Print this Article


අන්‍යොන්‍ය අවබෝධය වේ නම් විවාහ ජීවිතය ශක්තිමත් වෙනවා

අන්‍යොන්‍ය අවබෝධය වේ නම් විවාහ ජීවිතය ශක්තිමත් වෙනවා

සෞන්දර්යාත්මක කාව්‍යයක් වශයෙන් හැඳින්විය හැකි රාමායනය ලියනු ලැබුවේ වාල්මිකී ඍෂිවරයා විසිනි. වාල්මිකීට එම කාව්‍ය නිර්මාණය කිරීමට වස්තු බීජය වූයේ ද සොඳුරු කැදැල්ලක කතා පුවතකි.

දිනක් වනාන්තරයේ ඇවිදිමින් සිටි වාල්මිකී ඍෂිවරයාට ඉතාමත් සතුටින් ගී ගයමින්, කෙළිදෙළෙන් සිටි කොස්වා ලිහිණි ජෝඩුවක් නෙත ගැටුණේ ය.

අප්‍රමාණ සතුටින් කාලය ගතකළ කොස්වාලිහිණි ජෝඩුව හදිසි විපතකට පත් වූයේ, වැද්දකුගේ හී පහරක් කොස්වා ලිහිණියාගේ හදවත පසාරු කර ගෙන ගොස් මරු වැළඳ ගැනීමත් සමඟ ය. තම පි‍්‍රයයා වූ කොස්වා ලිහිණියාගේ හදිසි වියෝවෙන් අතිශය ශෝකයටත්, කම්පනයටත් පත් ලිහිණි කිරිල්ලිය වැළපෙන අයුරු දුටු ඍෂිවරයාගේ ශෝකජනක අත්දැකීම රාමායනයට වස්තු බීජය වූ බව එහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංයුක්ත නිකායේ කුටිකා සූත්‍රයේදීත් කැදැල්ල පිළිබඳ කතා පුවතක් අපට හමුවේ. එම කතාවට අනුව දිනක් එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කුටිය කියන්නේ කුමක්ද? කැදැල්ල කියන්නේ කුමක්ද? කියලා. ඒ වගේම ප්‍රවේණිය යනු කවරක්ද? බන්ධනය යනු කුමක්ද? යනුවෙන් විමසා සිටිනවා.

මාතරං කුටිකං බ්‍රෑසී
භරියං බ්‍රෑසි කුලාවකං
පුත්තෙ සන්තානකෙ බ්‍රෑසී
තණ්හං මේ බ්‍රෑසී බන්ධන්ති

එම අවස්ථාවේ දී දෙවියන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ කුටිය යනු මවයි. බිරිය යනු කැදැල්ලයි. දරුවන් යනු කුල ප්‍රවේණියයි. නැතහොත් පරම්පරාවයි. තෘෂ්ණාව යනු බන්ධනයයි.

මෙහිදී බිරිඳ සහ සැමියා තමයි මව සහ පියා වෙන්නේ. දරුවන්ට ඔවුන් මව පියා වෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අන්‍යයන්ට යහළු හිත මිත්‍රයන් වෙනවා. වයසට පත්වුණා ම මේ දෙදෙනා ම ආච්චි සහ සීයා බවට පත් වෙනවා. අනතුරුව ආච්චිලා, සීයලා, මුනුපුරු, මිනිපිරියන් දකිනවා. එම මුනුපුරු මිනිබිරියෝ, සහෝදර සහෝදරියෝ බවට පත්වෙනවා. මේ ආකාරයෙන් පරම්පරාව එක දිගට ඇදී ආවා. බුදුරජාණන් වහන්සේ කුල ප්‍රවේණිය මේ ආකාරයෙන් දේශනා කරන්නට ඇත්තේ ද පවුල් ඒකකය ප්‍රබල සංස්ථාවක් වන බැවිනි.

සාර්ථක පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබීමත් ගිහි ජීවිතයේ දී මිනිසා ලබන භාග්‍යයක් ලෙස සලකන්න පුළුවන්. කාලයාගේ ඇවෑමෙන් දරුවෝ ලැබීමෙන් සොඳුරු වන කැදැල්ලේ සතුට වැඩි වීමෙන් පවුල් ඒකකය වඩාත් ශක්තිමත් වෙනවා.

