Print this Article


ප්‍රශ්න මඟහරින්නට පුළුවන් අනුන් ගැන සිතන තරමටයි

ප්‍රශ්න මඟහරින්නට පුළුවන් අනුන් ගැන සිතන තරමටයි

ජීවිතයට ප්‍රශ්න ගැටලු උද්ගතවීම සාමාන්‍ය දෙයක්. එයින් මඟ හැර යන්නට කිසිවකු සමත් නැහැ. මෙසේ අප හමුවට එන ප්‍රශ්න හමුවේ දී කඳුළට ඉඩ නොදී මුවගට සිනා රැල්ලක් නගා ගැනීමට ඔබට ශක්තියක් තිබෙනවාද?

සිතේ පවතින ආත්මාර්ථකාමී බව තුනී කොට ගන්නේ නම් එය එතරම් අපහසු නෑ. තමන් ගැන පමණක්ම සිතන අය සිතන්නේ ප්‍රශ්න ඇත්තේ අපට පමණයි කියලයි. ඒ නිසා සහනයක් සැනසිල්ලක් ලැබිය යුත්තේ අප පමණයි කියලයි.

තවත් මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. ඒ නිතරම අපට ඇති ප්‍රශ්න ගැන පමණක් ම නොසිතා අපේ ජීවිතයේ සැනසීම ඇති කරුණු කාරණා ගැනත් සිහිපත් කළ යුතු බවයි. දෙපා නැති මනුෂ්‍යයෙක් දකින තුරුම ඔබ නිරතුරුවම පැමිණිලි කළේ පලඳින්න සපත්තු ජෝඩුවක් නැති බවටයි. මේ අදහස අප හොඳින් සිහියෙහි තබා ගත යුතුයි. මේ ආකාරයෙන් සිතන විට අපට පෙනෙන්නේ අපට වඩා අනන්ත අප්‍රමාණ දුක් කරදරවලට මුහුණපාන තවත් අය කොපමණ නම් සිටිනවා ද කියලයි. මේ අවබෝධයෙන් ම අපේ ප්‍රශ්න බොහෝ දුරට තුනීකර ගැනීමට හැකි වෙනවා.

තම තමන්ගේ ප්‍රශ්න ගැන පමණක් ම නොසිතා සෙසු අයගේ ප්‍රශ්න, දුක් කරදර ආදිය ගැනත් මදක් හෝ සිතා බැලීම අපේ ජීවිතයට සැනසීමක් ලබා ගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ ය. යමෙක් අන්‍ය පුද්ගලයෙක් සතුටු කිරීම පිණිස තම කාලය, ශ්‍රමය, බොහෝ සෙයින් වැය කරයි නම් ඔහුට ඔහුගේ දුක් කරදර ගැන සිත සිතා සන්තාපයට පත්වීමෙන් වැළකිය හැකියි. මෙලෙස ඔබ කෙනකුට පිහිට වූ විට “මා කිසියම් වූ උපකාරයක් ඔහු හෝ ඇය වෙනුවෙන් සිදු කළා” යන සතුටු හැඟීමෙන් සිතට තෘප්තියක් ලැබීමට අවස්ථාව ලැබෙනවා. එවිට අපට අපේ ප්‍රශ්න අමතකව සිතේ කුසල චේතනාවක් වැඩෙනවා. එමඟින් අපේ සිතේ මෝහය සහ බිය වළක්වා ගත හැකියි.

යම් සිතක් සංවර කර ගැනීමේ ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි වන්නේ කය සහ වචනය සංවර කිරීමයි. අප අවට ලෝකය පිළිබඳ දැන ගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් මඟිනි. සිතිවිලි උපදවන වස්තූන් ඇසින් දකිනවා . එලෙසම කන – ශබ්දයටත්, නාසය - ගන්ධයටත් යොමු වන්නේ නම් එමඟින් ද සිතිවිලි පහළ වෙනවා. මෙලෙස ඉඳුරන් මඟින් ලැබෙන තොරතුරු සිත මඟින් ප්‍රසන්න – අප්‍රසන්න ලෙසින් වර්ග කෙරෙනවා.

