Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව පහතරට පවත්නා පැරැණිම මහා සංඝ සභාව ය. 1856 වසරේ සිට මේ දක්වා වසර 166ක කාලයක් උපසම්පදා විනය කර්මය පවත්වා ගෙන එනු ලබන ස්වාධීන සංඝ සංස්ථාවකි.

ලක්දිව නා නා දිසාවෙහි දහස් ගණන් උපසම්පදා භික්ෂූන් ඇතිවීමෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය හැදෑරීම ද ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට විය. දුර බැහැර සිට මඟතොට පහසුකම් නැතිව පා ගමනින් සති ගණන් තිස්සේ මහනුවර යෑම ඊම උපසම්පදාවට සහභාගි වන සැමට මහත් පීඩාවක් විය.

විනය කර්ම පිළිබඳ අවබෝධයක් පරිචයක් ලබා දීමේ අවශ්‍යතාවය ද 19 වන සියවසේ සීමා වාද, අධිමාස වාද, බුද්ධ වර්ෂ වාද ආදී තත්කාලීන උගතුන් විසින් ධර්ම ශාස්ත්‍රීය විවාද රාශියක් සිදු කරනු ලැබීම නිසා එකල පහතරට පුරෝගාමීව වැඩසිටි ගණාචරිය බෙන්තර වනවාස රාජමහා විහාරාධිපති බෙන්තර අත්තදස්සී මා හිමි, කෝට්ටේ රාජමහා විහාරාධිපති මලිගස්පේ මංගලාභිධාන කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක මාහිමි, මහඅරුග්ගොඩ ඉන්දසරාරාමාධිපති පානදුරේ සුමංගල මාහිමි රත්මලාන පරමධම්මචේතිය විහාරාධිපති සාර්ව භෞම පණ්ඩිත වලානේ සිරි සිද්ධාර්ථ මාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බු.ව. 2398 (ක්‍රි.ව. 1855) පොසොන් මස කෝට්ටේ රාජමහා විහාරස්ථානයට රැස්ව බුදුන් වහන්සේගේ පහස ලද කැලණි නදියේ උපසම්පදා කිරීමේ අදහසින් කල්‍යාණි නාමය ද සංඝයාගේ සාමගි‍්‍රය ම අපේක්ෂා කළ බැවින් සාමගී‍්‍ර යන නාමය ද තබා සංඝ සභාවක් පිහිටුවනු ලැබීය. ක්‍රි.ව. 1856.06.22 පළමු උපසම්පදාව අරඹා දහස් සංඛ්‍යාත සාමණේරයන් වහන්සේ උපසම්පදා සීලයෙහි මේ දක්වා පිහිටුවනු ලැබේ.

සංඝ සභාව ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී වූ ආදි කර්තෘ පස් නමගේ නාමානුස්මරණය කරමින් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරා මූලික කොට ආරම්භයේ සිට සංඝ සභාව පාර්ශ්ව 5කින් සමන්විත වේ. ඒ ආරම්භක මාහිමිවරුන් වැඩ සිටි ස්ථාන පදනම් කොට උන්වහන්සේ ගේ වෘද්ධතර අනුපිළිවෙළින් බෙන්තර විහාර පාර්ශ්වය, කෝට්ටේ විහාර පාර්ශ්වය, අරුග්ගොඩ විහාර පාර්ශ්වය, ගලගොඩ විහාර පාර්ශ්වය, රත්මලාන විහාර පාර්ශ්වය වශයෙන් පාර්ශ්වය පරම්පරා පහකින් සංඝ සභාව පවත්වා ගෙන සපැමිණි අතර, ගාලු මාතර පළාත්වල සංඝයාගේ ඉල්ලීම පරිදි දක්ෂිණ පාර්ශ්වයක් ද පිහිටුවනු ලැබීය.

