සිත නිදහස් නම් මොන තරම් දුකක් වුව ද
දරා ගැනීමේ හැකියාව ලැබෙනවා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අනුරාධපුර සමයේ ථූපාරාම විහාරය ලංකා ද්වීපයේ කීර්තිමත් විහාරයක්. ලංකාවේ සතර
දිශාවෙන් ම පැමිණි අය මේ විහාරයේ පැවිදි වුණා. අනුරාධපුරයේ ජීවත් වුණ යහළුවන්
දෙන්නකුටත් හිතුණා මේ විහාරයේ මහණ වෙන්න.
ගිහි ජීවිතයේ සැප සම්පත්වල අඩුවක් මේ අයට තිබුණේ නෑ. ධර්මය ගැන අවබෝධයෙන් හා සසරින්
මිදීමේ අදහසින් ම තමයි පැවිදි වුණේ. තරුණ දෙන්නෙක් නිසාත්, බණදහම් දන්න නිසාත් වැඩි
කල් නො යා උපසම්පදාවත් ලබා ගන්න පුළුවන්කම ලැබුණා.
උපසම්පදා වුණාට පස්සේ සංඝ ශාසනයේ විනය නීතියක් තිබෙනවා උපසම්පදා භික්ෂුව අවුරුදු
පහක් යනතුරු තමන්ගේ ආචාර්ය - උපාධ්‍යයන් වහන්සේ යටතේ වැඩ සිටින්න ඕන කියලා.
ඉතින් මේ තරුණ උපසම්පදා භික්ෂූන් වහන්සේ දෙනමත් තමන්ගේ ගුරුවරයා සමීපයේ වැඩ සිටියා.
අවුරුදු පහ අවසන් වුණාට පස්සේ එක උපසම්පදා භික්ෂුවක් තමන්ගේ ගුරුවරයාගෙන් අවසර ගෙන
පාචීනඛණ්ඩරාජිය කියන ගමට ගියා. මේ ගම ‘පැදුම්කඩදොර’ කියලාත් හැඳින්නුවා.
අවුරුදු ගණනාවක් මේ භික්ෂුව නිදහසේ පැදුම්කඩදොර ගමේ වැඩ සිටියා. පිණ්ඩපාතයෙන් නම්
අඩුවක් තිබුණේ නෑ. ඒ වගේම බොහොම නිදහස් තැනකයි වැඩ සිටියේ. උන්වහන්සේ භාවනා කරමින්
නිදහසේ ජීවත් වුණා.
වසර ගණනාවක් ම ථූපාරාමයට යන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. හැබැයි නිතර තමන්ගේ යහළුවා
මතක් වුණා. දවසක් සිහි කළා, ‘ගිහි කාලයේ සිට මගෙත් එක්ක එකට හිටිය මගේ යාළුවාටත් මම
විඳින නිදහස් පරිසරය විඳින්න අවස්ථාවක් හදල දෙන්න ඕන කියා. සිතා දිනක් තමන් වහන්සේ
ගමනක් යන විට ගෙනියන සැරයටියත්, ඇගේපතේ වේදනාවට ගාන තෙල් බෝතල් ආදියත්, වහන් දමන
පසුම්බියත්, දෙපට සිවුරත්, පාත්‍රයත්, නානකඩ ආදියත් රැගෙන ගමන එන්න පිටත් වුණා.
මහමඟ නතර වෙමින් දින ගණනාවක් වැඩම කර ථූපාරාමයට වැඩම කළා. ථූපාරාමවාසී තෙරුන්වහන්සේ
තමන්ගේ යහළු පැදුම්දොරකඩ වැඩ සිටින තෙරුන්වහන්සේ ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ආගන්තුක
සත්කාර කළා. වැසිකිළි කැසිකිලි ආදිය පෙන්වා දුන්නා.
වසර ගණනාවකින් තමන්ගේ පන්සලට වැඩම කළ නිසා සමහර කුටි වෙනස් කරලයි තිබුණේ. ඒ නිසා
ආගන්තුක යහළු තෙරුන්ට ගැළපෙන කුටියකුත් සූදානම් කරලා දුන්නා. තෙරුන් වහන්සේත් ඇඟපත
සෝදාගෙන කුටියට වැඩම කර මෙහෙම කල්පනා කරනවා.
