Print this Article


තම්බසුමන තෙරුන් වහන්සේ ගැන රජු නොසතුටු වෙයි

 තම්බසුමන තෙරුන් වහන්සේ ගැන රජු නොසතුටු වෙයි

පෙර ශ්‍රී ලංකාව රහතන් වහන්සේගෙන් පිරී ඉතිරී ගිය බෞද්ධ රටක්. අනුරාධපුර රාජධානිය තිබුණ කාලේ තමයි රහතන් වහන්සේ වැඩි වශයෙන් ම වැඩ සිටියේ. මිනිස්සු දන් දෙන්න, සිල් රකින්න, බණ අහන්න බොහෝම ප්‍රිය බවක් තමයි දැක්වූයේ.

ධනවතුන්, රජවරුන්, මැති ඇමතිවරුන් වගේම සාමාන්‍ය ජනයාත් බොහොම කැමැත්තෙන් දන් දුන්නා. මිනිස්සු කරන පින්කම් දිහා බලාගෙන ඉන්න විතරයි සිදු වුණේ, එක් දුප්පත් කම්මල්කාරයකුට.

ඔහුට වැඩ ලැබුණත් ගන්නා මුදලින් අඹුදරුවන් වගේම දෙමාපියන් පෝෂණය කරන්න වියදම් කරන්න සිද්ධ වුණා. වෙනදාට ලැබෙන ආදායමට වඩා දවසක් මේ දක්ෂ කම්මල්කාරයාට ලැබුණා. ගිතෙල් කළයක් සහ ඇල්හාල් ගෝනියක්. තමන්ගේ අදහස අද ඉෂ්ට කර ගන්න පුළුවන් බව දැනගෙන බොහොම සතුටට පත් වෙලා ගිතෙල් කළයත්, ඇල්හාල් ගෝනියත් කරේ තියාගෙන ගමේ විහාරයට ගොඩවෙලා සාංඝික කරලා පූජා කර ගත්තා.

එදායින් පස්සේ මේ කම්මල්කරුවාට අවස්ථාවක් ලැබුණේ නෑ. ආයෙත් දන් දීලා පින් කර ගන්න. අඹුදරුවන්ගේ කරදර මැද දුක සේ ජීවත් වෙලා ඒ ආත්මයෙන් සමු ගත්තා. පින්කමේ විපාකය නම් එයා පස්සෙම ගමන් කළා. මරණ මොහොතේ චුති සිතටත් ආවේ තමන් ගිතෙල් හා හාල් කරේ තියාගෙන ගිහින් සංඝයාට පූජා කළ පින්කම ගැන. ඒ නිසාම ආයෙත් අනුරාධපුරයේ ම මහා ධනවත් පවුලක කුමාරයෙක් වෙලා ඉපදුණා. හැමෝගෙම ආදරය මැද හැදී වැඩුණා. දැලි රැවුල ඇවිත් හැඩි දැඩි තරුණයෙක් වුණා. රූප ශෝභාවත් හරිම ඉහළයි. තරුණියන්ගේ ආකර්ෂණය නිතර ලැබුණා. විවාහ දිවියටත් පත් වුණා.

ඒ වුණත් මේ සංසාරයේ බියකරු බව පෙන්වමින් තවත් ටිකක් වයසට යන කොට මේ තරුණයාගේ හිසකෙස් එක දෙක ඉදෙන්න පටන් ගත්තා. රැවුලත් ඉදෙන්න පටන් ගත්තා. තරුණයාට වැටහුණා ධනයවත්, අඹුදරුවන්වත් තමන්ගේ සතුටට හේතු වෙන්නේ නෑ කියලා. විහාරයට යන්න එන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේගෙන් නිතර ධර්මය ඇහුවා. දැන් හොඳ දහම් දැනුමක් තියනවා. දැන් තරුණයාට හිතෙන්නෙම පැවිදි වෙන්නමයි. අදහස බිරිඳටත්, දරුවන්ටත්, දෙමවුපියන්ටත් ඉදිරිපත් කරලා අවසර ලබා ගත්තා. දැසිදස්සන්ටත්, ඥාතීන්ටත්, අසල්වැසියන්ට හා මිතුරන්ටත් මතක් කරලා ගමේ විහාරයේ දී තම්බසුමන නමින් පැවිදි වුණා.