දිනක් එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා බුදුහාමුදුරුවනේ, මිනිසුන්ට තිබෙන වටිනාම වස්තුව කුමක්ද කියලා? ඒ වගේම මිනිසාට සිටින උතුම් ම යහළුවා කවුද? ප්‍රාණීන් පවතින්නේ කුමක් හේතු කොට ගෙන ද කියලා. එයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනු ලැබුවේ

පුත්තා වත්ථු මනුස්සානං
භරියාය පරමො සබා
වුට්ඨිං භුතුපජීවන්ති
යෙ පාණා පඨවිංසිතාත

(වත්ථු සූත්‍රය – සංයුක්ත නිකාය)

මෙම පාඨයේ සඳහන් අර්ථයට අනුව මිනිසාට තිබෙන සම්පත දරුවෝයි. උතුම්ම යහළුවා බිරිඳයි. පොළොව ඇසුරු කර ගෙන ජීවත් වන ප්‍රාණීන් වැස්ස නිසා ජීවත් වෙනවා.

යම් පුද්ගලයකුට යාන වාහන, ගේ දොර ඉඩකඩම් ඇතුළුව වස්තු සම්භාරයක් තිබෙන්න පුළුවන්. එහෙත් යම් පුද්ගලයෙක් ඔබට ඇති වස්තුව කුමක්ද කියලා විමසුවොත් කියන්නේ මේ දරුවා තමයි මගේ වස්තුව කියලා. එහිදී බැංකුවේ තිබෙන තමන් සතු මුදල් තැන්පතුවක් හෝ වෙනත් වස්තුවක් පිළිබඳ ඔහු සඳහන් කරන්නේ නැහැ.

එහෙත් වර්තමාන සමාජය තුළ දරුවන් වස්තුවක් ලෙස නොසලකා කටයුතු කරන මවුපියන් ද සිටින බව අප දන්නා කරුණක්. සැමියෙක්, පියෙක් වශයෙන් මෙන්ම බිරිඳක්, මවක් වශයෙන් සමාජ සංස්ථාවේ දී අනුගමනය කළ යුතු ධර්මෝපදේශ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ අන්තර්ගත වී තිබෙනවා.

සොඳුරු පවුල් සංස්ථාවක් මනස්කාන්ත ලෙස ගත කිරීමට ඇවැසි ක්‍රම ඒ තුළ සඳහන් වෙනවා. කාම සම්පත් භුක්ති විඳිමින් සාර්ථක යුග ජීවිතයක් ගත කිරීමට ධර්මෝපදේශ ලබා දුන් සූත්‍රයක් ලෙස දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රය හඳුන්වා දීමට පුළුවන්. ගිහි විනය සඳහන් වන මෙම සූත්‍රයේ අන්තර්ගත ධර්ම කරුණු ජීවිතයට එක්කාසු කර ගැනීමෙන් හා ඒවා අනුගමනය කිරීමෙන් යහපත් ජීවිතයක් නිර්මාණය කර ගත හැකියි. එම සූත්‍රයේ සඳහන් වන ආකාරයට සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් යුතුකම් ඉටුකළ යුතුයි. යුතුකම් තිබෙන තාක් කල් වගකීම් ද ඉෂ්ට වෙනවා.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් අයුරින් සැමියාගෙන් බිරිඳට ඉටුවිය යුතු යුතුකම් මේ ආකාරයෙන් හඳුනා ගැනීමට පුළුවන්.

නින්දා සහගත නොවන අයුරින් කතා කිරීම

අවමන් නොකිරීම

බිරිඳ නොඉක්මවා ජීවත්වීම

යස ඉසුරු පවරාදීම

ආභරණ ආදිය බිරිඳට ලබාදීම

එම යුතුකම් ඉටුවීමෙන් බිරිඳගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙනවා.

ඇතැම් තරුණයන් විවාහ වූ අවධියේ දී ඉතාම ළෙන්ගතුව ඇයට ආමන්ත්‍රණය කළත් කාලයාගේ ඇවෑමෙන් එම තත්ත්වය වෙනස්වී යන බව දක්නට පුළුවන්. එබඳු තත්ත්වයන්ගෙන් මිදී යහපත් ගුණ ගරුක සැමියකු ලෙස ස්වකීය ජීවිතය හැඩගස්වා ගැනීමට සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු ඉතා වැදගත්.