‘සවස වැඩම කරපු වේලාවේ ආගන්තුක සත්කාර කළා. ගිලන්පසත් ලබා දුන්නා. රාත්‍රි
ගිලන්පසටත් ගිතෙල් හෝ පැණි හෝ පාන වර්ගයක් එවනවානේ’යි කියලා හිතමින් කාලය ගත කළා.
ටිකෙන් ටික මධ්‍යම රාත්‍රියත් උදා වුණා. ගිලන්පස ලැබුණේ නැති නිසා නිදාගත්තා.
උදෑසනම අවධි වෙලා මූණකට සෝදාගෙන කල්පනා කරනවා. රාත්‍රි ගිලන්පස එව්වේ නැත්තේ උදේම
කැඳ එවන නිසා වෙන්න ඕන. දැන් කැඳ හා කැවිලි උපස්ථායකයකු අතේ එවයිනේ’යි කියා කල්පනා
කරමින් හිටියා. ඒත් උදේ පිණ්ඩපාතය යන තෙක් කැඳ ලැබුණෙත් නෑ. එයත් නො ලැබෙනවා දැක
‘යහළුවාත් එක්ක ගමට ගියාම කැඳත්, පිණ්ඩපාතයත් හොඳට ලැබෙනවා ඇති. ඒ නිසා තමයි මොකුත්
එව්වේ නැත්තේ’යි හිතුවා. ගොදුරුගමේ වීථියක් ගානේ වැඩම කළත් පිණ්ඩපාය ලැබුණේ නෑ. කැඳ
කිනිස්සක් පමණක් ලැබුණා. දෙදෙනා වහන්සේ ම මඟ දී හමු වූ අශ්ව ගාලකට ගිහින් සම සේ
බෙදාගෙන වැළඳුවා. ටිකක් විවේක ගෙන දහවල් පිණ්ඩපාතයේ වැඩම කරන්නයි දැන්
දෙදෙනාගේම සූදානම. කල්වේලා බලා දහවල් පිණඩපාතයේ යෙදෙන්නත් පටන් ගත්තා.
ආගන්තුක තෙරුන් දැන් මෙහෙම හිතනවා. ‘මේ ගමේ මිනිස්සු දහවල් දානය විතරක් හොඳට
ප්‍රණීතව දෙන නිසා වෙන්න ඇති උදේ කැඳ නුදුන්නේ. දහවලට හොඳට වළඳනවා’යි හිතාගෙන
පිණ්ඩපාතයේ වැඩම කළා. එහෙත් දවල් පිණ්ඩපාතයටත් කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නෑ.
ලැබුණු පිණ්ඩපාතය මඟ තිබුණු ගහක් යට ඉඳගෙන වළඳලා ථූපාරාමවාසී තෙරුන් අමතා
‘ස්වාමිනි, ඉස්සර හොඳට දානය ලැබුණා. දැන් ලැබෙන්නේ නෑ. හැමදාම මෙහෙමද යැපෙන්නේ?’
ඇහුවා. ථූපාරාමවාසී තෙරුන්වහන්සේ
‘එහෙමයි’ මෙහෙම තමයි දානය ලැබෙන්නේ. ලැබෙන දෙයක් වළඳලා වැඩ ඉන්නවා’යි පිළිතුරු
දුන්නා.
‘එහෙමද’ පැදුම්කඩදොර නම් පිණ්ඩපාතය හොඳට ලැබෙනවා. සුව සේ පිණ්ඩපාතය වළඳලා නිදහසේ
භාවනා කර ගන්නත් පුළුවන්. මම මෙහේ වැඩම කළෙත් ඔබ වහන්සේ පැදුම්කඩදොර විහාරයට වැඩම
කරවාගෙන යන්න. මෙහෙට වඩා බොහොම සුව පහසුකම් තියෙනවා. එහේ වැඩම කරමු’යි ඉල්ලා
සිටියා.