පෙර පින් බලය නිසාම පැවිදි වෙලා නොබෝ කලෙකින් ම තමන්ට ශිෂ්‍ය පිරිවර වශයෙන් භික්ෂූන් වහන්සේලා පන්සියයක් එකතු වුණා. ඒකට හේතුව තමයි තම්බසුමන තෙරුන් බොහෝම අල්පේච්ඡයි. ඒ වගේම අන් අයට කාරුණිකව අවවාද උපදෙස් දෙමින් යහමඟට ගැනීම කරනවා. හික්මවන්න බැරි අය කරුණාවෙන් හා ධර්මයෙන් ම හික්මවනවා. ගම්දනව්වල ඉන්න දෙමාපියන් තමන්ගේ නොහික්මුණු දරුවන් හික්මවන්න කියලා බාර දෙන්නේ මේ තෙරුන් වහන්සේට. ඔහොම තමයි ශිෂ්‍ය පිරිස ක්‍රමයෙන් වැඩි වුණේ.

පින්සියයක් පිරිස සමඟ දවසක් වන ගත වුණා භාවනා කරන්න. එදා දානය සොයා ගන්න අහළ පහළ ගමක් තිබුණේ නෑ. දෙවියන් මේ බව දැනගෙන ගම්මුන් විදිහට වෙස්වළාගෙන පන්සිය දෙනෙක් විදිහට දානය අරගෙන ඇවිත් පූජා කළා. දවස් ගණන් දෙවියන්ගෙන් ද උපස්ථාන ලබා ගත්තා.

දවසක් පිරිසත් සමඟ ගමට පිණ්ඩපාතයේ වැඩම කරන කොට දකින්න ලැබුණා, අද හෙට ම මරණයට පත් වන්නේ යැයි හිතන්න පුළුවන් රෝගී මනුෂ්‍යයෙක්ව. ශරීරය වැහැරිලා ගිහින්, කෑම බීම ගන්නත් බෑ. මේ හැම කාරණයක් ගැන ම කල්පනා කරලා ඔහුට පිහිට වෙන අදහසින් ඒ නිවසට වැඩම කළා. රෝගියාත්, තෙරුන් වහන්සේ තමන්ගේ නිවසට වැඩම කරන බව දැකලා පැහැදිලා පිරිසුදු වස්ත්‍ර යුගළයක් අරගෙන එකක් ආසනයට දැම්මා. අනෙක පාවඩයක් විදිහට ඇතිරුවා. නමස්කාර කරලා ආසනයේ වැඩහිදුවලා තමන්ගේ රෝගයට පානය කිරීමට හදාගෙන හිටිය අඹකැඳ කොප්පය තෙරුන් වහන්සේට පූජා කළා.

උන්වහන්සේත් රෝගියාට පින් පිණිස අඹකැඳ වළඳලා ආශිර්වාද කරලා නැවතත් වැඩම කළා.

තෙරුන් වහන්සේ වැඩියාට පස්සේ බොහොම සතුටින් උන්වහන්සේ පසු පසත් ගියා. නැවතත් නිවසට එද්දී සර්පයෙක් දෂ්ට කරලා එතැනම මිය ගියා. මහා පින්කමක් කරලා සතුටින් හිටිය නිසා මිය ගිය වහාම දඹදිව උසස් රජ පෙළපතක් වන සාතවාහන රජකුලයේ රජකුට දාව උපත ලැබුවා.

