Print this Article


ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්: ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 03 කොටස

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 03 කොටස

I කොටස

I කොටසේ ප්‍රශ්න ද II කොටසින් තෝරාගත් තවත් ප්‍රශ්න හතරකට ද ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

01.

I. ප්‍රහාණය කටයුතු ආර්ය සත්‍යය හා වැඩිය යුතු ආර්ය සත්‍යය නම් කරන්න.

II. රූපාවචර සිව්වැනි ධ්‍යානය තෙක් සිත දියුණු කිරීමෙන් ලබා ගත හැකි අභිඥා දෙකක් සඳහන් කරන්න.

III. පටිච්චසමුප්පාද ධර්මය ඇතුළත් මුල් සූත්‍රය ලියා දක්වන්න.

iv. ආර්ථික කරුණු මූලික කොටගෙන සමාජයේ විවිධ ගැටලු හා විෂමතා පැන නඟින බව දේශිත ප්‍රකට සූත්‍රය නම් කරන්න.

V. පහත දැක්වෙන පදයන්ට විරුද්ධාර්ථ පද ඉදිරිපත් කරන්න.

අ) සම්මාජීව ආ) ධම්මචරියා

ඉ) කුසල ඊ) සත්පුරිස

VI. ආර්ය ගණයට අයත්වන උතුමන් සඳහන් කරන්න.

VII. සම්මා සංකප්ප මාර්ග අංගයට අයත් නිවැරැදි කල්පනා තුන ගෙනහැර දක්වන්න.

VIII. සතර සම්‍යක්ප්‍රධාන වීර්ය නම් කරන්න.

IX. පහත සඳහන් ගාථාව සම්පූර්ණ කරන්න.

“ඉධ නන්දති පෙච්ච නන්දති”

එම ගාථාවේ සිංහල තේරුම ලියන්න.

II කොටස

02.

I. අනුස්සති ධර්ම හතරක් දක්වන්න.

II. මෙම අනුස්සති ධර්ම ඇතුළත් වන භාවනාව ලියා, එම භාවනා ක්‍රමය කෙටියෙන් හඳුන්වමින් අනුස්සති යන්නෙහි අර්ථය පහදා දෙන්න.

III. චිත්ත ඒකාග්‍රතාවට පමණක් නොව, සතිසම්පජඤ්ඤයෙන් (සිහි නුවණින්) යුතුව දෛනික ජීවිතයේ කටයුතු පවත්වා ගෙන යාමට ද අනුස්සති ධර්ම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. අදහස් දක්වන්න.

03.

I. චතුපාරිසුද්ධි සීලය නම් කරන්න.

II. ඒවායින් තුනක් කෙටියෙන් හඳුන්වන්න.

III. නිර්වාණගාමී ප්‍රතිපදාවේ දී ශීල ශික්ෂාව ප්‍රථමයෙන් දැක්වීමේ ඇති වැදගත්කම විමසා ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වන ලද අංග කෙටියෙන් පැහැදිලි කරන්න.

04.

I. සතර සෘද්ධිපාද ධර්ම පෙන්වා දෙන්න.

II. බෝධිපාක්ෂික ධර්ම යනු කවර ධර්ම සමූහයක් දැයි දක්වා එම ධර්ම සමූහය ඇතුළත් සූත්‍ර දෙකක් නම් කරන්න.

III. එම බෝධිපාක්ෂික ධර්ම වැඩීමට ගිහිගෙයින් නික්ම පැවිද්දකු ම නොවිය යුතු අතර, ගෘහ ජීවිතය ගත කරමින් වුව ද මෙම ධර්ම ප්‍රගුණ කළ හැකි බව සාකච්ඡා කරන්න.

05.

I. නීවරණ ධර්ම හතරක් නම් කරන්න.

II. ද්වාරත්‍රයෙන් සිදු කරන අකුසල ධර්ම දක්වා ඒවායින් මානසිකව සිදුකෙරෙන අකුසල ක්‍රියා කෙටියෙන් හඳුන්වන්න.

III. පුද්ගලයා හා සමාජයේ සදාචාරාත්මක පැවැත්මට එම අකුසල ධර්ම අහිතවත් වන ආකාරය කෙසේ දැයි පෙන්වා දෙන්න.

06.

I. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන දාර්ශනිකයන් හා ශාස්තෘවරුන් විසින් සජීවි - අජීවි ලෝකයේ විවිධ ක්‍රියාකාරීත්වයන් ගැන ඉදිරිපත් කළ වාද හතරක් නම් කරන්න.

II. එකී ඉගැන්වීම් විචාරයට ලක්කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ඉගැන්වීම් පෙන්වා දී, ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

III. ‘අවිජ්ජාපච්චයා සංඛාරා’ (අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගනී) මෙහි සඳහන් අවිද්‍යාව කුමක්දැයි පැහැදිලි කරන්න.

07.

I. ස්කන්ධ පංචකය නම් කරන්න.

II. ඒවායින් දෙකක් හඳුන්වන්න.

III පුද්ගලයා ස්කන්ධ, ධාතු හා ආයතනවලට බෙදා දැක්වීමේ සත්ත්ව, පුද්ගල සංඥාව බැහැර වන ආකාරය පෙන්වා දෙන්න.

08.

I. කර්මය විපාක දෙන කාලය අනුව සතරාකාර වෙයි. එම සතරාකාරය ලියා දක්වන්න.

II. එම සතරාකාර කර්ම විපාක පැහැදිලි කරන්න.

III. කර්මය හා කර්ම විපාකය පිළිබඳ ඇති අවබෝධය මඟින් පුද්ගලයා සතු දුර්වලතා මඟහරවා ගෙන යහපත් වැඩදායි නිවැරැදි ජීවිතයක් උදාකර ගත හැකි ආකාරය සාකච්ඡා කරන්න.


පිළිතුරු

I කොටස

01. I. සමුදය සත්‍ය , දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍ය

II. ඉද්ධිවිධ දිබ්බසෝත

පරචිත්ත විජානන

පුබ්බේ නිවාසානුස්සති

දිබ්බ චක්ඛු

III. ඉමස්මිං සති ඉදං හෝති

ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති

ඉමස්මිං අසති ඉදං න හෝති

ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති

IV. මජ්ක්‍ධිම නිකායේ චක්කවත්තී

සීහනාද සූත්‍රය

V. අ) මිච්ඡාජීව ආ) අධම්ම චරියා

ඉ) අකුසල ඊ) අසත්පුරිස

VI. බුදු, පසේබුදු, මහරහත්

VII. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා

VIII. නූපන් අකුසල් නූපදිනු පිණිස. උපන් අකුසල් ප්‍රහාණය කිරීම.

නූපන් කුසල් උපදවා ගැනීම.

උපන් කුසල් වැඩිදියුණු කිරීම.

IX. ඉධ නන්දති පෙච්ච නන්දති

කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති

පුඤ්ඤං මේ කතන්ති නන්දති

භීයෝ නන්දති සුග්ගතිං ගතෝ

කළ පින් ඇත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටුවෙයි. මා විසින් පින් කර ලදැයි සතුටු වෙයි. සුගතියට ගියේ බෙහෙවින් සතුටු වෙයි.

II කොටස

02. I. බුද්ධානුස්සති, ධම්මානුස්සති,

සංඝානුස්සති, සීලානුස්සති,

චාගානුස්සති, දේවතතානුස්සති,

ආනාපානසති, මරණානුස්සති,

කායගතාසති, උපසමානුස්සති

II. සමථ භාවනාව

කාමච්ඡන්ද පංච නීවරණ නමින් හැඳින්වෙන අකුසල පහක් සමනය කර ගැනීමට ඉවහල්වන භාවනාවයි. (නීවරණානි සමථෙතිතී සමථො) සිත එක් අරමුණක පිහිටුවා ගැනීමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා යන නම්වලින් ද හැඳින්වෙයි. නැවත නැවත උපදනා සතිය හෙවත් සිහිය අනුස්සති නම් වේ.