තෙරුන් වහන්සේ ආරාධනාවත් එක්කම වැඩම කරමින් සිටි මාර්ගයෙන් දකුණු දොරටුව දෙසට හැරී
වැඩම කරන්න පටන් ගත්තා. ඒ විගසම පසුපසින් වැඩම කළ පැදුම්කඩදොරවාසී තෙරුන් වහන්සේ
උන්වහන්සේ සමීපයට වැඩම කරලා
‘ස්වාමිනි, මේ කුඹල්ගම දෙසට හැරුණේ
ඇයි?’යි කියා ඇහුවා.
එතකොට ථූපාරාමවාසී තෙරුන් කියනවා’ ස්වාමිනි, ඔබගේ ආරාධනය අනුව පැදුම්කඩදොර ගමට වැඩම
කරන්නයි හැරුණේ. කුමක් හෝ ගැටලුවක් ද?’කියා ප්‍රශ්න කළා.
එවිට පැදුම්කඩදොරවාසී තෙරුන් වහන්සේ අහනවා
‘ස්වාමිනි, ඔබ වහන්සේගේ පරිහරණයට ගෙනියන බඩුමුට්ටු කිසිවක් නැද්ද? කියලා. එවිට
ථුපාරාමවාසී තෙරුන් වහන්සේ කියනවා
‘ස්වාමිනි, ඇඳ- පුටු, මෙට්ට ආදිය සාංඝික යි. මා සතු කිසිවක් ම නෑ. මම ගමනට හැරුණේ ඒ
නිසයි’ කියලා.
ඒ විගසම ආගන්තුක තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා ‘ස්වාමිනි, මගේ සැරයටියත්, තෙල්
බෝතල් ආදියත්, වහන්දමන පසුම්බියත් වැඩ සිටි කුටියේ ඒ ටික අරගෙන වැඩම කරන්න ඕන. නැවත
විහාරයට ගිහින් ගමන පිටත් වෙමු කියලා ඉල්ලා සිටිනවා.
එවිට ථූපාරාමවාසී තෙරුන් වහන්සේ ආගන්තුක වූ යහළු භික්ෂුව අමතා
‘ඔබ එක දිනක් වැඩ සිටි තැන මෙතෙක් දෑ තැබුවා ද? යි ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ
පැදුම්කඩදොරවාසී තෙරුන් වහන්සේ
‘ස්වාමිනි, ඔබ වහන්සේ වැනි තෙරුන් වහන්සේලාට මුලු පොළොව ම වනවාසයකට සමාන යි. කිසිදු
ඇලීමක් ඇත්තේ නෑ. ඔබවහන්සේ මෙතැනම වැඩ සිටීම වඩාත් හොඳයි. කියා තමන් වහන්සේගේ
පාත්‍ර, සිවුරු ආදිය ගෙන ආගන්තුක භික්ෂුව නැවතත් පැදුම්කඩදොර ගමට වැඩම කළායි කියන
පුවතක් විශුද්ධි මග්ගයේ කම්මට්ඨානගහණ නිද්දේසයේ සඳහන් වෙනවා.
ගිහි වුවත්, පැවිදි වුවත්, නගරබද වුවත්, ගම්බද වුවත් සැහැල්ලුවෙන් හා අල්පේච්ඡව
ජීවත් වෙනවා නම් කොපමණ දුක් පැමිණියත්, අපහසුතා පැමිණියත් එය දුකක් හෝ අපහසුතාවක්
හෝ වෙන්නේ නෑ. පුද්ලයාගේ සිත නිදහස්ව පවත්වා ගෙන යන ආකාරයත්, ගැටලුවලින් තොරව ජීවත්
වන ආකාරයත් ථූපාරාමවාසී තෙරුන්ගේ චරිතයෙන් පැහැදිලිව පෙන්වා දෙනවා. සැප පසුපස ගමන්
කරන, අල්පේච්ඡ බවින් තොර, නිදහස් ස්ථාන ම සොයන පුද්ගලයින්ට හොඳම පාඩමක් මේ කථා
පුවත.
ඕනෑම ස්ථානයක ජීවත්වීමට පුළුවන් නම් එතැනයි සතුට රැඳී තියෙන්නේ. |