Print this Article


ජීවිතයට සුව සදන්නේ සදාචාරාත්මකව ලබන සතුටයි

ජීවිතයට සුව සදන්නේ සදාචාරාත්මකව ලබන සතුටයි

මනුස්ස ජීවිතයේ උසස් තත්ත්වයක් ළඟා කර ගැනීමෙහිලා සංධිස්ථානයක් ලෙස තරුණ කාලය හඳුන්වා දිය හැකියි. බුදුදහමේ දී යෞවනත්වයට උසස් ස්ථානයක් හිමිවී ඇත. යොවුන් ස්වභාවය දහමෙහි ප්‍රථම වයස ලෙස හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ දුක නිපාතයේ සමචිත්ත වග්ගයේ මේ පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා.

‘යුවා සුසුකාල කේසා යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා”

තරුණකම ඇති, මනා කළු හිසකෙස් ඇති, සොඳුරු යොවුන් විය සමන්විත පළමුවන වයස පටමේන වයස ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. යොවුන් වියේ දී කායික ශක්තිය, දරා ගැනීමේ ශක්තිය ඉහළ මට්ටමක පවතින බැවින් එම කාල පරිච්ඡේදය තුළ ක්‍රියාශීලි බව, උද්‍යෝගිමත් බව උපරිමයෙන් ම දැකිය හැකියි. යොවුන් විය කායික ශක්තියෙන් මෙන්ම මානසික ශක්තියෙන් ද පරිපූර්ණව පවතින යුගයක් බැවින් එම කාලය තුළ තෘප්තිමත්ව ධාර්මිකව ජීවත්වීමට අවශ්‍ය පසුබිම ගොඩනඟා ගැනීමෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. තරුණ කාලයේ දී නිසි අයුරින් ජීවිතය සැලසුම් නොකළහොත් අනාගතයේ දී දුක උරුම වන බව බුදුදහම මැනවින් පෙන්වා දී තිබෙන කරුණකි. එනම්

“අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චාච ඣායන්ති
ඛීණා වච්ඡෙව පල්ලලේ”

එය කෙසේ ද යත්, තරුණ කාලයේ බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට, වයසට ගිය පසු දිය සිඳුණූ, මසුන් ද නැති විල්තෙරක තැවෙන මහලු කොස්වා ලිහිණියකු මෙන් එවැනි පුද්ගලයන්ට පසුතැවීමට සිදුවන බවයි, මෙම ගාථාවේ අර්ථය වන්නේ. එබඳු තත්ත්වයකට පත් නොවී තරුණ දූ පුතුන් ධාර්මිකව තෘප්තිමත් ජීවිතයකට අඩිතාලම දමා ගැනීමට තරුණ කාලයේ දී අදිටන් කර ගත යුතු බවයි.

‘සෙන්තිචාපා තිඛිත්තාච
පුරාණානි අනුත්ථුනං”

තරුණ අවධියේ දී බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට, මහලු කාලයේ දී දුන්නෙන් විද බිම වැටුණු ඊතල මෙන් තමන් පෙර කී දේ සිහිකරමින්, සුසුම් හෙළමින් ජීවත්වීම තරුණ ජීවිතය සැලසුම් නොකළ පුද්ගලයන්ගේ ස්වභාවය බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

ඊතලය දුන්නෙන් මුදාහල විගස හරිම වේගවත් ය. යොවුන් විය ද එලෙස ය. ඉතාමත් වේගවත් ය. ජවසම්පන්නයි. ධෛර්ය සම්පන්නයි. එසේ වුවත් ඊතලය වැටුණු ස්ථානයේ එකී ජවසම්පන්න බව නැත. තරුණ කාලයේ දී උසස් ලෙස ජීවත් නොවී මහලු වූූ පසු සුසුම් හෙළමින් ජීවත්වීම, තරුණ ජීවිතය නියම ආකාරයෙන් අවබෝධ කර නොගත් පුද්ගලයන්ගේ ස්වභාවයක් බව ධම්මපදයේ ජරා වර්ගයේ පැහැදිලි කර තිබෙනවා.

ඉහත සඳහන් කරුණ මැනවින් අවබෝධ කර ගැනීමට උපකාරි වන කතා පුවතක් සෙට්ඨි සිටුවරයාගේ ජීවිත කතාව තුළ අන්තර්ගත වී තිබෙන බව පැහැදිලි කර ගත හැකියි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි එදවස බරණැස්නුවර මහා ධන සිටුවරයෙක් සිටියේ ය. ඔහු සෙට්ඨි නමින් හැඳින්විය. එදා ධන සිටුවරුන්ට ආමන්ත්‍රණය කරනු ලැබුවේ ද ඒ නමිනි. සෙට්ඨි ධන සිටුවරයාට එකම පුතෙක් සිටියේ ය. එම පුත්‍රයා කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තේ ද නැත. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බොහෝ ධන සම්භාරයකට උරුමකම් කියූ නිසාම ඔහුගේ සිතැඟි පරිදි මුදල් වියදම් කරමින් විනෝදයෙන් කාලය ගත කළා.

මේ ආකාරයට කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ විවාහයට සුදුසු කාලයත් එළඹුණා. නුවර සිටි සිටු කුමරියක ඔහුට සරණපාවා දීමක් සිදු කෙරුණා. ඇයත් සිටු පවුලට සිටි එකම දියණියයි. කාලයාගේ ඇවෑමෙන් සිටු පවුලේ දෙපාර්ශ්වයේ ම දෙමාපියෝ මිය ගියා.

