කම්පාවන සිතට
බුදු දහමින් රැකවරණයක්
විශ්‍රාමික විදුහල්පති
ගුරු උපදේශක
ඇරැව්වල කේ. අබේගුණසේකර
ලෝක සත්ත්වයා අතරින් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ මනුෂ්‍ය වර්ගයාට ය. එය ඔබටත් මටත්
කොතරම් සතුටක් ද? සෙසු සතුනට වඩා උසස් වූ මනසක් ඇති බැවින් ‘මනුස්ස’ යනුවෙන්
හැඳින්වේ. මනුෂ්‍යයන් වූ අප සතුව විවිධ වූ හැකියාවන් ඇත. කියවම, ලිවීම, භාෂා
භාවිතය, ගායනය, රංගනය, අදහස් හා හැඟීම් පළකිරීම ආදිය ඒ අතර වේ.
මෙවන් හැකියා සමුදායකින් සැදුම් ලද්දා වූ අපේ මිනිස් සමාජය තුළ යහපත් වූ සිත්
ඇත්තන් සේ කටයුතු කරන පිරිස ඉතා සීමිත ය. එසේ නම් ඔබේත්, මගේත් වගකීම කුමක්දැයි
සිතා බැලීම වටී.
ඒ අනුව අප ‘සිත’ පිළිබඳ ලුහුඬින් හෝ සිත යොමු කළ යුතු ය. අපගේ බාහිර දියුණුවත් සමඟ
අභ්‍යන්තර දියුණුව ද ප්‍රදර්ශනය වන්නේ නම් එය සමාජ ප්‍රගමනයට ඉමහත් පිටු බලයක්
වන්නේ ය. ඒ සඳහා අප මෙහෙයවනු ලබන්නේ අපේ සිත විසිනි.
මිනිස් සිත පිළිබඳ ඉතා සියුම් වූ ද, පරිපූර්ණ වූ ද විග්‍රහය කරන ලද්දේ බුදුපියාණන්
වහන්සේ විසිනි.
‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන ගාථා පාඨය ඊට සාක්ෂි දරයි. “දූරං ගමං ඒක චරං” අසරීරං
ගුහාසයං” යන්නෙන් අපේ සිත ඉතා මැනවින් විග්‍රහ කෙරේ.
මෙවන් සිතක් ඇති අපි තනි තනිව මෙලොව එළිය දකින්නෙමු. එහෙත් අප සතු රංචු ලැදියාව
සිඳලිය නොහැක. විවිධ වූ විෂමතා සහිත සමාජය තුළ එහි පැවැත්මට උපකාරි වන ගුණ ධර්ම රැක
ගැනීමට අපට උපකාරි වන්නේ නිර්මල වූ බුදු දහම යි. එබැවින් අප උනන්දු විය යුත්තේ එහි
මඟ පෙන්වීම් මත සිත හැඩගස්වා ගැනීමට ය. ඒ අනුව පිවිතුරු සමාජයක් ගොඩනැඟීම සඳහා
සෙස්සන්ට ද උදව් කළ යුතු ය. බුදු හිමියන් නිසි මඟ පෙන්වා තිබිය දී බොහෝ දෙනකු
අකීකරු වූ සිතට රිසි වූ පරිදි පංචේන්ද්‍රියන් ඔස්සේ ආශාවන් පසු පස හඹාගොස් අවසානයේ
අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බව පැහැදිලි ය.
ඒ තත්ත්වයට පත් වූ ඇතැමෙක් ගැටුම් හා කලකෝලාහලවලට ඇදී යති. සමහරෙක් සිය දිවි නසා
ගනිති. බොහෝ පිරිසක් මානසික රෝහල්වල කල් ගෙවති. අපේ අවධානය මේ පිළිබඳ යොමු විය යුතු
ය.