මහා සංඝ සභාවේ ක්‍රියාකාරිත්වය සලකා උපසම්පදා කාරක සභාව උපාධ්‍යයන් වහන්සේ 6 නමකගෙන් ද ලිඛිත, විනය පරීක්ෂාවකින් උත්තීරණ වූ කර්මවාගාචාර්ය 24නමක් ද පත් වේ. යාවජීව ලෙස එම 30 නම පවතී. ඒ ඒ පාර්ශ්වවල සංඝයාගේ සමාන ඡන්දයෙන් සිවු නම බැඟින් සූවිසි නමක් වසර 5 නිල කාලයකට පත් කරනු ලැබේ. සංඝ සභාවක් ලෙස සියලුම තීරණ ගැනීමට බලය හිමි වනුයේ මෙම කල්‍යාණී කාරක සභාවට ය. අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපදේශක මණ්ඩලය වශයෙන් විශේෂ සුදුසුකම් යටතේ හත්නමකගෙන් යුත් උපදේශක කාරක සභාවක් නිල වශයෙන් පත් වෙති.

සංඝ සභාවට අයත් භික්ෂු සාමණේරවරුන් පිළිබඳ ඉදිරිපත් කෙරෙන අධිකරණ විනිශ්චය කිරීම සඳහා වසර පහකට වරක් විනිශ්චය කාරක සභාව දොළොස් නමකගෙන් පත්කර ගනිති. මහා සංඝ සභාවට අයත් විහාරස්ථානවල හා ජාතික වශයෙන් ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධව ක්‍රියාකිරිම සඳහා පරෝපවාද රහිත ගිහි පැවිදි උභය පාර්ශ්වයේ සම්භාවනාවට පාත්‍රව සිටින පළාත්, දිස්ත්‍රික්, කෝරළ, පත්තු වශයෙන් සංඝ නායක පදවි පත්කොට සුදුසු ස්ථවිරයන් වහන්සේ පත්කොට සම්භාවනාවට පාත්‍ර කරනු ලැබේ.

සංඝ සභාවේ ආදි කර්තෘන් වහන්සේ සංඝ සභාවේ පාලනය සංරක්ෂණ කටයුතු සඳහා පමුණුවනු ලැබූ සම්මුති පත්‍රය කල්‍යාණි කතිකාවත්වලට අනුකූල වූ සම්මත ව්‍යවස්ථා මාලාවක් යටතේ පාලන කටයුතු මහානායක, අනුනායක සාමීන්ද්‍රවර ප්‍රමුඛ උපාධ්‍යාය මූලික කල්‍යාණි කාරක සංඝ සභාව මඟින් සිදුවේ.

මුලදී වර්ෂ 2කට වරක් පැවති උපසම්පදා විනය කර්මය සංඝයාගේ වර්ධනය හේතුවෙන් වාර්ෂිකව සිදු කරනු ලැබේ. උපසම්පදා කාරක සංඝ සභාවට අයත් සියලු ස්ථවිරයන් වහන්සේ විනය කර්ම සිදුකොට පාරිශුද්ධියෙන් ම මෙම විනය කර්මයට වැඩම වීම කළ යුතු ය.

කෝට්ටේ රාජමහා විහාරාධිපති උප නාම ලේඛකාධිකාරි ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දායක සභාව මහා සංඝයා වහන්සේට අවශ්‍ය සියලු ප්‍රත්‍යය පහසුකම් ද, උපසම්පදාපේක්ෂක ආයුෂ්මතුන්ගේ දෙමාපිය ඥාතීන් වෙනුවෙන් අවශ්‍ය ආහාරපාන ඇතුලු සියලු පහසුකම් ද සෑම වසරක ම මහත් උනන්දුවෙන් කැපවීමෙන් සපයනු ලබති.

සංඝ සභාවට අයත් පිළියන්දල දම්පේ ත්‍රිපිටක අධ්‍යයන ආයතන විහාරයේ දී මේ මස 7,8,9 තෙදින පුරා පුහුණු වැඩමුළුවක් ද පවත්වනු ලබන අතර, 19,20,21 යන දිනවල අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය සූරී ආචාර්ය ඉත්තෑපාන ධම්මංලාකාර මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව කෝට්ටේ රාජමහා විහාරස්ථ ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා විනය කර්මය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. 75 නමක් පමණ මෙවර ද උපසම්පදා භූමියට ඇතුළත් වීමට අපේක්ෂිතව සිටින අතර, උපසම්පදා ලේඛකාධිකාරි කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ඕනෑගම උපාලි හිමියෝ මෙම කටයුතු සංවිධානය කරති.