ඪඪඪ. මහණෙනි, සියලු තන්හි සිහිය මනාව පිහිටුවා ගත යුතු යැයි මම දේශනා කරමි. මෙම දේශනාව අනුව යම් පුද්ගලයෙකු විසින් තමා යන එන විට, කන බොන විට, නිදාගන්නා විට, ගමන් කරන විට, අදාළ රැකියාවක් හෝ ඉගෙනීමක් කරන විට සිහිය මනාව පිහිටුවා ගෙන කටයුතු කළ යුතු බවයි. “සතිං උපට්ඨපෙත්වා” යනුවෙන් ද වදාළේ මෙයයි. සතියෙන් තොරව මේවා කරන විට දෝෂාරෝපණ, අලාභ ආදිය ඇති වෙනවා පමණක් නොව තම ජීවිත පැවැත්මට ද හානිදායක තත්ත්වයක් උදාවෙයි.

03. I. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය

ඉන්ද්‍රිය සංවර ශීලය

ආජීව පාරිසුද්ධ ශීලය

ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය

II. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය - පාතිමෝක්ෂය නමැති විනය ග්‍රන්ථයේ සඳහන් ශික්ෂාපද සමූහය (227) ආරක්ෂා කිරීම

ඉන්ද්‍රිය සංවර ශීලය - ඇස, කන ආදි ස වැදෑරුම් ඉන්ද්‍රියන් රූප, ශබ්ද ආදී අරමුණුවල ගැටීමෙන් කෙලෙස් උපදවා ගැනීමෙන් වැළකීම.

ආජීව පාරිශුද්ධිය ශීලය - ආජීවය කෙලෙසා, වෙදකම් ආදී ශ්‍රමණ සාරුප්‍ය නොවන දේ කිරීමෙන් වැළකීම.

ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය - චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය යන සිව්පසය පරිභෝග කිරීමේ දී එකක් පාසා නුවණින් සලකා බලා භුක්ති විඳීම.

III. නිර්වාණගාමී මාර්ගය වනුයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය ශීල, සමාධි, ප්‍රඥා නමින් ද නම් කෙරේ. නිවන් ලබන තැනැත්තා විසින් පළමුව ශීලය රැකිය යුතු ය. යටත් පිරිසෙන් පන්සිල්වත් රැකිය යුතු ය. එමඟින් කය, වචන දෙක හික්මවා ගත හැකි ය. සිල්වතකු වීමට පෙරාතුව අපරාධවලින් වැළකීම ද මෙයින් සිදුවෙයි. ගිහි පැවිදි ප්‍රතිපදාව සීලයෙන් ඇරඹෙන්නේ ශික්ෂණයක් අවශ්‍ය නිසා ය.

ශීලයට අයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග - සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව

සම්මා වාචා

නිවැරැදි යහපත් වචනය සම්මා වාචා නම් වේ. එනම් බොරු කීම, කේලාම් කීම, රළු වචන කීම, හිස් වචන යන මේවායින් වැළකීමයි. යහපත් ප්‍රතිඵල ගෙන දෙන යහපත් කථා වූ සම්මා වාචා නම් අර්ථවත් වැඩක් වන වචන කතා කිරීම මඟින් අරි අටඟි මගෙහි එන සම්මා වාචා සම්පූර්ණ වෙයි.

සම්මා කම්මන්ත

යහපත් නිවැරැදි ක්‍රියායි. එනම් සොරකම් කිරීමෙන් වැළකීම, සතුන් මැරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යන තුන් වැදෑරුම් කායික දුශ්චරිතයන්ගෙන් වැළකීම.

සම්මා ආජීව

නිවැරැදි ජීවිකා වෘත්තියක් තෝරාගෙන දැහැමි, සාධාරණ, දිවි පෙවතක් ගත කිරීම සම්මා ආජීව නම් වේ. වහල් වෙළෙඳාම, මත්පැන්, මත් ද්‍රව්‍ය ආදි වැරැදි වෙළඳාම් පහෙන් වැළකීම සම්මා ආජීවයයි.