බිරිඳගේ කායික, මානසික හා භෞතික අවශ්‍යතා ඉටු කර දීම ගෞරවනීය සැමියකුගේ ලක්ෂණයයි.

බිරිඳ ද සැමියාට අනුකම්පා සහගත විය යුතුයි. ඒ කෙසේද යත් සිඟාලෝවාද සුත්‍රයේ සඳහන් ආකාරයට

නිසි වේලාවට නිවසේ වැඩ කටයුතු කිරීමෙන්

පිරිවර ජනයාට හොඳින් සංග්‍රහ කිරීමෙන්

සැමියා නොඉක්මවීමෙන්

සැමියා උපයා සපයා ගන්නා දේ හොඳ කළමනාකාරිත්වයකින් ආරක්ෂා කිරීමෙන් හා

ගේ දොර වැඩ කම්මැළි නැතිව, හිස උදුම්මා ගන්නේ නැතිව ඉටු කිරීමෙනුයි. මෙවැනි ආකාරයෙන් බිරිඳ සැමියාට අනුකම්පා දැක්විය යුතුයි.

ස්ත්‍රී පුරුෂයන්ට කලින් කලට හොඳ කල වගේම නරක කලත් ලබනවා. ජීවිතයක නැඟීම් පමණක් නොව බැසීම් තිබෙනවා. ජීවිතයක් චක්‍රයක් වගේ කරකැවෙනවා. මනුෂ්‍ය ජීවිතය ද මෙබඳු ම යි.

“දුක සැප නිති පෙරළේ. රිය සක ලෙස ලෝකේ” එය අපේ පැරැණි සිංහල ගීතයක කොටසක්. ජීවිතය ඔරලෝසුවක බට්ටා මෙන් යැයි ද උපමා කර තිබෙනවා. ජීවිතයේ මේ පෙරළෙන පැද්දෙන ස්වභාවය නිසා කම්පාවට පත්වන්නේ නුවණ මද බාලයන්.

නුවණැත්තන් මේ පෙරළි විඳ දරා ගන්නට සමත් වෙනවා.

මිනිස් දිවියට බලපාන මේ වෙනස්කම් හා උච්චාවචතා පිළිබඳ අවබෝධයක් ලැබීම මිනිසුන් ජීවිතයට මුහුණදීම සඳහා අවශ්‍ය ඤාණ ශක්තිය පොහොසත් කරනවා. එවිට තැන්පත් නිසංසල මනසින් ජීවිතයේ නැඟීම් හා බැසීම්වලට මුහුණපාන්නට ඔවුන්ට හැකි වෙයි.

‘රෝස මලේ නටුවෙ කටු’ . රෝසමල මුදු පි‍්‍රයංකර වර්ණයන් ප්‍රසන්න සුගන්ධයන් අප වෙත ගෙන එයි. එහෙත් නටුවේ ඇති කටු කර්කශයි. සියල්ල සුබවාදීව බලන්නාට මුළු ලෝකය ම රෝසමල් යහනාවක් වෙයි. අසුබවාදීයාට ලෝකය කටු අකුලක්. යථාර්ථවාදීව බලන විට ලෝකය රෝසමල් යහනාවක්වත්, කටු අකුලක්වත් නොවන බව පෙනී යයි. නුවණින් යුතු විමසිලිමත් තැනැත්තන් රෝස මලෙහි ආකර්ශනීයත්වයෙන් මුසපත් නොවෙයි. කටුවල රඟ දැන මැන තුවාල කර නොගන්නට පරෙස්සම් වෙමින් රෝස මලේ මිහිර ද විඳ ගනියි. දිගින් දිගට ම වමටත්, දකුණටත් පැද්දෙන ඔරලෝසු බට්ටකු මෙන් සන්තුෂ්ටිකර මෙන්ම අසන්තුෂ්ටිකර දේ ද ලෝ තුළ විද්‍යමාන වෙයි. ජීවිත කාලය තුළ හැම දෙනාට ම නොවරදවා ම මේ දෙවර්ගයේ ම අත්දැකීම්වලට මුහුණපාන්නට සිදුවෙයි.