‘සබ්බේ පෘථජ්ජනා උන්මත්තකා” යන්න ද අප ගැන කෙරෙන එක්තරා විග්‍රහයකි. එහෙත් අප
හැකිතාක් කල්පනාවට ගතයුත්තේ මිනිස් ගුණාංග පිළිබිඹු වන සේ හැසිරීමට වග බලා
ගැනීමටයි. බෞද්ධ ඉගැන්වීම් ගුරු කොට ගනිමින් ඉතා යහපත් වූ මානසිකත්වයක් ඇත්තවුන් සේ
කටයුතු කිරීමට නිරතුරුව ම දරන උත්සාහය නිසා සමාජය ද කෙමෙන් යහපත් වනු ඇත.
ආශාවන් ඉටු නොවීමෙන් වන කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, අනියත බිය සැක ආදිය ඇති කරගෙන ජීවිත
අඳුරට යෑම වළක්වා ගැනීම සඳහා උපාධානයෙන් මිදී සැහැල්ලු බවට පත් වෙමු. බණ දහමින්
සකසා ගත් ජීවිත ඇති නම් පසිඳුරන් අසීමිත ලෙස පිනවීමේ නැඹුරුවෙන් ඈත්වීම අපහසු නැත.
උට්ඨාන වීර්යය වඩා ජීවිත හරවත් කර ගැනීමේ වගකීම පැවරෙන්නේ අපට ම ය.
පන්සිල් සුරකින සමාජයක් ගොඩනැඟීම සඳහා අප සෑම කෙනාම දායක වන්නේ නම් එය මුළු මහත්
සමාජය වෙනුවෙන් කෙරෙන අගනා මෙහෙයකි. අප එදිනෙදා මුහුණ දෙන විවිධාකාර වූ කායික
මානසික වේදනා අබියස නොසැලී– නොතැවී සිටීමේ ශක්තිය දෙන මහා ඖෂධය, බුදු දහමේ ඉගැන්වෙන
“උපේක්ෂාව යි.”
“ලාභෝ අලාභෝ අයසෝ යසෝච” යනාදී වශයෙන් එය විස්තර වී ඇත. ජීවන ගැටලු ඉදිරියේ හීන
මානයෙන් මිදී “මට වඩා අසනීප, කරදර, බාධා අඩුලුහුඬුකම් ඇති අය තව කොතරම් වෙත් දැයි
සිතීම සුදුසුම විසඳුම යි. ඒ නිසා හිතුමතේ ක්‍රියා කිරීම පසෙකලා හොඳින් සිතා මතා
විමසා තීරණවලට එළඹිය යුතු ය. ඔබ කුමන වයසක පසුවන, කිනම් තරාතිරමකට අයත් වූවකු වුව ද
ජීවිතයේ විවිධ අවස්ථාවල දී අහිමි වූ දේ ගැන සිතමින් කම්පා වූ අවස්ථා ඇත. අනුන්ගේ
වදන්වලින් සිත රිදවාගෙන ඇත. දැනුදු එවන් තත්ත්වයක පසුවෙනවා ඇත. එහෙත් මෙවැනි සිත්
වේදනා, බාධක, පසුබෑම් ආදී අභියෝග ඉදිරියේ බුදුදහම කල්පනාවට ගනිමු.
අතිශයන් සංකීර්ණ වූ වත්මන් සමාජය තුළ ‘මිනිස්කම’ රැකගෙන කටයුතු කළ යුතු සැටි එවිට
අවබෝධ වනු ඇත.
කුඩා ම සමාජ ඒකකය තුළ දරුමල්ලන් තනා යුතුකම් ඉටු කළ මව්පියවරු ඇතැමෙක් සැප විඳිති.
යහපත් ලෙස හැදුණු වැඩුණු දරුවන් ද සිය යුතුකම් නො පිරිහෙළා ඉටුකිරීම ඊට හේතුවයි.
එසේම තම ශක්ති ප්‍රමාණයෙන් වෙහෙස මහන්සි වී ගේ දොර තනා දරුවන් හැදූ වැඩූ ඇතැම්
දෙමාපියෝ අසරණව කල් ගෙවති. එබැවින් යුතුකම් තුට්ටුවකට මායිම් නො කරන්නන් ද වෙසෙන
සමාජය දෙස උපේක්ෂාවෙන් ම බලා අපි නිවැරැදි මඟ තෝරා ගනිමු.
