Print this Article


ස්වර්ණමාලි මහා සෑ රද වර්ණනා

ස්වර්ණමාලි මහා සෑ රද වර්ණනා

රුවන්වැලි සෑ රදුන් තැනවීම දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රධානතම ශාසනික සේවාව ලෙසින් මහාවංසය ඇතුළු වංශකතාවන්හි පරිච්ඡේද ගණනාවක් ම වෙන් කරමින් සම්භාවනාවට පත් කොට ඇත.

කුරුණෑගල රාජධානි සමයෙහි සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් ථූපවංසය රචනා කරන ලද්දේ රුවන්වැලි චෛත්‍ය කර්මාන්තය වර්ණනා කිරීම පිණිස ය. මෙම සියලු මූලාශ්‍රයන්ට අනුව රුවන්වැලි මහා සෑ රදුන් ගේ වැඩ ආරම්භ කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනක දී වන අතර මුල් ගල් පිහිටුවීම ඇසළ පොහෝ දින සිදු කොට ඇත.

බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වීම, ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතූන් වහන්සේ අතුරින් එක් තැනක පිහිටි වැඩිම ධාතු ප්‍රමාණය වූ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑයේ වැඩ සිටීම, අනාගත කාලයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මෙලොවින් අන්තර්ධාන වන අවස්ථාවෙහි ධාතු පරිනිර්වාණය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී සිදු වීම යන කරුණු නිසා රුවන්වැලිසෑය අන්‍ය ස්තූපයන්ට වඩා වැදගත්කමකින් යුත් ස්තූපයක් ලෙසින් පුද පූජාවන්ට පත්වෙයි.

“ගෞතම බුදු සසුනට වසර පන්දහසක් කල් සම්පූර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මහියංගනය, කැලණිය, දීඝවාපිය, සේරුවිල, ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ඇතුළු ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ අහසට පැන නැඟී අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවැති පහන් එදින නිවී යයි. එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේ අහසට පැන නැඟී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති...” යනාදී වශයෙන් සුමංගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය ආදී ග්‍රන්ථ ධාතු පරිනිර්වාණයේ දී රුවන්වැලි සෑ රදුන් වහන්සේට හිමි වන වැදගත්කම පෙන්වා දෙයි.

රුවන්වැලි සෑය හා සබැඳෙන ස්වර්ණමාලි දෙවඟන පිළිබඳ කතා පුවත මහාවංසය, වංසත්ථප්පකාසිනිය යන මූලාශ්‍රයන්හි සඳහන් නොවන බව ද සඳහන් කළ යුතු ය. මුල් අවදියෙහි රියන් එකසිය විස්සක් වූ රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේ මහාථූපය යන ගෞරවාභිධානයෙන් හැඳීන්වෙන්නේ විශාලත්වය පමණක් නොව මෙම සුවිශේෂී වැදගත්කම් ද සැලකිල්ලට ගනිමිනි.

මහින්දාගමනයෙන් පසු මහමෙවුනා උයනේ අනාගත කාලයේ පූජනීය ගොඩනැඟිලි පිහිටුවන ස්ථාන වෙත දේවානම්පියතිස්ස රජතුමා කැඳවාගෙන යාමට මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළහ. මහාසෑය පිහිටුවන ස්ථානය කරා වැඩම වූ පුවත මහාවංසය ආදී මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත්තේ මෙසේ ය.

රජුගේ උයනේ කකුධ නම් වූ වැව සමීපයෙහි සෑයක් පිහිටුවීමට සුදුසු උස් බිමක් විය. එතැනට වැඩි මිහිඳු මහරහතන් වහන්සේට රජුගෙන් සපුමල් මිටක් ලැබුණි. මිහිඳු මහරහතන් වහන්සේ ඒ සපුමලින් එම ස්ථානය පිදූ කල මහ පොළොව කම්පා විය. රජතුමා ඊට කරුණු විමසූ කල්හි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පෙර බුදුවරුන්ගේ කතා පුවත් දක්වමින් පෙර බුදුවරුන් සමයේ පූජාවන්ට පත්වූ මෙම බිමෙහි අනාගත කාලයෙහි සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් නිදන් කොට එකසිය විසිරියන් උසැති ස්වර්ණමාලි මහා සෑය බඳවන බවට දක්වා සිටි සේක.

