ලෞකික ලෝකෝත්තර සුවයට තිලකුණු නුවණින් විමසන්න
මහා
විහාර වංශික
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ
උපසම්පදා ලේඛකාධිකාරී
කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති
ශාස්ත්‍රපති
ඕනෑගම උපාලි නාහිමි
අනිච්ච, දුක්ඛ, අනත්ත වශයෙන් පාළි පෙළ දහමේ සඳහන් වෙන මෙම ත්‍රිලක්ෂණ සංකල්පය
අනිත්‍ය,දුක්ඛ, අනාත්ම හැටියට සිංහලයෙන් විස්තර කෙරෙනවා.
වර්තමානය තුළ මේ සංකල්පයට විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබුණත්, එය සියයට සියයක්
නිවැරැදි අර්ථකථන හැටියට සලකන්න බැහැ. බොහොම දෝෂ සහිතව ඇතැම් නිර්වචන ඉදිරිපත් කර
තිබීම නිසයි අනිච්ච හෙවත් අනිත්‍ය පිළිබඳ බුදුදහමේ විස්තර කරන්නේ භයට්ඨෙන අනිච්චං
කියන වචනයෙන්.
ක්ෂය වන්නා වූ අර්ථයෙන් අනිත්‍ය නම් වෙයි. දුක්ඛ කියන වචනය හඳුන්වන්නේ භයට්ඨෙන
දුක්ඛං වශයෙන්. වෙනස්වන ස්වභාවය නිසා දුක ඇතිවේ. අනත්ත කියන වචනය විස්තර කරන්නේ
අසාර භට්ඨෙන අනත්තා
යමක් අනිත්‍ය නම්,.වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම්, එය මම නෙමෙයි, මගේ නෙමෙයි මගේ
ආත්මය නෙමෙයි විදිහට අසාරත්වයෙන් තම වසඟයෙන් පවත්වාගෙන යාමට නොහැකි බව දැන ගැනීම
අනාත්ම කියන වචනයෙන් හඳුන්වනවා.
මේ ලක්ෂණ තුන වර්ධනය කර ගත යුතු එකක්. එය මෙනෙහි කළ යුත්තේ ස්කන්ධ, ආයතන, ධාතු කියන
මේ ලක්ෂණ අරමුණු කරගෙන යි. එසේ නැතිව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ අපි
සාමාන්‍යයෙන් ගැඹුරින් මෙනෙහි කරන විට බාහිරව දකින්න ලැබෙන භෞතික වස්තු හෝ පෙනෙන්න
තිබෙන දේ පිළිබඳ නොවේ. ස්කන්ධ, ආයතන, ධාතු පිළිබඳ ගැඹුරින් මෙනෙහි කළ විට තමයි
අර්ථවත් ත්‍රිලක්ෂණ භාවනාවක් බවට පත්වන්නේ. හේතූන් නිසා ලොව හටගත් යමක් වේ ද , ඒ
හේතූන් නැතිවී යාමෙන් හෙවත් නිරුද්ධ වීමෙන් එය නැතිව යයි. හේතුපටිච්ච සම්භූතං
හේතුභංගා නිරුජ්ඡති යන පාළි පඨයෙන් එය පැහැදිලි කර තිබෙනවා.
හේතු නිසා හටගන්නා දෑ සංඛත ගණයට අයත් වෙනවා. යමක් සංඛත වෙනවා ද, ඊට ආවේණික ලක්ෂණය
වන්නේ අනිත්‍ය ස්වභාවයයි. සංඛත කියන වචනයට අවේණික ලක්ෂණය තමා අනිත්‍ය ස්වභාවය. එය
නිත්‍ය නොවේද, ස්ථිර නොවෙයි ද එයමයි අනිත්‍ය කියලා කියන්නේ.
අනිත්‍ය නම් ඒක දුකක් ම යි. යද නිච්චං තං දුක්ඛං යනුවෙන් උගන්වනවා. යම්කිසි
වස්තුවක් අනිත්‍ය නම්, ඒක දුකක් බව ඒ පාළි පාඨයෙන් පැහැදිලි කර තිබෙනවා.