සිඟාලෝවාද සූත්‍රය හදාරමු. ඒ අනුව කටයුතු කරන විට යුතුකම් සපිරිණු සමාජයක් ඉබේම
නිර්මාණය වනු ඇත. ඒ අතර “ලද සැප හෝ නොලද සැප” ගැන කල්පනාවේ යෙදෙමින් උද්දාමයට හෝ
කණස්සල්ලට හෝ පත් නොවීමට උත්සාහ කරමු.
වැරැදි ඌනතා අතපසුවීම් ගැන සිතමින් සිත රිදවා ගන්නවාට වඩා ඒවා සිදු නොවන සේ කටයුතු
කිරීමට අද සිට ම උත්සාහ කිරීම වඩාත් සුදුසු ය. “එකෙන භොගෙ භුඤ්ජෙය්‍ය – ද්වීහි
කම්මං පයොජයෙ” යනාදි වශයෙන් වූ බුද්ධ දේශනාව තම ජීවිතයට ගුරු කොට ගත්තේ නම්
සැනසිල්ල ළඟා වනු ඇත. එබැවින් ඔබේත් මගේත් ඉදිරි ජීවිත කාලය කොපමණ දැයි ගණනය නොකර ඒ
බුද්ධාවවාදය අනුව කටයුතු කරමු.
දක්ෂ බව, අවංකත්වය, නිරහංකාර බව, සරල ගති පැවතුම් හා සැමට මෙත් වැඩීමේ අගය කරණීය
මෙත්ත සූත්‍රයෙන් පැහැදිලි වේ. මෙවැනි සූත්‍ර දේශනාවන්හි ඇතුළත් සරල ඉගැන්වීම්
අනුගමනය කිරීමෙන් සමාජයට යහපත ම උදා වනු ඇත.
මෙරට අතීතයේ විසූ ගිහි පැවිදි පඬිවරුන් ගැන අපි මොහොතක් සිත යොමු කරමු. ඔවුන් තම
යුතුකම් හා වගකීම් වටහා ගෙන තුන් කල්හි ම වෙසෙන අප වැන්නවුන් යහමඟට හැරවීම සඳහා දරා
ඇති වෑයම ඉතා ප්‍රශංසනීය වේ. ලෝ වැඩ සඟරාව, ලෝකෝපකාරය, සුභාෂිතය, සිරිත් මල්දම වැනි
ග්‍රන්ථ පරිහරණය කරන විට ඒ බව ප්‍රත්‍යක්ෂ වේ.
හුදෙක් බාහිර දියුණුවට වැඩි නැඹුරුවක් දක්වන වත්මන් සමාජයේ ළමා, තරුණ, වැඩිහිටි ඔබ
අප සැමට ඒ ග්‍රන්ථ නිරන්තර භාවිතය සඳහා කටයුතු යෙදීමේ ක්‍රමවේදයක් වේ නම් ඉතා
මැනවි.
“කාලා රස මුසු භෝජන කර පෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්
ලාලා අබරණ නිසි ලෙස සැරහුම්
පාලා ගිය වැනි බහු රූ කෝලම්”
යන පැදියෙන් පෙන්වා දී ඇත්තේ නිරර්ථක ඇගයීම් හිස මත රඳවා ගත් සමාජයේ ස්වභාවය යි.
මෙය වත්මන් අප දෙස බලා රචනා කළ ග්‍රන්ථයක් වැනිය.
පරෝපකාරය, සත්‍ය වචන භාවිතය, වරදට සමාව දීම, අනෙකාගේ දියුණුව දැක සතුටුවීම වැනි
යහගුණ කුඩා අවධියේ සිට ම අපගේ ජීවිතයට සම්බන්ධ කර ගත් විට අසහනයෙන් තොර සමාජයක්
පහසුවෙන්ම ගොඩනැඟේ.