සවස තම්බසුමන මහ තෙරුන් වහන්සේ භාවනාවට සමවැදිලා බලන කොට දකින්න ලැබුණා රෝගී පුරුෂයා මිය ගිහින් රජකුලයේ උපත ලැබූ බව. රජතුමා තමන්ගේ දරුවට නම් තබන උත්සවය වෙනුවෙන් සංඝයාට දන් දෙන්න තීරණය කරලා අසල පිහිටි විහාරයේ භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළා. තම්බසුමන රහතන් වහන්සේ මේ සිද්ධියත් දැක්කා. ඔහුගේ පෙර පින ලෝකයාට හෙළි කරලා යහපතක් කරන්න ඕන කියන අදහසින් ඍද්ධියෙන් එදින ඒ විහාරයට වැඩම කළා. වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් වැඩිමහලුම තෙරුන් වහන්සේ නිසා උන්වහන්සේ සංඝයාගේ ඉදිරියෙන් ම වැඩම කළා. දානය වැළඳුවා. අවසානයේ දී භුක්තානුමෝදනා බණ දේශනාව යෙදුණා. තෙරුන් වහන්සේ වෙනත් තෙර නමකට නො පවරා තමන් වහන්සේ ම දේශනාව පවත්වලා ලෝකයාට යහපතක් කරන්න තීරණය කරගෙන බණ කියන්න පටන් ගත්තා. දානයේ ආනිශංසත්, රජ පවුලේ තිබුණු ගුණ සමූහයත් අගය කරලා අවසානයේ දී කුමාරයාට ආශිර්වාද කරමින්

“පින්වත් රජතුමනි, මේ කුමාරයා පෙර ආත්මයේ දී හෙළදිව වාසය කරපු දුප්පත් කෙනෙක්. මෙයා රෝගී වෙලයි හිටියේ අවසාන කාලයේ දී. දවසක් මම පිණ්ඩපාතයේ වැඩම කරන කොට මුණ ගැහුණා. හරිම ශ්‍රද්ධා සම්පන්යි. වස්ත්‍ර යුගළයක් අරගෙන ඇවිත් මට ආසන පැනවූවා. පාවඩ දැම්මා. ඒ විතරක් නොවෙයි අඹකැඳ කොප්පයකුත් පූජා කළා. ඒ විපාකයේ අනුහසින් මේ රාජසම්පත් ලැබුවා. මේ කාරණය දිවසින් දැකලයි අද මෙහි වැඩම කළේ’යි කියමින් අතීත පුවත් දේශනා කළා.

රජතුමාගේ හිතට නොසතුටක් තමයි ඒ කතාවෙන් ගෙනත් දුන්නේ ඒ නිසා තම්බසුමන තෙරුන් වහන්සේව අමතලා “ස්වාමිනි, මේ මංගල උත්සවයේ දී මගේ කුමාරයාට අපහාස කරන්න එපා. නින්දා කරන්න එපා”යි කියමින් නොසතුට ප්‍රකාශ කළා.

තෙරුන් වහන්සේ දිවැසින් රජතුමාගේ රජ පවුලේ සියලුම තොරතුරු කියන්න පටන් ගත්තා.

රජතුමාගේ පෙර ආත්මයත්, සාතවාහන රජපරපුරේ රජවරුන් තිස් හයදෙනෙක් රජකම් කර ඇති බවත් එයින් අටදෙනෙක් හැර ඉතිරි සියලු දෙනාම පෙර පුණ්‍ය මහිමයෙන් මාර්ගඵල ලාභියෝ වුණු බවත් දේශනා කළා.

රජතුමා පැහැදීමට පත් වෙලා ඒ මොහොතේ ම ප්‍රථම ඵලය ලබා ගැනීමට භාග්‍ය උදාකර ගත්තා. රජතුමා මහා පින්කම් කරන දානපතියෙක් වුණා. තෙරුන් වහන්සේ හැම දෙනාට ම ආශිර්වාද කරලා හෙළදිවට වැඩම කළායි කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

දන් දිය යුතු උසස් ම පිරිස ආර්ය ගුණවලින් පිරිපුන් භික්ෂු සංඝයා බවත්, එහි විපාක සසරේ ගමන් කරන බවත්, දන් දීමට සූදානම් වෙවී සිටීමට අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ උපන් ශ්‍රද්ධාවෙන් කුඩා දෙයක් හෝ දන්දීම බවත් මේ කතා පුවත අපට පෙන්වා දෙනවා.