04. I. ඡන්ද, චිත්ත, විරිය, විමංසා

II. චතුරාර්ය සත්‍යාවබෝධය බෝධි නමි. එසේත් නැතිනම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන සතර මාර්ග ඥානයන් උපදවා ගැනීම සඳහා ඉවහල් වන ධර්ම සමූහය බෝධිපාක්ෂික නම් වේ. (බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං) එබදු ධර්ම සිත් හතකි.

මජ්ක්‍ධිම නිකාය - සාමගාම සූත්‍රය

මජ්ක්‍ධිම නිකාය - කින්ති සූත්‍රය

මජ්ක්‍ධිම නිකාය - මහා සළායතන සූත්‍රය

දීඝ නිකාය - සංගීති සූත්‍රය

III. බුදු දහමේ ඉගැන්වෙන නිවන්මඟ අනුපූර්ව ප්‍රතිපදාවකි. අනුක්‍රමයෙන් ටිකෙන් ටික ඉදිරියට යාමට මඟ පෙන්වන්නකි. ඒ ඒ පුද්ගලයාගේ ශක්තියේ ප්‍රමාණය අනුව නිර්වාණගාමී ප්‍රතිපත්ති පූර්ණයට බුදුදහමින් පුද්ගලයාට නිදහස දී ඇත. බෝධිපාක්ෂික ධර්ම ද ඒ නිදහස එපරිද්දෙන් ම ලබා දී ඇත. යම් කෙනකු අවශ්‍ය නම් දෛනික ජීවිතයේ දී වෙනත් කටයුතු, රැකී රක්ෂා කරන අතරම බෝධිපාක්ෂික ධර්ම වැඩිය හැක. එයට කාල වේලාවක්, ස්ථානයක් අවශ්‍ය නොවේ.

05. I. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ,

උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා

II. කාය ද්වාරය - ප්‍රාණඝාත අදත්තාදාන,

කාම මිථ්‍යාචාර

වාග් ද්වාරය - මුසාවාද, පිසුණාවාචා, ඵරුෂා වාචා, සම්ඵප්‍රලාප

මනෝ ද්වාරය - අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි

අභිධ්‍යා - දැඩි ලෝකය හෙවත් මසුරුකම, යමෙකුට යමක් දීමට ඇති අකැමැත්ත.

ව්‍යාපාද - අනුන් නැසේවායි, වැනසේවායි ඇති කර ගන්නා දුෂ්ට චේතනාව හෙවත් වෛරීභාවය.

මිච්ඡා දිට්ඨි - කෙනෙකුගේ සදාචාර ජීවිතයට හානිකර සාවද්‍ය හෙවත් වරදවාගත් විශ්වාස, වැරැදි පිළිගැනීම්.

III. බුදු සමය සදාචාරමය පැවැත්ම ලෙස හඳුන්වන්නේ ඉහත කී අකුසලයන්ගෙන් වැළකීමයි. ශීල ශික්ෂාව ප්‍රගුණ කිරීමෙන් ද බලාපොරොත්තු වන්නේ එම පවිටු චර්යාවන් මෛත්‍රී සහගත ක්‍රියාවන් මඟින් වෙනස් කරවීමය. මෙම අකුසල ක්‍රියා නිසා තමාට මෙන් ම සමාජයටත් අයහපතක් පවතිනවා පමණක් නොව, සමාජ විරෝධි, සමාජ දූෂණයන් ද ඇති කරයි.