යමක් දුක්සහගත වේ ද එයට ආවේණික ලක්ෂණය වෙන්නේ අනාත්මය යි. යං දුක්ඛං තදනත්තා යන
වචනයෙන් පැහැදිලි කරන්නේ එයයි. දුක් සහිත සියල්ල ම අනාත්ම බව මේ පාළි පාඨයෙන්
පැහැදිලි කරනවා. ඒ අනුව හේතුඵල දහමට හසුවන සියල්ල ම හෙවත් ලොව පවතින ජීවි අජීවී
සියල්ල ම අනාත්ම ගණයට අයිති වෙන්නේ. සබ්බේ ධම්මා අනත්තා කියන පාළි පාඨයෙන් දක්වා
තිබෙන්නේ ඒ අදහසම යි. සබ්බේ ධම්මා යනු ජීවි අජීවි, පණ ඇති පණ නැති, සත්ත්ව හා
ද්‍රව්‍ය කොටස් සියල්ල අනාත්ම යි. සියලු සංස්කාර ධර්මයෝ අනාත්ම යි. ලොව යථාර්ථය
වන්නේ එයයි.
ලොව පවත්නා සියල්ල ජීවි අජීවි පණ ඇති පණ නැති සත්ත්ව හා ද්‍රව්‍ය කොටස් බුදුදහමේ
සංස්කාර හැටියට හඳුන්වාදී තිබෙනවා. මේ සංස්කාරයන්හි ප්‍රධාන ලක්ෂණ තුනක් පවතිනවා.
එනම්, උප්පාදෝ පඤ්ඤායතී, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායතී. මේ ජීවි අජීවි
සංස්කාර ධර්ම සියල්ල ලොව හටගන්නවා. එසේ නැත්නම් ලෝකයේ උපදිනවා.
ජීවි සංස්කාර උපදිනවා. අජීවි සංස්කාර හටගන්නවා. මේ සංස්කාර ධර්ම වර්ග දෙකම ලෝකයේ
පවතිනවා. නැත්නම් ජීවත්වෙනවා. විනාශවෙලා යනවා. එහෙම තැන්නම් මරණයට පත්වෙලා යනවා. ඒ
අනුව සංස්කාර ධර්ම තුළ ස්ථිර පැවැත්මක් නැති බව ඒ තුළින් මැනවින් පැහැදිලි වෙන
කාරණයක්.
සබ්බේ සංඛාර අනිච්චා සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වන බව පැහැදිලිව දකින්න ලැබෙන
කාරණයක්. උදාහරණයක් හැටියට දැල්වෙන විදුලි බුබුලක් දිහා බලාගෙන සිටින විට පෙනෙන්නේ
අඛණ්ඩව බල්බය දැල්වෙන ආකාරයක්. ඒත් හොඳීන් සුපරික්ෂාකාරීව බලන විට අපට ඒ තුළ
යථාර්ථය පැහැදිලිව දකින්න ලැබෙනවා. එනම්, ඒ බල්බය දැල්වෙමින් නිවෙමින් පවතින බවයි
යථාර්ථය. එක විට දකින්නේ අඛණ්ඩව එම බල්බය දැල්වෙන බව. ඒ වගේම විද්‍යුත් රූප රාමුවක්
තිරයක් මතින් නරඹන විට අපට පෙනී යන්නේ සුළු සුළු වෙනස්කම් සහිත රූප පෙළක් දකින්න
පුළුවන් බව. ඒත් ඒවා නියමිත වේග පරාසයක ධාවනය වනවිට අපට පෙනී යන්නේ දුවන, පනින,
නටන, රූප රාමු පෙළක්. ගෙවී යන හැම තත්පරයක් පාසාම ලෝකයේ පවතින ජීවි අජීවි සත්ත්ව හා
ද්‍රව්‍ය මේ ආකාරයට වෙනසට භාජනය වෙනවා. විටින් විට මොහොතින් මොහොත, ක්ෂණයක් ක්ෂණයක්
පාසා වෙනස්වීමට භාජනය වෙනවා.
මවකගේ කුසේ සිටින බිළිදෙක් වුණත්, කාලයත් සමඟ ක්ෂණයක් පාසා වෙනස්වෙමින් වැඩෙනවා. ඒක
අපි වයසට යනවා කියන අදහසින් වර්තමානයේ පාවිච්චි කරනවා. ලෝකය හා ජීවිතය මුහුණ දෙන
වෙනස්වීම තමාගේ අතට අරගෙන පාලනය කරන්න පුළුවන් එකක් නොවෙයි. ධර්මයට අනුව හටගන්නා
සියල්ල ම නැති වෙලා යනවා. නැතිවී යන ලක්ෂණයකින් යුක්ත වෙනවා. ඒක සදාතනික න්‍යාය
ධර්මතාවක්.
ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයෙක් ම සැපයට කැමැතියි වගේම දුක පිළිකුල් කරනවා. සියල්ලන්
ම සියල්ල සිදු කරන්නේ සැප පතාගෙනම යි. ඒත් මුළු මහත් සංසාර පැවැත්ම ම දුක් සහිතයි
කියන බවත් ලොව පවතින්නේ දුක මත පිහිටාගෙන බවත්, දුක්ඛෝ පතිට්ඨිතො ලෝකෝ කියන බුදු
වදනින් පැහැදිලිව දක්වලා තිබෙනවා. සදාකාලික සැපයක් සුවයක් කියලා හිතාගෙන පංච
ඉන්ද්‍රියන් ම ගොදුරු කරගෙන අරමුණු තුළ රැඳී සිටීමට මිනිසුන් කෙතරම් උත්සාහ ගන්නව
ද? ඒත් ලස්සනයි කියලා සිතා බලන රූපය තුළ ඒ ලස්සන රැඳී තිබෙන්නේ කෙතරම් අඩු කාල
සීමාවක ද? එක ඉරියව්වක වාඩි වී සිටින අපි දැඩි සතුටකට පත්වුණත් ඒ කෙතරම් කෙටි
කාලයකට ද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචඉන්ද්‍රියන් සදාකාලික සැප සොයමින්
මේ සංසාර ගමනේ කෙතරම් මුළා වුණා ද? ඒ සැප සොයමින් අපි දීර්ඝ කාලයක් කටයුතු කළා. ඒත්
සාදාකාලිකයි කියලා සිතාගෙන සිටි සැපය එක් දිනකටවත් සිතේ රඳවා ගැනීමට නොහැකි වුණා
අහිමි වන සියල්ලෙන් හටගන්නේ දුකක්ම යි. අනිත්‍ය සියල්ලම දුක් සහිත බවයි.
ආත්ම සංකල්පය බුද්ධ කාලයේ විවිධ ආගමිකයන් විවිධාකාරයෙන් නිර්වචනය කර තිබෙන පදයක්.
පාළි පදය වන්නේ අත්ත ලෙසයි.අත්ත සිංහලයෙන් මම හෙවත් තමා යනුවෙන් අර්ථ ගැන්වෙනවා. මම
කියන සංකල්පය තුළ සදාකාලික පදාර්ථයක් ඇති බවට බුද්ධ කාලීන භාරතීය ආගමිකයන් පිළිගත්
මතයක් වුවත්, බුදු දහමේ එය පෙන්වා දෙන්නේ ආත්ම සංකල්පය සංඥා නාමයක් මිසක්, ඒ තුළ
සාදාකාලික ආත්මීය ලක්ෂණ ඇතුළත් නැති බවයි.
තවදුරටත් පැහැදිලි කරනවා නම්, එහි හරයක් නැති බවයි. මම, මගේ, මට ආදී වශයෙන් ගත හැකි
කිසිවක් ඒ තුළ නැති බව බුදු දහම පෙන්වා දෙනවා. ඒ අනුව ලොව පවත්නා සියල්ලම ස්ථිර,
සදාකාලික වූ දෙයක් නොවන බව පැහැදිලියි. සියල්ල වෙනස් වෙන සුළු නිසාත්, දුක් සහිත
වෙන නිසාත්, මම ය, මාගේ ය වශයෙන් ගතහැකි කිසිදු හරයක් නැති බව පැහැදිලි වෙන කරුණක්.
සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා අනත්තාති වශයෙන්, යම් ප්‍රඥාවන්තයෙක් ලොව පවත්නා මෙම
ධර්මතා ප්‍රඥාවෙන් ම අවබෝධ කර ගන්නේ නම්, ඔහුට සසර දුකින් එතෙරව ලබන සදාකාලික
සැනසිල්ල ළඟා කර ගත හැකි බව බුදු දහමෙන් පෙන්වා දෙනවා.
ත්‍රිලක්ෂණය ප්‍රඥාවෙන් දකිමින් එය හොඳීන් හඳුනා ගැනීමෙන් ලෞකික හා ලෝකෝත්තර සුවය
ළඟාකර ගත හැකි යි. අසීමිත ආසාවන් පසුපස ගොස් මුළාවේ නො වැටී මේ ලක්ෂණ පිළිබඳ
නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමෙන් අටලෝ දහමින් අකම්පිත ව ,දස අකුසල්, පංච දුශ්චරිත,
දස පාපක්‍රියාවලින් අත්මිදී සිත සැහැල්ලු කරගෙන කටයුතු කිරීමෙන් මෙලොව සැපය මෙන් ම
පරලොව දිවියත් සරු කර ගෙන නිවන් අවබෝධයට දොරටු විවිර කර ගන්න පුළුවන්.
- හේමමාලා රන්දුනු |