Print this Article


සත්‍යක්‍රියාවෙන්සෙත ලබන්නට

සත්‍යක්‍රියාවෙන් සෙත ලබන්නට

සත්‍ය කියන දේ මේ ලෝකයේ තිබෙන උතුම් ම රසය බවයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. නමුත් මේ ලෝකයේ බොහෝ දෙනා සත්‍යයට කැමැති නැහැ. සත්‍යයට බයයි. ඔවුන් සිතනවා සත්‍ය රැකීම කටුක දෙයක්, නීරස දෙයක් කියලා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙරුම් පුරණ සමයේ සිට සත්‍යයට ගෞරව කළා. එනිසා ම උන්වහන්සේ “සත්‍ය නාම” නාමයෙන් ද හඳුන්වනු ලබනවා.

අපි මේ ලෝකයේ ගිහි ජීවිතය ගත කරන කොට විවිධ අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවනවා. හැමදාම සතුටින්, සැහැල්ලුවෙන්, සිත නො රිදාගෙන, මෘදුව ජීවත් වෙනවා කියලා දෙයක් නැහැ. අපට නොයෙක් කරදර, කම්කටොලු, ලෙඩදුක් නො පෙනෙන ලෝකයේ පීඩන, අද්භූත චෝදනා එල්ලවීම, නින්දා අපහාස විඳීම ආදී නා නා ආකාරයේ ප්‍රශ්න ජීවිතයට පැමිණෙනවා.

මහා ගුණවත්, සත්පුරුෂ උතුමන්ගේ ජීවිතවලට පවා එවැනි දුක් කම්කටොලු පැමිණියා. කරදර, නින්දා, අපහාස එල්ලවුණා. ඒක එදත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙන්න පුළුවන්.

ගෞතම බුදු සසුනේ වැඩ සිටි උත්තමාවියක් වූ යශෝධරා තෙරණින් වහන්සේ සසරේ පෙරුම් පුරාගෙන එන විට බොහෝ සත්‍ය ක්‍රියා සිදුකොට තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ ජීවිතයට නොයෙක් හිරිහැර, කරදර, ජීවිත අනතුරු එනවිට ඇය ජීවිතයේ රැකි ගුණයක් සිහි කරමින් සත්‍ය ඉස්මතු කරමින් සත්‍යක්‍රියා සිදු කොට මේ සත්‍යානුභාවයෙන් මාගේ ස්වාමියා සුවපත් වේවා කියා අධිෂ්ඨාන කර තිබෙනවා. ඒ ආකාරයට අපගේ බෝසතාණන් වහන්සේගේ ජීවිතය පවා ආරක්ෂා කර ඇති බව ජාතක පොත් වහන්සේ සටහන් තුළ තිබෙනවා.

මේ ජීවිතයේ දී අපි නොයෙක් කරදර, දුක්කම්කටොලු, පීඩාවලට මුහුණ දෙනවා. අපට සිදුවන අසනීපයක දී, කරදරයක දී, අභූත චෝදනාවක දී හෝ වේවා තමාගේ තිබෙන ගුණයක් ඉස්මතු කර තමන්ට ම සත්‍යයක් ක්‍රියාවක් සිදුකරන්න පුළුවන්. අදට පවා එසේ කරන බොහෝ සැදැහැවතුන් අප අතර සිටිනවා.

අපි එසේ සිහි කරන්න තරම් ගුණයක් පුරුදු කරලා නැහැ කියලා හිතන්න. නමුත් අපට පුළුවන් අපි සරණ ගිය මහානුභාව සම්පන්න උතුමන් ගැන විස්තර ඉගෙන ගෙන ඒවා සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න. ඒ වගේම අපි සරණ ගිය තථාගතයන් වහන්සේ, ශ්‍රී සද්ධර්මය, ආර්ය මහා සංඝරත්නය සිහි කරමින් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්

යශෝධරා අරහත් උත්තමාවියන්ගේ පිවිතුරු බව සිහි කරන්න. අංගුලිමාල තෙරුන් වරදින් නැඟී සිටි ආකාරය සිහි කරන්න. ඒ කිසිවක් ඔබට කරන්නට බැරි නම් ඔබ මා සරණගිය ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වන සේක, සත්ථා දේව මනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක, යනුවෙන් මෙනෙහි කොට මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ සත්‍ය යි, සත්‍ය යි, සත්‍ය යි. ඒ සත්‍යානුභාවයෙන් මට පැමිණිලා තිබෙන දුක්, කරදර, පීඩා දුරුවේවා. නිදුක් වේවා, නිරෝගී වේවා කියා ඔබට ම පුළුවන් සෙත් පතාගන්න. නැතිනම් සෙත් පතන්න.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය පුරාම තිබෙන්නේ සත්‍ය ගැන යි. “ඒතේන සච්චේන සුවත්ථි හෝතු” මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා. කියා රතනසූත්‍රය ඇතුලු තවත් පිරිත්වලින් සෙත් පතා තිබෙන ආකාරය දැක ගන්නට තිබෙනවා. එනිසා බෞද්ධ අපට ලැබුණු ලොකුම දායාදය වන ශ්‍රී සද්ධර්මය හොඳින් ඉගෙන ගෙන දුකේදී වගේම සැපේදීත් අපගේ ජීවිතවලට ඒ දහම ගළපාගෙන මෙලොව පරලොව ජය ගනිමු.