06. I. නියතිවාදය, සත්කාර්ය වාදය, අසත්කාර්ය වාදය, අධිච්චසමුප්පන්න වාදය, පුබ්බේකත හේතු වාදය

II. හේතුඵල වාදයයි. නැතහොත් ඉදප්පච්චයතාව හෙවත් පටිච්ච සමුප්පාදයයි. අටුවාවන්හි අනේක පච්චය භාව නමින් ද දැක්වේ.

අහේතු වාදය බෞද්ධ හේතුඵල වාදයෙන් බැහැර වේ. එකම හේතුවකින් කිසිවක් හට නොගනී යන ඉගැන්වීම නිසා ඒක හේතු වාදය, නියත වාදය, කර්ම වාදය ද බුදු දහමින් බැහැර වේ. හේතුවක් නිසා ඵලයක් ඇති වෙයි. හේතුව නැති වීමෙන් ඵලය ද නැති වෙයි. දුක පිළිබඳ යථාවබෝධය ඇති කරලීම බුදු දහමේ මූලික ලක්ෂණයයි. එය සන්තානගත හා සංස්ථාගත වශයෙන් දෙපරිදි වේ. දුක්ඛ සම්භවය හා නිරෝධය අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් ද විශ්ලේෂණය කරන පටිච්ච සමුප්පාදය, අවිජ්ජා ආදී වශයෙන් අංග දොළසකින් යුක්තව හේතු - ප්‍රත්‍ය ධර්ම මාලාව ගෙනහැර දක්වයි.

III. තත්වාකාරයෙන්, ඇති සැටියෙන් නොදැනීම අවිද්‍යා නම් වෙයි. මෝහය යනු ද එයට නමකි. පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීම, චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම, අවිජ්ජා නම් වෙයි. මෙම අවිද්‍යාව නිසා සංස්කාර ධර්ම (කුසල - අකුසල රැස් කිරීම) ඇතිවෙයි. සංස්කාරයෝ ද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, ආනොංජාභි සංඛාර වශයෙන් තුන්වැදෑරුම් වෙති.

07. I. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ

II. රූප

නාම ගණයට නොවැටෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් සහ ඒවා ඇසුරු කොට පවත්නා උපාදාය රූපයන් ශීත, උෂ්ණ නිසා වෙනස් බවට පත්වේ. කාලත්‍රය වර්තී වූ, ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ සමීප වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ සමීප වූ හෝ, සියල්ල එක්කොට රූප යැයි කියනු ලැබේ.

වේදනා

විඳීම් ස්වභාවය ලක්ෂණ කොට ඇති මානසික අවස්ථා සියල්ලම වේදනා ස්කන්ධයට අයත් වේ. වේදනා යනු විඳීමයි, අරමුණුවල රස විඳීමයි. එය සුඛ, දුක්ඛ, උපේක්ඛා වශයෙන් තෙවැදෑරුම් වේ.

සඤ්ඤා

යම් යම් දේ හඳුනා ගැනීම සඳහා භාවිත කරන මේවා සඤ්ඤා නමින් හැඳින්වේ. නැතහොත් හැඳිනීමයි. එය හැඳිනීම ඇස, කන, නාසය ආදියට ගෝචර වන රූප, ශබ්ද ආදී වශයෙන් සැවැදෑරුම් වෙයි.

සංඛාර

බුදු සමයෙහි සංඛාර යන වචනය අර්ථ කීපයකට වැටෙතත් පංචස්කන්ධය ප්‍රත්‍යයෙන් හට ගන්නා බැවින් සංඛාර යන වචනයෙන් පංචස්ඛන්ධය ගැනේ. එහිදී ද වේදනා සඤ්ඤා දෙක හැර ඉතුරු චෛතසික පනහ සංඛාර නමින් ගනු ලැබේ.

විඤ්ඤාණ

රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් අරමුණක් ඇති බව දැන ගැනීම විඤ්ඤාණය යි. චක්ඛු, සෝත ආදී ලෙසින් විඤ්ඤාණය ස වැදෑරුම් වෙයි. නැති දේ ඇති සැටියෙන් දක්වන හෙයින් විඤ්ඤාණය මායාවක් ලෙසින් ද හඳුන්වා ඇත.

