Print this Article


සත්‍යක්‍රියාවේ බලය

සත්‍යක්‍රියාවේ බලය

සත්‍ය පිළිබඳ ක්‍රියාත්මකවීම “සත්‍ය ක්‍රියා” නම් වේ. සත්‍යයෙන් ම යමක් ඉටු කර ගැනීමට ක්‍රියාත්මක වීම වනාහි මහත් බලයකි. එකී බලයෙහි පිහිටා බොහෝ උවදුරු, පීඩාවන්ගෙන් මිදීමට හැකි ය. එවැනි අවස්ථාවන්ට උදාහරණ බුදුසමය ඇසුරෙන් ද සපයා ගත හැකි ය.

අංගුලිමාල හිමියන් ගිහි කාලයේ දී බොහෝ මනුෂ්‍ය ඝාතන සිදුකළ බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් පසුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී සසුනෙහි පැවිදි වූ උන්වහන්සේ බොහෝ දෙනා කෙරෙහි දයා අනුකම්පා ඇත්තකු බවට පත් වූහ. බොහෝ සෙයින් මෛත්‍රිය, කරුණාව ම පැතිර වූහ.

දිනක් පිණ්ඩපාතයේ වඩින උන්වහන්සේට මූඪගර්භව, දරුවා වැදීමට නොහැකිව දුක් විඳින ස්ත්‍රියක දක්නට ලැබුණි. ඇය කෙරෙහි උපන් කරුණා ඇති අඟුල්මල් තෙරණුවෝ ඒ බැව් බුදුරදුනට සැල කළහ. එවිට බුදුරදුන් උපදෙස් දුන්නේ එම කත වෙත එළැඹ සත්‍යක්‍රියා කරන ලෙසයි. ඒ අනුව අඟුල්මල් හිමියෝ ඇය වෙත එළැඹ සත්‍ය ක්‍රියා කළහ.

“නැඟණියනි, යම් දවසක මම ආර්ය ජාතියෙහි උපන්නෙම් ද, එතැන් පටන් දැන – දැන සතකුගේ ජීවිතය තොර කළ බවක් නො දනිමි. ඒ සත්‍යයෙන් ඔබට සෙත්වේවා ! ගැබට සෙත්වේවා! (අංගුලිමාල සූත්‍රය)

මෙම සත්‍ය ක්‍රියාව නිසා දරුවා නො වැදිය හැකිව පීඩා විඳි කත සුවපත් වූවා. මෙහිදී අංගුලිමාල හිමියන් කළේ තමන් වහන්සේ තුළ පවත්නා සත්‍ය පිළිබඳ ප්‍රකාශයකි. ඒ සත්‍ය කරණ කොටගෙන සුවපත් බව ප්‍රාර්ථනා කිරීමකි. මුසාවක් මෙහි කිසි අයුරකින්වත් නොවීය. ඒ ආර්ය ජීවිතයට පැමිණීමට පෙර උන්වහන්සේ වෙතින් මනුෂ්‍ය ඝාතන සිදු වුව ද ආර්ය ජීවිතයට පත් වූ දා සිට තවත් එවන් වරදක් සිදු නොවූ බැවිනි.

තවත් සත්‍ය ක්‍රියාවක තතු මෙසේ ය. සසර සරණ අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක වටු පැටවකුව උපත ලැබූහ. මේ වන විටත් හටගත් පියාපත් නැති මාංශපේශියක් වූ වටු පැටවා මව මවුතුඩින් ගෙන දෙන ‘අහරින් පෝෂණය වෙමින් ඇගේ උණුසුමින් දිවි රකිමින් ජීවත් විය. එකල්හි අවුරුදු පතා ගිම් කල්හි ඇවිළෙන ළැව් ගින්නක් ඇති විය. වේගයෙන් පැමිණෙන ගින්නට බිය වූ වටු පැටවාගේ මව්පියෝ පැටවා කැදැල්ලෙහි හැරදා ඉගිළ ගියහ. කිසිත් කරගත නොහැකි වටු පොව්තෙම අතීතයෙහි වූ බුදුවරුන් සිහිපත් කොට සීලාදී ධර්ම බලය ආවර්ජනා කර සත්‍ය ක්‍රියා කළේ ය.

“මට පියාඹිය නොහැකි පියාපත් ඇත. පියනැඟීමට නොහැකි පාද ඇත. මවුපියෝ ද පලා ගියහ. ගින්න නවතින්න.”

බෝසතාණන් වහන්සේගේ සත්‍යක්‍රියාව සමඟ මහත්ව ඇවිළගත් ගින්න ජලය වෙත පැමිණියාක් මෙන් නැවතිණ.

මෙලෙස උතුම්වූ සත්‍යයේ පිහිටා යම් අයකු ක්‍රියා කරන්නේ නම් ඔහුට හෝ ඇයට එම උවදුරෙන් මිදී රැකවරණය සලසා ගත හැකි ය. මේ සඳහා සත්‍යය ම මුල් කරගෙන සත්‍යයෙහි ම පිහිටීම අවශ්‍යය. මේ අනුව බොරුවට වඩා සත්‍ය ප්‍රබල ආරක්ෂණ ක්‍රමයක් බව පැහැදිලි ය.