Print this Article


ගුණදම් දුරුකරන ප්‍රීතිය වනසන පව් ආකරයක ස්වභාවය

ගුණදම් දුරුකරන ප්‍රීතිය වනසන පව් ආකරයක ස්වභාවය

සංසාරය අතිභයානක ය. දුකින් පිරුණකි. ඒ සසරේ යන ඇතැම් මිනිසුන් තව තවත් පාපකර්ම තර කර ගනිති.

ධම්ම පීති සුඛං සේති

ධර්මය සේවනය කරන්නා සුව සේ වසයි යනුවෙන් ධර්මයේ උගන්වා තිබේ. සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් භෝග විනාශ මුඛ හයෙන් පළමුවැන්න ලෙසින් “සුරාපානය” පෙන්වා දී තිබේ.

සුරාව යනු විවිධ ද්‍රව්‍ය වතුර සමඟ එකතු කොට පල්කර සාදා ගන්නා යුෂ වර්ගයන් ය. “මජ්ජ” නම් මත්වීම යි. “පමා” නම් අසිහිය යි. මිනිස්කම, බෞද්ධකම, ස්ත්‍රී පුරුෂකම ආදී සියලු සත්වයන් අමතක වීම, නොසලකා හැරීම සුරාවෙන් සිදුවෙයි. රා, අරක්කු, ගංජා, අබිං, බියර් , හෙරොයින්, මරිජුවානා, අයිස්, කසිප්පු ආදි නම්වලින් හැඳින්වෙන සියල්ල මෙන්ම නානාවිධ දුම්වැටි ද මෙයට අයත් ය. මේවා සියල්ල මදයට ප්‍රමාදයට හේතු වේ.

ගිහියාගේ නිත්‍ය සීලය වන පන්සිල් පද පහෙන් සුරාපානයෙන් වැළකීම බුදුහිමි වදාළේ එහි ඇති අනර්ථය නිසා ම ය. දරුණු විෂැති සර්පයකු සේ සලකා නුවණැත්තෝ ඉන් ඈත් වෙති.

ලෝකයෙහි තිබෙන මහා විෂක් බඳු මෙම මත්වතුර බොන්නට මිනිස්සු පෙළඹෙන්නේ කුමක් නිසා ද? එය ඇබ්බැහි වීමකි. ලොල්වීමකි. තමාගේ කුමන හෝ දුර්වලතාවයක් වසා ගැනීමට දරන උත්සාහයෙකි. ප්‍රශ්නවලින් පැනයාමට සහ වගකීම්වලින් පහසුවෙන් පැනයාමට බොහෝ අය සුරාවට යොමුවී ඇත. නමුත් දුර්ලභව ලබාගත් මනුෂ්‍ය උපතට කරන බලවත් වරදක් බව ඔවුහු වටහා නො ගැනීම අනාවරාග්‍ර සසර ම අඳුරු කර ගැනීමකි.

මෙලොව අයහපතටත්, පරලොව අයහපතටත් හේතු වන රහමෙර පානය ඇතැම් බෞද්ධ යැයි කියාගන්නා අයගේ ද ප්‍රධාන පානයක් වී තිබීම බලවත් කනගාටුවට කරුණකි. පස් පවෙන් එක් පවක් ලෙසින් මෙය සැලකෙයි. වෛද්‍ය මතය මත්වතුර, මත්ද්‍රව්‍ය ශරීරයට අහිතකර බවයි. බුදුරජාණන් වහන්සේ විසින් මත්වතුර පානය කිරීම නොකළ යුතු දෙයක් ලෙසින් වදාරා ඇත.

