Print this Article


ලොව පහළවූ උත්තරීතර විමුක්ති දායකයාණෝ

ලොව පහළවූ උත්තරීතර විමුක්ති දායකයාණෝ

ලොව පහළ වූ උත්තරීතර විමුක්ති දායකයාණන් වන සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව කපිලවස්තු රාජධානියෙහි අධිපතීත්වය හෙබවූ සුද්ධෝදන මහ රජතුමා සහ මහා මායා දේවියගේ පුණ්‍යවන්ත පුත් කුමරකු වශයෙන් මෙලොවට බිහි විය.

ශාක්‍යවංශික කුමාරයාණෝ තුළ පැවති අසාමාන්‍ය දේහ ලක්ෂණයන් විමසූ ලක්ෂණ ශාස්ත්‍රය උගත් බමුණු පඬිවරුන් 108ක් අතරින් එහි සිටි ළාබාලතම “කොණ්ඩඤ්ඤ” නම් බමුණු පඬිතුමා කුමරා වැඩිවියට පත්වීමෙන් පසු ගිහිගෙය හැරගොස්, ධර්ම මාර්ගය වඩා සම්මා සම්බුදුවරයකු වන බවට ඒකාන්ත වශයෙන් අනාවැකි පළ කර සිටියේ ය.

මුළුමහත් ලෝකයාට ම විමුක්තිය උදාකරමින් සියලු දෙනාට අර්ථවත් දෙයක් සිදුකරන බැවින් කුමරා හට “සිද්ධාර්ථ” යන නාමය තැබීය. කුමරුගේ කුල ගෝත්‍රය “ගෞතම” විය. මේ හේතුවෙන් එතුමාණන් බුදුබව ලැබීමෙන් පසු ද “සිද්ධාර්ථ ගෞතම” ලෙස ප්‍රචළිත විය.

වයස අවුරුදු 29ක් පමණ වනතෙක් ශාක්‍ය සූර්ය වංශික සිදුහත් කුමරා ඉතාමත් සතුටින් සහ සැපයෙන් සපිරුණු අධි සුඛෝපභෝගී ජීවිතයක්, ස්වකීය මාලිගාවන් තුළ ගත කළේ ය. කෙසේ වුවත් කල්යත්ම කුමරුට තමන් ඇතුළු ලොව උපන් සියලු සත්වයෝ තෘෂ්ණාවෙන් අන්ධව, දුකෙන් දුකට පත් වන ස්වභාවය ඇති, ඉපදීමේ හා මරණයේ චක්‍රයට ගොදුරුව සිටින බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ වන්නට විය. මේ දුක්ඛිත සංසාර ගමනින් තමනුත් අතමිදී, ලෝසතුන් ද ඉන් මුදවා ගැනීම පිණිස මාර්ගයක් සෙවීමේ දැඩි අවශ්‍යතාව සිදුහත් කුමරාගේ සිත තුළ ක්‍රමයෙන් මෝදුවෙමින් පැවතිණි.

එහෙත් තමන් ගතකරමින් සිටින කම් සැපයෙන් පිරුණු මෙම අධි සුඛෝපභෝගී ජීවිතය තුළින් ඊට මඟක් සොයා ගත නොහැකි බව වටහා ගත් කුමරාණෝ, සසර පෙරුම් පුරා ආ ලෙසට ම විමුක්තියේ මාර්ගය සොයනු පිණිස “මහාභිනිෂ්ක්‍රමණය” සිදුකරමින් වනගතව තාපස ජීවිතයක් ගත කරමින් තපස් රැකීම ඇරඹීය.

ඉන්පසු සය වසරක් පුරාවට සියලුම ආකාරයේ තපස් වෘත අත්හදා බලමින් දුෂ්කර ක්‍රියා කළේ ය. එහෙත් ඉන් තමා බලාපොරොත්තු වූ විමුක්තිය නොලැබෙන බව අත්දුටු සිදුහත් තව්සාණෝ,, ක්‍රමයෙන් “මධ්‍යම ප්‍රතිපදාවට” අවතීරණය වීමට පටන් ගත්තේ ය.

කාම සුඛල්ලිකබව හා අත්තඛිලමතානුගතික බව අතහැර විමුක්තිය ළඟා කර ගැනීම උදෙසා අවසානයේ මධ්‍යම ප්‍රතිපදාව නිවැරැදි ක්‍රමය බව උන්වහන්සේ අත්දැක්කේ ය. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් විය. නිර්වාණාවබෝධය ලැබීය. පසුව තමන් ලද අවබෝධ ඥානයෙන් ලෝකය දෙස බැලූ උන්වහන්සේ තමන් සේ ම සියලු ප්‍රාණීන් හට නිර්වාණය අවබෝධ කිරීමේ හැකියාව ඇති බවත්, එහෙත් සත්ත්ව සන්තානයේ තිබෙන්නා වූ ව්‍යාකූලත්වය, මෝහය, අවිද්‍යාව නිසා ඒ හැකියාව යටපත් වී ඇති බවත් බුදුහිමියන් නුවණින් දුටු සේක.

