Print this Article


පහන් සිතක කවි

සාධු සාධු සෑය වඳිමු

රන්වැලි සෑ වඳිමි මෙමා
සැදැහැ සිතින් සිරස නමා
මල් ඉති පිනි දියෙන් තෙමා
දෝතට ගෙන වඳිමි මෙමා

ස්වර්ණමාලී සෑය වඳිමු
දෙව්ලොව යන පාර තනමු
ඝෝර බවයට තිත තබමු
හිමි වැඩි මඟ අපිත් පතමු


ජය ශ්‍රී මහ බෝධි සමිඳු

ජය ශ්‍රී මහ බෝධි සමිඳු මද සුළඟේ ලෙළ දෙන්නේ
ජය සිරිමා බෝ සමිඳුන් අප හදවත් සනසන්නේ
මහ මළුවේ ආලෝකය දස අතේම පැතිරෙන්නේ
ධු අප සැමදා සිරිමා බෝ නමදින්නේ

මහ මෙව්නා උයනේ වැඩ සිටිනා බුද්ධ ප්‍රතිමා වහන්සේ
අප සැම සිත් සැදැහැ සිතින් නිති පුබුදන්නේ
මෙත් කරුණා ගුණයෙන් සැම සිත් සනසාලන්නේ
රටට ම මුනි කරුණාවයි දසතම පැතිරී යන්නේ

බෝපත් සුළඟෙ සිළි සිළි ගා නැළවෙන්නේ
තිසා වැවෙන් එන සුළඟින් සිසිල ගෙනෙන්නේ
රුවන්වැලි සෑ රජුන්ගේ තේජස පැතිරෙන්නේ
අප සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිට ලැබෙන්නේ


සිරස නමමි

දඹදිව දහම් සිරි සිරිලක දෙසට හමා
හෙළදිව මිහින්තලයට ශ්‍රී සිසිල තෙමා
වැඩි අප මිහිඳු මා හිමි ගුණ සිතින් දරා
දම්සුව විඳ අනුබුදු හිමි වඳිමි මෙමා

සිරිපද කඳු පෙළින් මදනළ හමන විට
අරුනලු රැස් කිරණ ගත සිත වෙළන විට
පින්බර අය පැහැද දෙසවන පිනන විට
පින් පිරි හඬ ඇසෙයි පොහො දින වෙහෙර සිට

ගිය ගිය හැම තැනම බොදු කොත් රැලි පෙනෙනා
බැලු බැලු සැම අරම සුදු බුදු රුව දිලෙනා
දුටු දුටු හැම දෙනම සිල් රෙදි හැඳ වෙසෙනා
යමු යමු ලැබ පිනම නිවනෙහි දොර හැරෙනා


අනුබුදු මිහිඳු හිමි නමදිමු

මිහිඳු සමිඳු කරුණාවෙන් දෙසූ බණ
අසමින් පැහැදිලා බුදු දම වැළඳගෙන
පොසොන් දිනේ පිහිටුවමින් බුදු සසුන
දහමින් පිබිදුණා ලක් වැසියන් එදින

සිරිමා බෝධි ශාඛාවක් ගෙන පැමිණි
උඳුවප් පොහොය දින හිමියන්ගේ නැඟණී
අඳුරින් මුදා ඇතිකර සසුනත් මෙහෙණි
වනිතාවන්ට සෙත දුන් සඟමිත් තෙරණී


සැප යැයි සිතා...

සඳකැන් වැටිලා පොහොයයි සිහිවන්නේ
පිනිදිය ඉසිරිලා අනියත බව දන්නේ
තුරු අග මල් පිපී පරවෙන බව දන්නේ
ඉපදුන කෙනෙක් නැත මරණය වළකන්නෙ

සතුටක් ඇතොත් දුකකිනි කෙළවර වන්නේ
දුක දුරු කරන්නට නැත වෙහෙසක් ගන්නේ
දහමක් ඇතත් ඇයි ඒ ගැන නොසිතන්නේ
සැප යැයි සිතා දුකමයි ළං කර ගන්නේ