. මෙසේ මේ සඳහා අවස්ථා දෙකක් ලබා දී තිබීම තුළින් ම මෙම උතුම් කාර්යයෙහි අනිවාර්ය බව මෙන් ම අවශ්‍යතාව ද මැනවින් වටහා ගත හැකිව ඇත.

මේ අනුව උපසපන් භික්ෂූන් වහන්සේගේ වස් එළඹීමේ චාරිත්‍රය බුද්ධ නියමයක් ඉටු කිරීමකි. විනය ශික්ෂා පදයක් ආරක්ෂා කිරීමක් ද වන්නේ ය.

තථාගතයන් වහන්සේ ජීවමාන කාලයෙහි එනම් මීට වසර 2565කට පෙර ඇරඹුණ මෙම වස්විසීමේ උතුම් පින්කම ලාංකික සමාජයට ආරෝපණය වී මේ වන විට වසර 2330 ඉක්මවා ගොස් ඇත. දේවානම්පියතිස්ස රාජ්‍ය සමය දක්වා විහිදී යන ඉතිහාසයකට උරුමකම් කියන මෙම උතුම් චාරිත්‍ර ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ ආරම්භ වූවකි. මහින්දාගමනය පොසොන් පොහොය දිනයේ සිදු වූ බව ප්‍රකට කරුණකි. ඉන් පසුව එළැඹුණ ඇසළ පුර පොහෝ දිනයෙහි වස්විසීම නම් වූ උතුම් බුද්ධ නියමය ඉටු කළ යුතු බව මිහිඳු මා හිමියන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමාට දැනුම් දුන්නේ මතු නොව ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් ද ලබා දුන්නාට සැකයක් නැත.

ඒ අනුව මිහින්තලයෙහි අටසැටලෙන්හි භික්ෂූන් වහන්සේ වස්වසා වැඩසිටි බව අපේ වංශකතා මඟින් අනාවරණය කරනු ලැබේ. එදා නවමු දහමක් ලෙස බුදුසමය පිළිගෙන, වැළඳ ගත් අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ප්‍රබෝධවත් මනසකින් යුතුව අද දක්වා ම ඇසළ පුන් පොහෝ දිනයෙහි දැහැත් ගොටු සහ වැසි සළු පිළිගන්වා වස් ආරාධනා කිරීම සිදු කරනු ලැබේ.

අප රටෙහි භික්ෂූන් වහන්සේ අතර අරිට්ඨ මහ රහතන් වහන්සේගෙන් ඇරැඹෙන මෙම උතුම් පින්කම සඳහා නතු වූවෝ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. රාජ රාජ මහාමාත්‍යාදීන් ද මහත් ගෞරවයෙන් යුතුව මෙම පින්කමෙහි නියැළුණු අයුරු අපේ ශාසන ඉතිහාසය මඟින් මනාව වාර්තා කොට ඇත.

ඇසළ පුර පොහෝ දිනය වස් ආරාධනා කිරීමේ උතුම් පොහෝ දිනය යි. එමෙන් ම බුද්ධ චරිතයෙහි සහ ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීම් රාශියක් ද සිදු වූ දිනයකි. විශේෂයෙන් ම අද දිනය තථාගත ධර්මය ලොවට දායාද වූ දිනය ද වන්නේ ය. එනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිදු කෙරුණු උතුම් දිනයයි. එමෙන්ම සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය, මාතෘ දිව්‍ය රාජයාට විජම්බණ දෙසීම, රාහුල කුමරුගේ උපත සහ යමාමහ පෙළහර පෑම ආදී සිදුවීම් ද, ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදු වී ඇති බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් කිහිපයකි.

ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල භික්ෂුවගේ පැවිදි උපසම්පදාව, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑරදුන් තැනවීම සඳහා වැඩ ඇරඹීම, සියම් දේශයෙන් වැඩමවන ලද පවර උපාලි මහ තෙරුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ විසින් ලක්දිව නැවත උපසම්පදාව පිහිටුවීම ආදී ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක් සිදුව ඇති අද දිනයෙහි පහන් සිතින් යුතුව පුණ්‍ය ධර්මයන් හී යෙදී චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා උත්සුක විය යුතුව ඇත.