එකල්හි දේවානම්පියතිස්ස රජතුමා එහි වැඩ ඇරඹීමට ඉදිරිපත් වූ කල්හි ඔබතුමා කළ යුතු අන්‍ය පින්කම් ඇතැයි පවසා එය ඔබ මුණුපුරු දුටුගැමුණු මහරජු විසින් කරවන්නේ යැයි පැවසූහ. ඒ අසා සතුටු වූ දේවානම්පියතිස්ස මහරජතුමා දොළොස් රියන් සෙල් ටැඹක් ගෙන එපවත සඳහන් කොට සෙල් ලිපියක් පිහිටුවීය. එමෙන්ම රන්පතක් තුළ මෙම පුවත සඳහන් කර එය රන් කරඬුවක බහා රජ මාලිගයේ තැන්පත් කරවීය.

රුපුන් දිනා ත්‍රිසිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා මිරිසවැටිය, ලෝවාමහාපාය ආදී පූජනීය ස්ථාන තනවමින් ලෝක ශාසනික අර්ථචර්යාවන් පුරමින් සිටින අතරතුර ලක්ෂයක් වියදම් කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා මහා බෝධි පූජාවක් සිදු කළේ ය. දේවානම්පියතිස්ස රජතුමා පිහිටුවන ලද සෙල් ටැඹ දැක මහා සෑය තැනවීමට සිතමින් සිටින අවධියෙහි එළාර රජු ප්‍රමුඛ සතුරන්ගෙන් පීඩා විඳී රටවැසියන් නැවතත් පීඩාවට පත් නොකොට චෛත්‍ය කර්මාන්තය කෙසේ නම් සිදු කරම් දැයි සිතන්නට විය.

රජුගේ සිතිවිලි දුටු සේසතෙහි වසන දේවතාවිය එපුවත් කාමාවචර දෙවියන්ට සැළ කිරීමෙන් පසු ශක්‍ර දේවේන්ද්‍රයාගේ අණින් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා විසින් අනුරාධපුරයට යොදුනක් දුරින් ගම්භීර නදිය (කනදරා ඔය) සමීපයෙහි පෙර බුදුවරුන්ගේ මහා ථූපයන්ට ගඩොල් පහළ වූ ස්ථානයෙහි ගඩොල් මවාලීය. අලුයම් කාලයෙහි සුනඛයන් සමඟ වනයට වැදි වැද්දකු දුටු භූමාටු දේවතාවකු තලගොයි වෙසක් මවාගෙන සුනඛයන් ගඩොළු ගොඩ දෙසට යොමු කෙරීය. වැද්දාගේ දැන්වීමෙන් දුටුගැමුණු මහ රජතුමාට චෛත්‍යය කර්මාන්තයට අවැසි ගඩොල් සපිරිණි.

අනුරාධපුරයෙන් ඊසාන දිග යොදුන් තුනක් දුරින් ආචාරවීදි නම් ග්‍රාමයේ රත්තරන් ද, නුවරට නැඟෙනහිරින් සත් යොදුනක් දුරින් වූ තඹවිට ග්‍රාමයෙහි තඹ ලෝහය ද, නුවරට ගිණිකොන දෙසින් සතර යොදුනක් දුරින් සමන් වැව් ගම මැණික් ද පහළ වුණි.