එලෙසම ඉඳුරන් මඟින් ලැබෙන සන්නිවේදනයන්ට කය කෙසේ ක්‍රියා කළ යුතු ද යන්නත් තීරණය කරන්නේ සිතමයි. පි‍්‍රය දේට කැමැති වීමත්, අපි‍්‍රය දේට අකැමැති වීමත් සාමාන්‍ය පෘථග්ජන මිනිස් ස්වභාවයයි. මෙවන් වූ මානසික තත්ත්වයන්ගෙන් මිදී සිටින්නේ ඉතාම සුළු පිරිසකි.

යමෙක් කය සහ වචනය මනාව සංවර කර ගැනීමට නම් සිතිවිලි පාලනය කිරීමට, සිත සංවර කර ගැනීමට පුරුදු විය යුතුයි. සිතිවිලි කුසල හා අකුසල ලෙසින් වර්ග කළ හැකියි. යම් අයකුගේ යහපත් චරිත වර්ධනයට, හිතකර ආකල්ප වර්ධනයට, යහපත් චර්යාවන්ගේ දියුණුවට උපකාර වන්නේ කුසල චේතනාවයි. එය ජීවිතයේ සුබ සිද්ධිය උදෙසා පවතිනවා. අකුසල් චේතනා ජීවිතයේ විනාශය සඳහා ම වනවා.

සිතක මොහොතින් මොහොත සිතිවිලි උපදින අන්දම, ඒ වගේම කුසල සිතිවිලි මොනවාද? අකුසල සිතිවිලි මොනවා ද? යන්න පිළිබඳ නිරතුරුව ම අවධියෙන් සොයා බැලීමට යමෙක් පුරුදු පුහුණු වන්නේ නම්, එය ඉතා වැදගත්. එලෙස සිතිවිලි පිළිබඳ අවධියෙන් සිටීමට හැකි නම් ඒ තැනැත්තා කුසල චේතනා වැඩීමෙහි සමත් අයෙක් වනවා.

ඒ වගේම තම සිතෙහි අකුසල සිතිවිලි උපදින විට එම සිතිවිලි අකුසල සිතිවිලි ලෙස හඳුනාගෙන” සම්මා වායාමය’ නම් චිත්ත ශක්තිය මඟින් එබඳු අකුසල සිතිවිලි ඈත් කොට එවන් සිතිවිලි ඇතිවීම වළක්වා ගන්නට හැකි වෙනවා. ඒ වගේ ම සිතෙහි හටගන්නේ කුසල සිතිවිලි නම්, ඒ සිතිවිලි වඩ වඩා පුබුදුවන්නට හැකියි. ඒ වගේම සිතෙහි හටගන්නා සිතිවිලි සම්බන්ධයෙන් අවදියෙන් සිටීමෙන්, හුදෙක් ඉඳුරන් මඟින් ජීවිතයට කෙරෙන යම්, යම් පෙලඹවීම්වලට ගොදුරු නොවී සිත සංවර කර ගැනීමට හැකි වෙනවා.

කය සංවර කිරීමෙන් හා වචනය සහ සිත පිරිසුදු කිරීමෙන් සතුට ලැබෙනවා . අප සැවොම බලාපොරොත්තු වන්නේ සතුටයි. අපට හිමි සතුට භුක්තිවිඳීමට නම් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ක්‍රියාවලියක් තිබෙනවා.

ඒ මෙසේයි.

උපන් අකුසල් සිතිවිලි පහ කළ යුතුයි.

අකුසල් සිතිවිලි උපදින අවස්ථාවේ ම උදුරා දැමිය යුතුයි.

උපන් කුසල් සිතිවිලි වඩා වර්ධනය කර ගත යුතුයි.

නූපන් කුසල් සිතිවිලි උපදවා ගත යුතුයි.

මේ සරල උපදෙස් සතර දිනපතා ක්‍රියාවට නැඟිය හැකියි. එය සිතක් නිරෝගීව තබා ගත හැකි, අප සැමට ම අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් වනවා. අප, අප පිළිබඳව අවංකව ම සතුට අපේක්ෂා කරනවා නම්, මේ සතර පිළිවෙළ අනුගමනය කළ යුතුයි. පවිත්‍ර වූ ප්‍රතිභා සම්පන්න සිතක් දියුණූු කර ගැනීමට නම් මේ අවධි බවත්, ඉන්ද්‍රිය සංවරයත් පුරුදු – පුහුණු කිරීමට ආරම්භ කළ යුතුයි.