ඉන්පසු සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසන් මොහොත වනතෙක් ම පන්සාළිස් වසක් පුරාවට ම දෙපයින් ම ගම් දනව්, ගංගා ඉවුරු දිගේ සැරිසරමින් විමුක්තිය ලැබීමේ මාර්ගය දෙව්මිනිසුන් හට ඉගැන්වූ සේක. ඒ උතුම් මාර්ගය වෙත යොමු කළ සේක.

උන්වහන්සේ සත්ත්වයාගේ භව අන්ධකාරයට මහා ආලෝකයක් විය. තමන් වහන්සේට හැකි උපරිම ආකාරයෙන් ලෝ සතුන් සසර සයුරින් එතෙර කළ සේක. බුද්ධත්වය ලැබූ දා පටන් දිනකට පැය 2ක පමණ කෙටි නින්දක් ලබා ගනිමින් ඒ ඒ පුද්ගල ඥාන ශක්තිය ඇති අයට ලෞකික හා ලෝකෝත්තර සැප ලැබීමේ මාර්ගය පෙන්වා දුන් සේක. ඒ සඳහා මහා කැපකිරීම් සිදු කළහ. එසේ නමුදු කෙතරම් වෙහෙස වුව ද කිසිදිනෙක උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය කඩ නොකළ සේක. සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨයහ. අසහායහ ය. සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සංවර කරන ලද දිවියක් ඇති සේක. මඬනා ලද ඉඳුරන් ඇති, පැමිණිය යුතු ගුණයන්ට පත් වූ, කිසිවකුට සමාන නැති, උපමා රහිත වූ මහා ශාස්තෘවරයාණන් වහන්සේ ම විය.

උන්වහන්සේ මිනිසාගේ පටන් සතා සිවුපාවුන් පමණක් නොව ගහකොළට පවා දැක්වූයේ සමාන කරුණාවකි. ජීවිතය තරම් ගෞරවය හා වටිනාකම ලැබිය යුතු වෙනත් දෙයක් නොමැති බව ලෝකයාට පෙන්වා දුන්හ. කිසිදු පුද්ගලයකු උපත අනුව තව කෙනකුගෙන් වෙනස් නොවන බවත්, මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ පුද්ගල හැසිරීම අනුව බවත්, සැම දෙනාට ම සමාන අයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය සැදීමේලා පුරෝගාමියාණන් වූ සේක.

එසේම උන්වහන්සේ ස්වයං භූ ඥානයෙන් අවබෝධ කර ගත් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිසිලෙස ප්‍රගුණ කිරීමෙන් ඕනෑම කෙනෙකුට මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල ලද හැකි විය. කිසිදු කාල පරාසයකට සීමා නොවූ අකාලික දහමක් විය. තම තමන්ගේ වීර්යයේ හා ප්‍රඥාවේ තරමට තමාට ම අවබෝධ කර ගත හැකි ප්‍රත්‍යක්ෂ ඔසුවක් බඳු ය.

උන්වහන්සේ වයස අවුරුදු 80 දී තමන් වහන්සේගේ කෘත්‍ය අවසන් කරමින් පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ සියලු ප්‍රාණීන් හට විමුක්තියේ මාර්ගය සලසා දුන් සේක. වර්තමානයේදීත්, අනාගතයේදීත් දුකින් නිදහස් වීමට කැමැති ශ්‍රාවකයාට විමුක්තියේ බීජය රෝපණය කර තිබූ සේක.

රූප කායෙන් දක්නට නොමැති වුවත් උන්වහන්සේ වදාළ ධර්මය තුළින් අදටත් බුදුරදුන් ජීවමානව වැඩ සිටින සේක. ඝනදුරු රැයක දිලෙන මහා පහන් ටැඹක් සේ බුදුරජාණන් වහන්සේ මේ සසර පුරාවට ම අපට මඟ පෙන්වන ඉන්ද්‍රඛීලයක් වනු ඇත.

බුද්ධ භාෂිතය වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ම අපගේ ගුරුවරයා විය යුතු ය. උන්වහන්සේගේ ඉගැන්වීම් අපගේ මාර්ගෝපදේශකයා ය. දවසකට එක් වතාවක් හෝ බුදු සමිඳුන් තුළ පැවති ඒ අසහාය ගුණ සිහිකරන්න. හැකි අයුරින් ඒ ගුණ වඩන්න.