Print this Article


මොහඳුර දුරලන ලහිරු මඬල

මොහඳුර දුරලන ලහිරු මඬල

මිනිස් මනස වසා පවතින මොහඳුර දුරු කරන ලහිරු මඬල උදාවුණා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඒ උතුම් ධර්මය මිනිස් මනසේ ස්පර්ශ වන විට, මිනිස් මනසේ ගැඹුරු තැන පිරිමදින විට දහම් ආලෝකයෙන් මොහඳුර දුරුව ප්‍රඥාව නමැති ආලෝකය පිබිදී මුළු හදවත ම ඒකාලෝක වෙනවා

බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය පුදුම සහගතයි, බුදු කරුණාවේ ගැඹුර මනින්නට බැහැ. බුදුරජාණන් වහන්සේගේ විරාගී හදවතේ පහළව මානෙල් මල් සුවඳ විහිදුවන ශ්‍රී සිරි මුව මඬලින් ලෝකයාට දෙසූ මිහිරි බණ පද අමා ගීයක් වගෙයි.

පෘතග්ජන මනුෂ්‍ය සිත් හි දුක නැති කරන, සතුට වැඩි කරන, ජීවිතයක වේදනා, දුක්ඛ, දෝමනස්සය නැති කරන, සුව සහනය මතු කරන ඒ සදහම් අමා මිහිර දෙසවන වැටෙන යම්කිසි ශ්‍රාවකයෙක් වේ නම්, ඔහුගේ මුළු ජීවිතය ම අමා සුවයෙන් පිරී යනවා.

අවංක වූ හදවතකින්, උද්යෝගිමත් වූ හදවතකින් ම මේ අමා ධර්මයේ යෙදෙන්නට බුදුරජාණන් වහන්සේ අප දිරිමත් කළා. අපට ඒ ශක්තිය, ජවය, බලය තථාගත බුදුරජාණන් වහන්සේ අඩුවක් නැතිව ලබා දී තිබෙනවා.

බුදුගුණය තරම් අනන්ත වූ අන් දෙයක් මේ ලෝකයේ ම නැහැ. සම්බුද්ධ ජීවිතය තරම් අනන්ත වූ මහිමයක්, කිසිදු ජීවිතයක් මේ මහ පොළව මත ඇත්තේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ජීවිතය එබඳු අනන්ත අනුහස උතුරා ගිය, අනන්ත කරුණා දහර පැතිර ගිය උත්තම ජීවිතයක්. ශාන්ත ජීවිතයක්. පිනෙන් පිරුණ ජීවිතයක්. පාරමී ගුණ උපරිමයෙන් පිරූ ජීවිතයක්. ලොව සුවපත් කරන්නට ම මේ මහ පොළොවට වැඩම කළ ජීවිතයක්.

එවන් වූ අසිරිමත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයේ මිහිර විඳින්නට සෑම මනුෂ්‍යයකුට ම වාසනාව තිබෙනවා.

ඒ අසිරිමත් බුදුරජාණන් වහන්සේ ගැන සිතනවා නම්, ඒ අසිරිමත් වූ අනන්ත බුදු ගුණය ගැන සිහි කරනවා නම් ඔබේ ජීවිතයේ යහගුණය පිරී යනවා. ඒ වගේ ම ඔබේ ජීවිතය ගුණයෙන් සිසිල් වෙනවා. බුදු ගුණයේ මිහිර ඔබේ හදවතට දැනෙනවා. ඒ බුද්ධානුස්සති භාවනාවේ යෙදී කොතෙක් දුරට ඔබ වාසය කරනවා ද යන කාරණය මතයි.

උදේ සවස බුදුගුණ සිහිකරන ශ්‍රාවකයා සුව සේ නිදනවා. සුව සේ නින්දෙන් පිබිදෙනවා. සුව සේ දවස ගෙවා පිනෙන් පිරුණු දවසක් උදාකර ගෙන අනතුරු, උපද්‍රව, බාධක කරදර අවම කර ගෙන සිතේ සැනසීම සහ සහනය වැඩි කර ගෙන දවස ගෙවනවා.

ලාභ ලැබෙන, පාඩු නො ලබන උතුම්ම උතුම් මොහොතක් ජීවිතයට උදාවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිතන විටයි. මේ සිත අනේකාකාරයෙන් නොයෙක් අරමුණුවල දිව යන වේගය පුදුම සහගත යි. අරමුණෙන් අරමුණ පැන පැන යන මේ සිත බුද්ධාලම්භන නමැති උතුම් අරමුණෙහි පිහිටුවනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන විශාල කුසල් සිත් ප්‍රමාණයක් මේ හදවතේ පහළ වෙනවා. කුසලය අප සැමගේ සැනසිල්ලේ මාවතයි. පින් රැස් කළේ නැති කෙනාට මතු ලැබෙන සැපතක් නෑ. පින් කළ තැනැත්තා, එනම් පින්වතාට මේ ලෝකයේ උපරිම සැපත, ලෞකික භූමියේ ද, ලෝකෝත්තර භූමියේ ද ලැබෙනවා. පින් කළ කෙනෙක්මයි ධනවතෙක් වූයේ. උගතෙක් වූයේ. මේ ලෝකයේ රූපයෙන් ලස්සන කෙනෙක් වූයේ පින් කළ කෙනාමයි. ලස්සන කටහඬක් ලැබුණේ පින් කළ කෙනෙක්මයි. මේ ලෝකයේ දීර්ඝායුෂ ලැබුයේ පින් ඇති කෙනෙක්මයි. නිරෝගී බව ලැබුයේ පින් ඇති කෙනෙක්මයි. මේ ලෝකයේ පිළිගත් කෙනෙක් වූයේ, ප්‍රභූත්වය ලැබුයේ, උසස් කුලයක ඉපදුණේ ඒ වගේ ම තනතුරු ලැබුයේ පින් කළ කෙනාමයි.

