Print this Article


මහා කරුණා ධම්මදූත වැඩමුළුව

මහා කරුණා ධම්මදූත වැඩමුළුව

“වායමේතේව පුරිසෝ යාව අත්ථස්ස නිප්ඵදා”
(සං.නි - වේරෝචන අසුරින්ද සූත්‍රය)

මානව සංහතියේ ලෝකයාට කෙලෙස් ගිනි නිවා සිත් සතන් පුබුදුවාලනු පිණිස මඟ විවර කළාහු නම් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අඳුරේ සිටි ලෝකයාට ආලෝකය උදා කරන, මැනවින් පුහුණු කරන්නේ නම් වහා ප්‍රතිඵල උදාකර දෙන මනස සුවපත් කරන දහමයි. සම්බුදු මඟ වඩින සිවු පිරිස වෙනුවෙන් උන්වහන්සේගේ ඕවාදය “අරමුණ ඉටුවනතුරු උත්සාහ කරන්න” යන්නයි.

සම්බුදු සසුනේ මනා පැවැත්ම හා භික්ෂු සංස්ථාව තුළ ඇති නූතන අර්බුදකාරී පරිසරය මඟහරවා ගනිමින් ආධ්‍යාත්මීය ගුණයෙන් පොහොසත් හා නිවැරැදි නායකත්වයක් නිර්මාණය කිරීම ඔස්සේ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි. බූටාවත්තේ සරණංකර නාහිමියන් ප්‍රමුඛව මැලේසියාවේ මහා කරුණා පදනම එක්ව සංවිධානය කළ එම මහා කරුණා ධම්මදූත වැඩමුළුව වනස්පති වෘක්ෂයක මූල බීජ රෝපණය යැයි නිශ්චිතව කිව හැකි ය.

ඒ අනුව 2023.06.28/29/30 දිනයන්හි කුරුණෑගල රිදී විහාරයේ පැවැති එම වැඩසටහන තුළ දී භික්ෂුව යනු ඉතාමත්ම ඉහළ ගණයේ ආධ්‍යාත්මය පොහොසත් උගත් වියත් හා තැන්පත් මෙන්ම නායකත්වයෙන් පොහොසත් චරිතයක් බව මූලිකව අවධාරණය කරන ලදී. එහිලා වර්තමාන තරුණ භික්ෂූන් වහන්සේ කවර අයුරකින් නූතන ගැටලුකාරී පරිසරය දුරු කර ගැනීමට මඟ සැකසිය යුතු ද යන්න මැනවින් ඉස්මතු කර පෙන්වූයේ සාක්ෂි සාධක ද දක්වමිනි.

කාලය හා තම ශ්‍රම ශක්තිය මැනවින් කළමනාකරණය කරමින් නිවැරැදි සන්නිවේදන ක්‍රියාවලියක් තුළින් ඔබ සහ ඔබ හමුවට එන පුද්ගලයාට කෙසේ ඔබ සතු ධර්මය පරිත්‍යාග කරන්නේ ද යන්න පැහැදිලි කෙරිණි.

විශ්වාසවන්තව සහයෝගයෙන් හා මනා සංවිධානාත්මකව, සැලකිලිමත්ව හා විනයගරුකව කැපවීමෙන් හා නිවැරැදි දැක්මකින් මෙන්ම දයාවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා ඉවසීමෙන් උසස් මානව ගුණයන් පූරණය වෙනුවෙන් මාර්ගය සකස් කර ගනිමින් තවත් පිරිසක් ඒ මාර්ගය වෙත යොමු කරවන්නේ කෙසේද යන්න ද ප්‍රකට කෙරිණි. ඔබ ඔබට ම කතා කරමින් ඔබ සතු හැකියාවන් හා නොහැකියාවන් හඳුනා ගනිමින් ඔබව නිවැරැදි මාර්ගයට යොමු කර ගැනීමේ ශක්‍යතාව ඔබ සතු පරම වගකීමක් වන බවත් එහි යහපත් ප්‍රතිඵල ඔස්සේ ඔබට සතුටින් සිටීමේ අවස්ථාව උදාවන බවත් සිහිපත් කෙරිණ. ඔබ සතු දුර්වලතා බැහැර කිරීම වෙනුවෙන් භාවනා කිරීම තුළින් සිත සංවර කර ගැනීම ඔස්සේ අඩුපාඩු මඟ හරවා ගත හැකි බව ද සාක්ෂි සහිතව තහවුරු කෙරිණ.

වත්මනේ පාලි, සංස්කෘත, සිංහල ආදී භාෂාවන් ඉගෙනීමේ අමිල බවත්, ඒ තුළින් බුදුරදුන්ගේ ධර්මය මනාව උගත හැකි බවත් සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් ධර්මය ආරක්ෂා කළ හැකි බවත් එය යුද්ධ කිරීමෙන් නොව නිවැරැදිව ධර්ම අධ්‍යයන, අධ්‍යාපන, උද්ග්‍රහණ හා ධාරණ තුළින් සාක්ෂාත් කර ගත හැකි බවත් පැහැදිලි කරන ලදී. මෙම භාෂාවන් මෙන්ම ජාත්‍යන්තර භාෂාවන් වන ඉංගී‍්‍රසි, ජර්මන්, චීන ආදී භාෂා පරිචය තුළින් බුදුන් වහන්සේගේ ධර්මය ලෝකයාට දන් දිය හැකි බවත් ප්‍රකට කරන ලදී. දේශන මෙහෙයවීම සිදු කරනු ලැබුවේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක බූටාවත්තේ සරණංකර නාහිමියන් ඇතුළු උගත් වියත් මෙන්ම ආධ්‍යාත්මයෙන් ද පොහොසත් භික්ෂූන් වහන්සේ පිරිසක් හා තන් යී ශින් මෙනවිය (මහා කරුණා පදනම) විසිනි.

ඒ අනුව කරුණාව, මෛත්‍රිය පෙරදැරිව ඉහළ ආධ්‍යාත්මික දියුණවක් ඔස්සේ ධර්මය නොදන්නා මිනිසුන්ට ධර්මය කියා දෙමින් ආමිස දාන, ධර්ම දාන සහ අභය දානය නිරන්තරයෙන් පරිත්‍යාග කරමින්, ගැටලු විසඳා ගනිමින්, සතුටින් හා සන්සුන් තැන්පත් මනසක් සකස් කර ගනිමින් පැවිදි ජීවිතය නිහතමානීව හා ගුණගරුකව, මනුෂ්‍යත්වය පිරිපුන්ව පවත්වන්නට මිනිසුන්ට උපකාර කිරීමේ “පරත්ථං පටිපජ්ජථ” යන බුදු වදන ද සාධනය වන බව පැහැදිලි කර ගත හැකි වෙයි.