සාරධර්ම රැදුණු සමාජයක් සැකසීමේ හැකියාව අප ලබන්නේ ඉහත ගුණාංග දියුණු කර ගත් විට ය.
සුවිසල් වූ මහත් ගොඩනැඟිලිවල, සුඛෝපභෝගී වාහන ආදිය තුළින් බොහෝවිට අසන්නටත්,
දකින්නටත් ලැබෙන්නේ අසමගියේ හා වෛරයේ දෝංකාරය ම නොවේදැයි සොයා බලන්න. ඒ සියල්ල
මෛත්‍රී ජලයෙන් සෝදා හැරීමට උදව් වන්නේ අපගේ සිත ම ය.
අප හා බැඳී ඇති ජාති, ජරා, මරණ ආදියට මෙන්ම විවිධ වූ ස්වභාවික විපත්වලට මුහුණදීමට
අපට සිදුවේ. අප ඉපදුණේ ද, මිය යන්නේ ද අපේ ඕනෑකමට අනුව නොවේ. ලෝක ධර්මතාවලට
යටත්වීමට අපට සිදුවේ. මේ බව දන්නා අප ජීවත්වන කාලය තුළ ගුණ පිරි සැපවත් හා අර්ථවත්
දිවි පෙවෙතක් හිමිකර ගැනීමට වෑයම් කළ යුතු වේ. ඒ හිමිකම අනෙකාට ද ඇති බව තරයේ ම
සිහි තබා ගත යුතු ය.
පාලකයන්, පෝසතුන්, අසල්වාසීන් ආදී පිරිස් කෙරේ අප තුළ කවර හෝ වෛරයක් නොකැමැත්තක් වේ
නම් අප සිත ද කිලිටි වී ඇත. එවිට අපේ ඉදිරි ගමන් මඟ වැසී යන්නේ ය.
මවුපියන්ට සේ ම මව්බිමට ද ආදරය කළ යුතු ය. අතීතයේ මෙරට නතු කර ගෙන සිටි යුරෝපීන්ට
වෛර කිරීමෙන් වුව ද ඔබටත් මටත් අත්වන සෙතක් නැත. එබැවින් අප සිත යොමු කළ යුත්තේ සෑම
අයකුම සතු යහපත් ගති ගුණාංග කෙරෙහි ම ය. එය අපගේ කායික මානසික සෞඛ්‍යයට හිතකර වේ.
සිත ආශාවන්ගෙන් පුරවා ගෙන ජීවත්වීමට වෙර දැරූ අයට අත් වූ ඉරණම සෝචනීය ය. හිට්ලර්,
මුසෝලිනී වැන්නෝ ද ඒ බව අපට පෙන්වා දෙති.
එබැවින් අප කා තුළත් වැරැදි ඇති හෙයින් ඒවා ක්‍රමයෙන් නිවැරැදි කර ගැනීමට ‘සිත’
මෙහෙයවීම ප්‍රමුඛ වගකීමකි. සැමට හිත සුව පිණිස එදිනෙදා ජීවන ක්‍රියාකාරකම් හැඩගස්වා
ගැනීමට අද පටන් තවදුරටත් අදිටන් කර ගනිමු. පොදු අභිවෘද්ධිය තුළින් පෞද්ගලික දියුණුව
උදා කර ගැනීම වඩාත් හිතකර වේ. ලොව අන් සියලුම ආගමිකයන් සමඟ සහජීවනයෙන් යුතුව
මෛත්‍රිය, උට්ඨාන වීර්යය, තෘප්තිමත් බව ආදිය රජයන සමාජයක් තැනීම සඳහා මේ දහම්
දිවයිනේ උපත ලද අපි ‘සිත’ සකස් කර ගනිමු.
‘සිත සැම දෙයට වැඩියෙන් මුල් තැන
ගන්නේ
සිත කෙලෙසුණු කලට නපුරකි සිදු
වන්නේ
සිත සවි නැතොත් අරමුණු නැත ඉටු
වන්නේ
සිත සකසා ගනිමු දෙලොව ම ජය
වෙන්නේ” |