ධනය හීනවීම, කල කෝලාහල ඇතිවීම, අපරාධ බහුලවීම, මානසික රෝග හටගැනීම, අන්‍යයන්ගේ අවමානයට ලක්වීම, ලජ්ජා භය නැතිවීම, නුවණ දුර්වලවීම, ශරීර ශක්තිය පිරිහීම, ඉන්ද්‍රියන් දුර්වලවීම, ලිංගික බෙලහීනතාවට පත්වීම, තරුණ වියේ දී ම මහලු බව ප්‍රදර්ශනය වීම ආදිය සුරාපානයේ මෙලොව ආදිනවයෝ වෙති.

“මජ්ජපානාච සඤ්ඤමෝ” යනුවෙන් මත්පැනින් වැළකීම දෙලොව දියුණුවට හේතුවන මංගල කරුණක් ලෙස මංගල සූත්‍රයේ දැක්වේ. මත්පැනට යොමුවීම දෙලොව පිරිහෙන කරුණක් ලෙස පරාභව සූත්‍රයේ පෙන්වා දී ඇත.

විදේශ ආධිපත්‍යයට පෙර මෙරට වැසියන් බේබදුකමට නැඹුරු වී සිටියේ නැත. යටත්විජිත බවින් උරුම වූයේ බහුතර ජනතාවක් සුරාවට, මත්ද්‍රව්‍යවලට යොමුවීමයි. එනිසාම ආගම, සංස්කෘතිය,මනුෂ්‍යත්වයට නො ගැළපෙන බේබදු පරපුරක් රට තුළ නිර්මාණය විය.

ගමකට සුරාවයි මස් කඩයයි දෙකම
ඇත්නම් එයින් සිදුවන දුසිරිත් බොහොම
රහතන් වහන්සේ දෙසුවත් දහම
ඒ ගම දුසිරිතෙන් වළකන්නේ කොහොම

මත් වතුර නිසා මොළයේ ඇති සියුම් ස්නායු අඩපණ වන අතර වේදනා තාවකාලිකව පහ වී යයි. එහි ආදීනව තමාට දරුණූු සෞඛ්‍ය ආබාධ මතුකරයි. ආමාශයේ දුර්වලතා ඇතිවන අතර, ආමාශගත රෝග ඇති වෙයි. අම්ල පිත්තය ඇතිවෙයි. වමනය පිටකරයි. ආහාර ජීර්ණ පද්ධතිය බිඳ වැටෙයි. ආහාර දිරවීම දුර්වල කරයි. උගුරේ පපුවේ, අක්මාවේ පෙනහල්ලේ, ආමාශයේ වකුගඩුවල නොයෙකුත් රෝග ඇති කරයි. භයානක මානසික රෝග ආබාධ ඇති වෙයි. තමා ගැන ඇති සැලකිල්ල අඩුවෙයි. ආත්ම දමනය නැතිවී යළි යළිත් මත්වතුරටම ගිජුවෙමින් ආත්ම ගරුත්වය නැතිකර ගනියි. ස්නායු ශක්තිය හීන වී යයි. ශරීර ශක්තිය අඩුවී හිරිවැටීම් ඇතිවී, ශරීරයේ ඉන්ද්‍රියන් පණ නැති වෙයි. ප්‍රතිපත්ති ගරුකව ගරු නම්බු ඇතිව ජීවත්වීම අහෝසි වෙයි. අන්ධභාවය, විටමින් හිඟවීම, ඇතිවෙයි.

ගේදොර වැඩ නො තකයි. අන්ත දුගී බවට පත්වෙයි. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් අමතක කරයි. අකල් මරණවලට ගොදුරු වෙයි. සුරාපානය කරන අයට ආත්ම විශ්වාසයක් නැත. ආත්ම ධෛර්යක් ද නැත. ප්‍රශ්නවලට තනිව එඩිතරව මුහුණ දිය නොහැකි ය.

ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය බුදුදහමට අනුව ඉතා වැදගත් ය. විලිබිය නසන සියලු සත් ගුණ දුරු කරන, පී‍්‍රතිය නසාලන සුරාවට අද පුරුෂයන් පමණක් නොව වනිතාවන් ද පුරුදුව සිටීම ඉතා කනගාටුදායක ය.