මේ විශ්වය හා සසඳා බලන විට අප ජීවත්වන ලෝකය කුඩා අංශු මාත්‍රයක් පමණයි. අප හිටිහැටියේ මරණයට පත් වුවහොත් එයින් විශ්වයට බලපෑමක් සිදුවෙනවා ද? එහි අඩුව පාළුව දැනෙන්නේ අපේ ම නෑ හිතමිතුරන්ට පමණයි. වෙනත් කිසිවකුට දැනෙනවා ද? නැහැ. අප මේ තරම් සුළු නම් අප හා සසඳා බලන විට අපේ ප්‍රශ්න කෙතරම් සුළු ද? අනන්ත වූ, අප්‍රමාණ වූ විශ්වය හා සසඳන විට හිරු හා ලොව කෙතරම් සුළු වස්තුවක් ද? එසේ නම් අපගේ ප්‍රශ්න ඊටත් වඩා කෙතරම් සුළු විය හැකි ද?

මෙලෙස අපගේ ප්‍රශ්න සෙසු කරුණු හා සමානව බැලීමට හැකි නම්, නියම දෘෂ්ටි කෝණයෙන් බැලීමට හැකි නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමුවැනි අංගය වන “සම්මා දිට්ඨිය” අවබෝධ කර ගත හැකියි. එලෙස සිතීමෙන් අපට අප පිළිබඳ නියමාකාර වූ ඇගයීමක් කිරීමටත් පුළුවන්. ඒ වගේම අපගේ වටිනාකම අධිතක්සේරු කිරීමෙන් වළකින්නට හැකියි. මෙවැනි දැනීමක් දියුණු කර ගන්නේ නම් ජීවිතයක අගය කළ යුතු දේ මොනවාද? අගය නොකළ යුතු දේ මොනවාද? යන්න අප අපට ම තේරුම් ගත හැකි වෙනවා. එපමණක් නොව අපට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න ‘ඇති වී නැතිවන සුළු දෙයක්” ලෙස සැලකීමටත් පුරුදුවන්නට හැකි වෙනවා.

අපගේ සිතට අතීතයේ පීඩාකාරි වූ නුරුස්සන හැඟීම් ගැන වර්තමානයේ සිතා බැලුවහොත් පුදුම සිතෙනවාට සැකයක් නැත. එදා තිබුණ ප්‍රශ්න කෙතරම් සුළු ද? ඒ වගේම කෙතරම් පහසුවෙන් අමතක කළ හැකිව තිබුණා ද? අප හිතාමතාම ඒ ප්‍රශ්නවලට එදා ගොදුරු වී දිගින් දිගට ම සිතින් කෙතරම් දුක්වින්දා ද?

අපට එදා උදා වූ ප්‍රශ්න කුමක් වුවත්, කෙතරම් සංකීර්ණ ලෙස පෙනුණත්, කාලයත් සමඟ ඒ සියල්ල විසඳනු ඇති. ඒ ඒ ප්‍රශ්න නිසා එදා ඇතිවු වේදනා සහගත සිතිවිලි සුවපත් වෙනවා ඇති. නමුත් ඒ ප්‍රශ්න සියල්ල විසඳීමට කාලයට බාර දී බලා සිටිය යුතුම ද? ඒ සම්බන්ධව අපට කළ හැකි කිසිවක් නැද්ද? පසුතැවිලි සහගතබව වළක්වාලන්නට පියවර ගත නොහැකි ද?

තමන්ගේ සිතේ සතුටට බාධා පමුණුවන්නේ අන් කෙනෙක් නොවේ, තමන් ම යි. ඒ නිසා අපේ සතුට රැක ගැනීමට අප අපට කළ හැකි යමක් තිබෙනවා. ඒ, ප්‍රශ්නවලට අපේ ශක්තිය විනාශ කිරීමට අවස්ථාව නොදීමයි. සිතේ සාමය, සතුට පවත්වා ගෙන යෑම අපට කළ හැකියි. සිතේ සතුට පවත්වා ගනිමින්, සතුට භුක්තිවිඳීමට නම් එය තම තමන් විසින්ම කළ යුතු ය.