Print this Article


චමත්කාර ලෙස ලෝකය දැකීම ඉගෙන ගතහැකි කුසලතාවකි

සුවපත් මනසක් සුවබර දිවියක් - 03 කොටස:

චමත්කාර ලෙස ලෝකය දැකීම ඉගෙන ගතහැකි කුසලතාවකි

පාලි බසින් “දුක්ඛ” යන්නෙන් ශාරීරික වේදනාව පමණක් ්ම අදහස් නොකරයි. සිතෙහි වෙහෙසකාරී බව, හා සෑම මානසික අත්දැකීමක ම කොටසක් වන සියුම් හා ගැඹුරු අතෘප්තකාරී හැඟීමක් මින් අදහස් කරයි. ජීවිතයේ මූලික හරය “දුක” බව බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. මෙය බැලූ බැල්මට අශෝභන මෙන්ම අශුභවාදී ප්‍රකාශයක් ලෙස දිස්වෙයි.

එය සත්‍යයෙන් තොර යැයි ද ඇතැම් විට සිතිය හැකි ය. ජීවිතයේ බොහෝ අවස්ථාවල දී අප සිටින්නේ ප්‍රීතියෙනි. එසේ නොවෙයි ද? නැත. එය එසේ නොවෙයි. එලෙස පෙනෙනවා පමණි. ඔබ මහත් සොම්නසින් හා තෘප්තියකින් ගෙවන අවස්ථා දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලන්න. ඊට යටින් පැතිර පවතින සියුම් ආතතිය එවිට ඔබට දැක ගැනීමට පුළුවන. ඒ, කොතරම් ප්‍රමෝදවත් මොහොතක් වුව ද අවසාන වන බව දැනීමෙන් ගොඩ නැඟුන අප්‍රසාදයයි.

ඔබගේ දිනාගැනීම් කෙතරම් විශාල වුව ද, එයින් කොටසක් හෝ ඔබට අහිමිව යනු ඇත. ඉදිරි කාලය ඒවා රැක ගැනීමට හා තවත් වැඩිකර ගැනීමේ උපාය මාර්ග සෙවීමට වැය කිරීමට ඔබට සිදුවනු ඇත. අවසානයේ දී ඔබ මරණයට පත්විය යුතු ය. ඔබට සියල්ල අහිමි වෙයි. ඒ, සියලු දේ අස්ථිර අල්පකාලික බැවිනි.

එය කනස්සල්ලට හේතුවක් නේද? වාසනාවකට එය එසේ නොවේ. කොහෙත්ම නැත. එහි කනස්සලු බවක් පෙනෙන්නේ ඔබ ඒ දෙස සාමාන්‍යයෙන් පවතින අතෘප්තිකාරී දෘෂ්ටියකින් බැලූ විටයි. විශ්වය දෙස බැලිය හැකි හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් එයට යටින් ඇත. එනම්, කාලය නවතාලීමට උත්සාහ නොකරන, ගලා එන අපගේ අත්දැකීම් ග්‍රහණය කිරීමට හෝ නවතාලීමට හෝ නොසලකා හැරීමට උත්සාහ නොකරන මානසික ක්‍රියාකාරී මට්ටමකි. එය හොඳ සහ නරක ඉක්මවාලූ මෙන් ම තෘප්තිය හා වේදනාවට එපිටින් පවතින, චමත්කාර අයුරින් ලොව දැකිය හැකි මානසික මට්ටමකි. එය අප තුළ වර්ධනය කරගත හැකි කුසලතාවකි. පහසු නැති මුත් එය ඔබට ඉගෙන ගත හැකියි.

සතුට හා සාමකාමී බව සැබැවින් ම මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉලක්කයන් වේ. අප සැමදෙනා සොයන්නේ මෙයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණුවලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්ක අපට නොපෙනෙයි. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවය පසුපස හඹා යන අපට, සතුට යන්න හුදෙක්ම සංකල්පයක් පමණි.

“බලන්න, මම හරිම ප්‍රායෝගිකයි. ඇති තරම් මුදල් ඇත්නම් මට සතුට මිලට ගන්න පුළුවන්” අවාසනාවකට මෙය අසාර්ථක ආකල්පයකි. සුපරීක්ෂාකාරී ලෙස බලන කල, සෑම අරමුණක් ම හුදෙක් මතුපිටින් පමණක් පවතින බව ඔබ දකියි. ඔබට ආහාර අවශ්‍යයි. මක්නිසා ද?