අනතුරුව ඔවුන් දෙපළට රිසි සේ ඔවුන් සතු දේපළ පරිහරණය කරමින් ජීවත් වූවා මිස දේපළ පරිහරණය කිරීමේ දී කිසිදු කළමනාකාරිත්වයක් තිබුණේ නැහැ. තරුණ කාලයේ දී නටමින්, ගයමින්, සුරාසොඬින් ජීවත් වුණා. කාලයක් ගතවෙද්දී ඔවුන් දෙදෙනා සතුව තිබූ දේපළ විනාශ වී අවසානයේ දී දෙදෙනා ම සිඟමනට වැටුණා.

දිනක් බුදුරජාණන් වහන්සේ වැඩසිටි විහාරස්ථානයට මේ දෙදෙනා පැමිණියා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ඔවුන් දෙදෙනාට ම ඉහත සඳහන් ගාථා පාඨය දේශනා කළා. උන්වහන්සේ අවධාරණය කරනු ලබන්නේ තරුණ කාලයේ දී ශ්‍රේෂ්ඨ ආකාරයට හැසිරිය යුතු බවයි. නැතහොත් උසස් ලෙස හැසිරිය යුතු බවයි.

යෞවනත්වයට හොඳ ආදර්ශ පාඨයක් බුදුරජාණන් වහන්සේ ජාතක පාලියේ මූගපක්ඛ ජාතකයේ දේශනා කර තිබෙනවා.

යුවාචරේ බ්‍රහ්මචරියං’ වශයෙන් එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ තරුණ කාලයේ දී ශ්‍රේෂ්ඨ ආකාරයට හැසිරිය යුතු බවයි.

ඕනෑම පුද්ගලයකුට, මිනිසකුට තමන් අධිපතීත්වයේ තබාගෙන ධර්මය ආරක්ෂා කිරීම ඉතා හොඳ දර්ශනයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ වගේම “ලෝකාධිපතෙය්‍ය” යනුවෙන් දර්ශනයක් තිබෙනවා. ඉන් කියැවෙන්නේ ලෝකයේ යම් සම්මතයක් තිබෙනවා යම් දෙයක් හොඳයි කියා. නැතහොත් වැරැදියි කියා. නැතිනම් ඒ අනුව ක්‍රියාත්මක වන විනයක්, නීතියක් තිබෙනවා. එනිසා නීතිගරුකව ජීවත් වෙනවා. එසේ නැතිනම්, තමන් අධිපතිත්වයේ තබාගෙන නැතහොත් ලෝක සම්මත නීතිය අනුව ඊට ගරු කරමින් යම් පුද්ගලයකුට යහපත්ව ජීවත්විය හැකියි. නමුත් මෙම තත්ත්වයන් දෙකට ම වඩා යහපත් වන්නේ ධම්මාධිපත්‍යෙය හෙවත් ධර්මය මුල්කරගෙන ජීවත්වීමයි. එය නිවැරැදි මාර්ගය බවයි බුදුදහමේ ඉගැන්වෙන්නේ.

ධර්මය අධිපතිත්වයේ තබාගෙන ක්‍රියාකිරීම ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම පොදු දහමක්. මෙම ස්වභාවය අවබෝධ කර ගැනීමට උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ප්‍රාණඝාතයෙන් වළකින්න කියා. ඒ අනුව අපි සතුන් නොමරා ජීවත් වෙනවා. අනුන්ට හිංසා කිරීමෙන් වළකිනවා. එය තමයි ධර්මය. ඒ අනුව ජීවත් වෙනවා. එම ක්‍රියාකාරිත්වය මුල් වූයේ ධම්මාධිපතෙය්‍ය යි.

අත්තාධිපත්‍යෙය ගතහොත් තමන්ගේ තත්ත්වය අනුව, වෘත්තිය අනුව ඊට ගැළපෙන ආකාරයෙන් සමාජයේ යහපත්ව ජීවත් වෙනවා.

මම මවක්, පියෙක්, ගුරුවරයෙක්, උසස් නිලධාරියෙක්, එනිසා මම මගේ භූමිකාවට සුදුසු පරිදි හැසිරිය යුතුයි. ඒ වගේම සමාජයේ සම්මත නීතියක් තිබෙනවා. ඒ අනුව අපි හැසිරෙන්න ඕනේ. ලෝක සම්මතයට අනුව වැඩකිරීම තමයි වැදගත්. අනෙක් අයටත් තමන්ගේ පරම්පරාවෙන් අම්මාගෙන්, තාත්තාගෙන් උරුම වූ ගුණධර්මයන් තියෙනවා. ඒවා ආරක්ෂා කර ගත යුතුයි. මේ සියලු දේ ආරක්ෂා කරමින් ජීවත්වන විට අපට ශක්තිමත්ව ජීවත් විය හැකියි. මෙවැනි තත්ත්වයක දී අසතුටු ස්වභාවයක් නැහැ. එනිසා බොහොම පැහැදිලිව බුදු දහමේ උගන්වන්නේ තෘප්තිමත්ව ජීවත් වන්නේ කෙසේද කියායි. “සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් සතුට තමයි පරම ධනය. එනිසා තරුණ දූ පුතුන් තේරුම් ගත යුතුව තියෙනවා. බුදුදහමට අනුව සතුටු වෙන්න පුළුවන්. එය සදාචාරාත්මකයි, විනයගරුකයි. එය මෙලොව ලෞකික ජීවිතය මෙන් ම ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරන්නකි. එය අපිට දහමින් උසස් තත්ත්වයකට යෑමට මාර්ගය වේවි.