අඥානයෝ මත්වතුර නිසා නොයෙක් පව් කරත්. අන්‍යයන් ද ප්‍රමාද වූවන් කරත්. මනුෂ්‍යයන් උමතු කරවන්නා වූ, මුළා කරවන්නා වූ, අඥානයින් විසින් කැමති වන සුරාව නැමති පව් ආකරය දුරු කළ යුතු ය. මෙලොව පමණක් නොව පරලොවට ද සුරාපානය අයහපත ඇති කරයි.

සිත පී‍්‍රතියෙන් තබා ගැනීම අත්‍යවශ්‍ය ය. සුරාව එයට බාධාවකි. පී‍්‍රතිමත් ජීවිතයකට මඟ සිත පී‍්‍රතියෙන් තබාගෙන කටයුතු කිරීමයි. සිත වික්ෂිප්ත භාවයට පත් කරවමින්, කරුණා මෛත්‍රි ගුණාංග දුරුකර ගෙන තමන්ටත් අනුන්ටත් අවැඩදායි වන සුරාව ලාංකීය අපි පිටුදැකිය යුතු දෙයකි.

මිහිඳු මාහිමියන් වහන්සේ විසින් දේශිත ධර්මයට අනුකූලව හික්මී තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය පිණිස ඉවහල් වන ගුණධර්ම දියුණු කළ යුතු ය. නිරර්ථක, අනාර්ය වූ, ම්ලේච්ඡ වූ පව්කම් කරමින්, අනන්ත වූ දුක්විඳිමින් පිරිහෙමින් සසර දිගු කර ගැනීමේ භයානකකම ගැන අපි සිතිය යුතුවෙමු.

අප මෙලොව උපත ලැබුවේ අලසකමින් කාලය කා දමමින් සමාජයට බරක් වී ජීවත්වීම පිණිස නොව, කිසියම් යහපත් සේවයක් ඉටුකිරීම සඳහා ය. අප සෑම විටම සිතිය යුත්තේ වඩ වඩාත් යහපත් වීමට ය. ප්‍රඥාව දියුණු කර ගැනීමට ය. එසේ නොකළහොත් අප අපේ පින් බලයෙන් ලබා ඇති මෙම මිනිසත්බව නිස්කාරනේ අපතේ හැරියා වන්නේ ය.

එනිසා අප වහාම පියවර ගත යුත්තේ දැන් අප සිටින තත්ත්වයෙන් පහළ නො වැටීමට වග බලා ගැනීමට ය. මේ සඳහා ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ලැබියා යුතුවා සේ ම, අපේ ජීවිතවල නියමුවන් ද අපම බව තේරුම් ගත යුතු ය. දුගතියට පත්වීම වළක්වාලීමට සෑම පියවරක් ම ගත යුතු අතර, ඒ සඳහා ධර්මානාකූලව ජීවිතය සකසා ගත යුතු ය.

ජය ගත හැකිය කෙනකුට
දහසක් දෙනා, දහස් වාරයක් යුද්ධයේ දී
එනමුදු දිනන්නන් අතර ප්‍රමුඛයා නම්
තමන් ජය ගන්නා පුද්ගලයා ම වේ

අපට, අපි ව ජය ගත හැකි නම් අන් අය අප කෙරෙහි පැහැදී අපට ගෞරව කරනු ඇත. බුදුරජාණන් වහන්සේ ද කළේ පළමුව තමන් වහන්සේ ජය ගැනීම ය. ඉන් අනතුරුව මෛත්‍රිය, කරුණාව, ප්‍රඥාව මඟින් සියලු ලෝකයම ජය ගත් සේක. බෞද්ධ අබෞද්ධ සෑම දෙනා ම උන්වහන්සේට ගරු කරන්නේ මේ හේතුව නිසා ය.