ඪඪඪ. ඇතැම් ආගම්වලට අනුව ඊශ්වරයා විසින් මවන ලද ආත්මයක් එක් එක් පුද්ගලයා තුළ ඇති බවත්, මරණයෙන් දෙවියන්ගේ කැමැත්තට අනුව ස්වර්ගයේ හෝ නිරයේ උපත ලබන බවත්, ප්‍රකාශ කිරීමෙන් පුද්ගලයා තුළ නොවෙනස් වන පරමාර්ථයක් ඇති බවත් එමඟින් පෙන්නුම් කරයි. බෞද්ධ ඉගැන්වීමට අනුව පෙනී යන්නේ සත්ත්වයා, පුද්ගලයා මම ආදී වශයෙන් කෙරෙන ව්‍යවහාර පරමාර්ථ වශයෙන් පිළිගත නොහැකි බවයි. ඇත්තේ ස්කන්ධ ධාතු ආයතන පමණි. මේවා ද වෙනස් වන බව, දුකට හේතුවන බව පෙන්වා දී එමඟින් ආත්මවාදය බැහැර කෙරේ.

08. I. දිට්ඨධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසි කම්ම

II. දිට්ඨධම්ම වේදනීය

යහපත් වූ හෝ අයහපත් වූ හෝ පුද්ගලයා විසින් කරනු ලබන ක්‍රියාවලට මෙලොව දී ම විපාක දීම, දිට්ඨ ධම්ම වේදනීය කර්ම නම් වේ.

උපපජ්ජ වේදනීය

මෙය ද කුසල අකුසල වශයෙන් දෙපාර්ශ්වයෙන් ම දෙවන භවයක දී විපාක දෙන කර්මයි. පංචානන්තරීය කර්ම අකුසල පක්ෂයෙන් ද ධ්‍යානලාභීහු ධ්‍යානයෙන් නොපිරිහී ඊළඟ භවයේ දී ම ධ්‍යානවලට අනුරූපීව උපත ලැබීම නිදර්ශනයි.

අපරාපරිය වේදනීය

සාමාන්‍ය කුසල හෝ අකුසල කර්ම සසර ඕනෑම අවස්ථාවක දී ම සුදුසු අවස්ථාවක් ලැබුණුවිට විපාක දෙයි. රහත් වූවත් පෙර කළ කුසල - අකුසල කර්ම විපාක දෙයි.

අහෝසි කම්ම

දිට්ඨධම්ම වේදනීය විපාක නොදුන් කර්ම ද උපපජ්ජවේදනීය වශයෙන් විපාක නොදුන් කර්ම ද, විපාක නොදෙන කර්ම වශයෙන් හැඳින්වෙයි. එම කර්ම අහෝසි කර්ම නම් වේ.

ඪඪඪ. පුද්ගලයන් සතු දුර්වලතා පූර්ව කෘත කර්ම හේතුවෙන් සිදුවන අයුරු බුදුදහම පෙන්වා දෙයි. එහෙත් ඒ සෑම දුර්වලතාවක් ම කර්ම මඟින් සිදු නොවන බව ද තේරුම් ගත යුතු ය.

ධම්මපදට්ඨ කථාවේ එන චක්ඛුපාල, කාල යක්ෂණී කතන්දර මඟින් පෙර කරන ලද අකුසල කර්ම නිසා මෙම ජීවිතයේදීත් යම් යම් කටුක විපාක ලද බව ඒවායින් කියැවෙයි. ඒවා නිදර්ශන වශයෙන් රැගෙන අප ජීවිතවලට ද එකතු කර ගැනීමෙන් අයහපත් හා යහපත් කර්ම හඳුනාගෙන අයහපත් කර්ම බැහැර කර යහපත් කර්ම කෙරෙහි පුද්ගලයා යොමු වීමෙන් තමා සතු දුර්වලතා මඟහරවා ගැනීමට පුළුවන් වෙයි.

උදාහරණයක් වශයෙන් බොරු කීම වැරැදි බව වටහාගත් පුද්ගලයා එයින් මිදුණු කල සමාජයේ විශ්වසනීය පුද්ගලයකු බවට පත්වෙයි.