සසරින් ගෙනා කාමාවචර කුසල ශක්තියක් නොමැති කෙනකුට මේ කාම භූමියේ සැප ලබන්නට ලැබෙන්නේ නැහැ. යමකුගේ සතුට ලැබෙන්නේ පුණ්‍යමය හේතුව මතයි. යමෙකුට යමෙක් දුප්පත් හෝ පොහොසත් කරවන්නට බැහැ. හැකි වන්නේ මාර්ගය කියා දෙන්න පමණයි. බුදුරජාණන් වහන්සේගේ ඒ අමා දහම කරුණාවෙන් කියාදීම තුළ ඒ අමා ධර්මය ශ්‍රාවකයා පිළිගැනීම තුළ ඒ ශ්‍රාවකයාට විපුල සැපතක් ඒකාන්තයෙන් ම උදාවනවා.

මේ උතුම් තථාගත දහමින් සිත සනසා ගන්නට ලැබෙනවා නම්, එමඟින් සිතේ සමාධිය ඇති වෙනවා. සීලවන්ත ජීවිතයට සමාධිය ලැබෙන විට පහළ වන්නේ ‘අභූත පුබ්බ’ ආලෝකය යි. එනම් ප්‍රඥාව නමැති ආලෝකය යි. ප්‍රඥාව නමැති ආලෝකය නොමැති තැන හිරු මඬල දස දහස් ගණනින් උදාවුණත් මෝහය නමැති ඝන අන්ධකාරය නැතිව යන්නේ නැහැ.

මිනිස් මනස වසා පවතින මොහඳුර දුරු කරන ලහිරු මඬල උදාවුණා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඒ උතුම් ධර්මය මිනිස් මනසේ ස්පර්ශ වන විට, මිනිස් මනසේ ගැඹුරු තැන පිරිමදින විට දහම් ආලෝකයෙන් මොහදුර දුරුව ප්‍රඥාව නමැති ආලෝකය පිබිදී මුළු හදවත ම ඒකාලෝක වෙනවා.

ඔබටත්, අපටත් බොහොම පොඩි කාලයකින් මේ ලැබූ ජීවිත ගමන නිමා කරන්නට සිදුවෙනවා. මේ දිවි ගමන නිමා කරන මොහොත බොහොම වේදනා බරයි. ශෝචනීය යි. ඒ වේදනාබර, ශෝචනීය දිවි ගමන නිමා වන විට බොහෝ කෙනකුට පසුතැවීම්, දරා ගැනීමට නොහැකිව දුක් වේදනා පැමිණෙනවා. මේ කලාතුරකින් ලබන මනුෂ්‍ය ජීවිතය සෑහෙන කාලයක් වැරැදි ආකාරයට භාවිතයට ගත් පුද්ගලයාට දුක් සහගත විපාක ලැබෙන විට බොහෝම අමිහිරි අත්දැකීම් ලබන්නට සිදුවෙයි. ඒ ලබන අත්දැකීම් තුළ මනස ආකූල, ව්‍යාකූල වෙනවා. එවිට ඒ සිත අඳුරින් වැසී යන විට අපට මොනතරම් නපුරක් සිද්ධවෙයි ද? මේ ජීවිතයේ සිද්ධ වෙන බලවත් වූ ප්‍රමාදය පුද්ගලයාට සංසාරය දවා, තවාලන පාපයක් බවට පත්වෙනවා. ඒ නිසා අප්‍රමාදී වීම වටිනවා.

බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිකිරීමෙන් පුද්ගලයා අප්‍රමාදී වෙනවා.

දහම් ගුණ, සඟ ගුණ සිහි කිරීමෙන් අප්‍රමාදී වෙනවා. උතුම් සීලයක් ආරක්ෂා කරන විට අප්‍රමාදී වනවා. මිහිරි බුදු බණ සිත සනහා අසන විට අප්‍රමාදී වෙනවා. මේ උතුම් අමා දහම ජීවිතයට ගළපා දහමින් ම හදවත සනසා ගනිද්දී සිත අප්‍රමාදී වෙනවා. දෙවියන් සහිත ලෝකයට මෙත් පතුරුවමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ නො පිරිසිඳිමින් චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා, ඒ අදහස් සිතේ ගොඩනඟන විට අප්‍රමාදී කෙනෙක් බවට පත්වෙනවා.

මේ උතුම් අප්‍රමාදීභාවය අප සැමගේ ම ජීවිතවල දැවැන්ත උපකාරයක්, දැවන්ත පිළිසරණක් වනවා. භාග්‍යවතුන් වහන්සේ ලුම්බිණි සල් වනයෙන් මේ ධරණීතලය මතට වැඩම කළේ අපේ ජීවිතවලට අප්‍රමාද වූ දහම දායාද කරන්නට යි.