අනුරාධපුරයට දකුණෙන් යොදුන් අටක් දුරෙන් අම්බට්ඨකොළ නම් දනවුවෙහි ලෙනක රිදී පහළ විය. රිදී පහළ වූ මෙම ලෙන වර්තමානයෙහි කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම පිහිටි ඓතිහාසික රිදී විහාරය බැව් පිළිගැනීමයි. නුවරට බටහිර දෙසින් යොදුනක් දුරින් උරුවෙල් දනව්වට මුහුදේ සිට මුතු පබළු ගසාගෙන විත් තිබුණි. නගරයෙන් උතුරු දෙස සත් යොදුනක් දුරින් පෙළවැව්ව නම් ගම අගනා මිණිරුවන් සතරක් පහළ විය. රටවාසීහු මෙම සම්පත් රජතුමා වෙත දැන්වීමෙන් රුවන්වැලි මහ සෑ රදුන් වෙත අවැසි වස්තු සම්පත් සපිරිණි.

අවශ්‍ය සම්පත් සාධනය වූ කල්හි වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයෙහි විසා නැකතින් ස්තූප කර්මාන්තය ආරම්භ කෙරුණි. භූමිකම්පා ආදී උවදුරුවලින් මතු කාලයෙහි සිදුවිය හැකි උවදුරු මඩනු පිණිස පෙර කාලයෙහි දේවානම්පියතිස්ස රජු සිට වූ සෙල් ටැඹ ඉවත් කොට මහත් බල ඇති යෝධයන් ලවා සත්රියන් ගැඹුරට බිම සුද්ද කරවා ඇතුන් ලවා සමතලා කරවීය.

ඇතුන් ලවා සමතලා කොට ඝන බවට පත් බිමෙහි නවනීත නම් මැටි අතුරවාලීය.

අනෝතත්ත විලෙන් ඇරඹුණු සැට යොදුනක් පමණ දික් වූ ආකාශ ගංගාවෙන් වැටුණු දිය බිඳු වැටී තින්නසිසකොළ නම් ප්‍රදේශයක නිරතුරු තෙත් වූ වෙඬරු පිඬක් මෙන් මෙලෙක් වූ සියුම් මැටි හටගත් බවත් එම මැටි නවනීත මැටි නම් වූ බව වංසත්ථප්පකාසිනී නම් වූ මහාවංස ටීකාව සඳහන් කරයි. අරිහත් ඵලයට පත් සාමණේර හිමිවරු නවනීත මැටි රැගෙන ආ බව කියැවෙයි.

එම නවනීත මැටි මත්තෙහි ගල් තට්ටුවක් ද ඒ මත බොරළු තට්ටුවක් ද බොරළු මත හිමාලයෙන් සාමණේර හිමිවරුන් රැගෙන ආ පළිඟු ගල් ද ඇතිරවීය. ගල් අතර බදාමය වශයෙන් නවනීත මැටි ම යෙදුණි. ගල් තට්ටුව මත රසදියෙහි බහා මුසු කරන ලද දිවුල් ලාටුවලින් යුත් ගණකමින් යුත් රිදී තහඩුවක් පිහිටුවීය. මෙසේ වෙසක් පොහෝ දින පටන් දෙ මසකට ආසන්න කාලයක් බිම් සැකසීම් සිදු කොට ඇසළ මස පුර පසළොස්වක් දින මහා සෑයේ මඟුල් ගල් පිහිටුවන බව මහා මහ සඟරුවන වෙත රජතුමා දන්වා සිටියේ ය.

ඇසළ පොහෝ දින සිදුවූ රුවන්වැලිසෑයෙහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිරිලක් ඉතිහාසයේ පැවැති අතිශය විචිත්‍රවත් ම පුණ්‍යෙීත්සවය ලෙසින් මහාවංසය ඇතුළු මූලාශ්‍රයන්හි විස්තර කොට තිබේ.

මෙම ලිපියේ ඉතිරි කොටස අධි ඇසළ අව අටවක (10) පෝදා අන්තර් ජාල කලාපයේ පළවේ