Print this Article


පුරුද්දක් යන දුරක්

පුරුද්දක් යන දුරක්

සාමාන්‍ය මිනිසුන් වාසනා ගුණය කියන්නේ පිනට හෝ භාග්‍යයට ය. ලෝකයා පින් ඇති අයට “වාසනාවන්තයා” කියා කියති.

එහෙත් බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ ගත් විට වාසනා ගුණය කියා කියන්නේ වෙනත් කරුණකට ය.

බුදුරජාණන් වහන්සේත්, රහතන් වහන්සේත් අර්හත් මාර්ග සිතින් ඉතිරියක් නැතුව ම කෙලෙසුන් සහමුලින් ම ප්‍රහාණය කරති. කෙලෙසුන් සහමුලින්ම ප්‍රහාණය කළත්,

බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණයන් අතර වෙනසක් තිබේ. එම වෙනස වන්නේ රහතන් වහන්සේ ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා ප්‍රහාණයට සමත් නො වීමයි. ක්ලේශ ප්‍රහාණයෙන් පසු රහතන් වහන්සේට වාසනාව ඉතිරිව පවතී. මේ වාසනාව කියන්නේ කලින් කී “වාසනාවන්තයා” කියන එකට නොවේ.

රා තිබුණු කළයකින් ඒවා ඉවත් කර සෝදා ගත් පසුවත්, එහි රා මදකුදු නැත ද රා ගඳ එහි ඉතිරිව පවතී. ඒ ආකාරයට අර්හත් මාර්ගයෙන් සියලු ක්ලේශයන් දුරු කළ රහතන් වහන්සේගේ සන්තානවල, රහත් නොවුණු කාලයේ ඉරියව් පැවැත් වූ ආකාරයෙන්, ක්‍රියා කළ ආකාරයෙන්, කථා කළ ආකාරයෙන්, රහත් වූ පසුවත් ඉරියව් පැවැත්වීමට, ක්‍රියා කිරීමට, කතා කිරීමට හේතුවන ක්ලේශයන්ට ම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි “වාසනාව” කියනු ලැබුවේ ඒ ශක්ති විශේෂයට ය.

ඒ ශක්තිය ඉතිරි වී ඇති නිසා සමහර විට රහතන් වහන්සේ මඳ වූ රාගයක්වත් නැතිව සරාගීන් රාගයෙන් බලන්නාක් මෙන් බලති. කතා කරන්නාක් මෙන් කථා කරති. මඳ වූ ද ද්වේශයක් නැතිව කෝපවූවන් සේ ක්‍රියා කරති. කතා කරති. මඳ වූ ද මානයක් නැතිව මානීන් සේ ඉරියව් පවත්වති. කතා කරති. ඒ නිසා සමහර විට බලා සිටින අය රහතන් වහන්සේට ද කළකිරෙති.

පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමකි. උන්වහන්සේ මානයක් නැතිව ම කෝපයක් නැතිවම “මෙහෙ වර වසලී. පල වසලී” යනාදී ලෙස නො ගැළපෙන ආකාරයට ගිහියන්ටත් පැවිද්දන්ටත් කතා කළහ.

දිනක් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේගේ මේ නො ගැළපෙන කතාව ගැන අනෙක් භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කීහ. බුදුරජාණන් වහන්සේ “එසේ කතා කරන බව සැබෑවක්දැ”යි පිළින්දිවච්ඡ තෙරණුවන්ගෙන් ඇසූ සේක. “සැබෑවයි ස්වාමිනී” කී විට තථාගතයන් වහන්සේ අතීතය බලා අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සියයක් බ්‍රාහ්මණ කුලයෙහි ඉපද එසේ කතා කරන්නට පුරුදු වී ඇති බව දුටු සේක.

“මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත. මගේ පුත්‍ර වූ ‘වච්ඡ’ නපුරු සිතක් නැතිව ම පෙර පුරුද්ද නිසා එසේ කතා කරන්නේය”යි වදාළ සේක.