කුසගින්න නිසා.

ඔබට කුසගිනියි.

ඉතින් මොකද?

ආහාර ගත් විට කුසගින්න නිවී හොඳ හැඟීමක් දැනෙයි.

අහා! “හොඳ හැඟීමක්”

අත්දැකීම සැබෑ අරමුණ ය. අප සැබැවින් ම සොයන්නේ මතුපිටින් පවතින අරමුණු නොවේ. ඒවා ඉලක්කය කරා යන උපාය මාර්ග පමණි. අප ඇත්ත වශයෙන් ම බලාපොරොත්තු වන්නේ ආශාව සපුරා ගැනීමෙන් පසු ඇතිවන සැනසිලිදායක හැඟීමයි. සහනය, විවේකය මෙන්ම ආතතියෙන් මිදීමයි. දැඩි ආසාවේ කෙළවර ඇති සාමය හා සතුටයි.

කුමක්ද මේ සතුට? අපට අවශ්‍ය සෑම දෙයක් ම ලබා ගැනීම, සෑම දෙයකම පාලනය තමා අතට ගැනීම හා සීසර්ගේ භූමිකාව රඟපාමින් සිතු මනාපයට මුළු ලෝකය ම නැටවීමට හැකිවීම අප බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන සම්පූර්ණ සතුටයි. නමුත් එලෙස සිදුවන්නේ නැත. ලෝක ඉතිහාසයේ සඳහන් මෙවැනි අසීමිත බලයක් දැරූ පුද්ගලයින් දෙස බලන්න. ඔවුන් සතුටින් සිටි පුද්ගලයින් නොවේ. ඔවුන් තමන් සමඟ සාමයෙන් නොසිටිය බව සහතික කළ හැකියි.

ඒ ඇයි? මුළු ලොවම මුළුමනින් ම පාලනය කිරීම ඔවුන්ගේ තිබුණු බලවත් ආශාව නමුත් එය ඉෂ්ට නොවීමයි. මුළු මිනිස් සංහතිය ම පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වුව ද සමහර පුද්ගලයින් එම පාලනයට නතුවීම ප්‍රතික්ෂේප කරන ලදී. ග්‍රහලෝක හා තාරකා පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහු ද සාමාන්‍ය පරිදි රෝගී වූහ. මිය ගියහ.

අප ආශා කරන සියලු දේ දිනා ගැනීම කිසිදාක කළ නොහැකියි. නමුත් වාසනාවකට මෙන් එයට විකල්පයක් ඇත. හිත පාලනය කිරීම තුළින් ආශාවෙන් හා ද්වේශයෙන් සැදුන මේ චක්‍රයෙන් මිදීමට අපට හැකියාව ඇත. ආශාවන්හි නොඇලී සිටීමට ඉගෙන ගෙන, එම ආශාවන් හඳුනාගෙන, ඒවායේ පාලනයට හසු නොවී සිටීමට ඔබට පුළුවන. ඔබව පාගා, ඔබගේ සිරුර මතින් ගමන් කිරීමට මුළු ලෝකයට ම ඉඩ හැරීමක් මින් අදහස් නොකෙරෙයි. එය බාහිරින් සාමාන්‍ය ලෙස පෙනෙන ජීවිතයක් නමුදු, සම්පූර්ණයෙන්ම නව දෘෂ්ටියක් ඇතිව ගත කරන්නකි.

ඔබ සාමාන්‍ය පුද්ගලයකු කරන සියලු කටයුතුවල නිරතවන නමුත් ආශාවන්ගේ පීඩාකාරී වහල් භාවයෙන් නිදහස් වී ඇත. ඔබට යමක් වුවමනා කරන නමුදු එය ලුහුබැඳ හඹා යාමට අවශ්‍ය නොවෙයි. ඔබ යම් දෙයක් නිසා බියට පත් වූ විට, බියෙන් වෙව්ලමින් එතැනම ගල්ගැසී සිටීමට අවශ්‍ය නැත. මෙවැනි මානසික ශික්ෂණයක් දියුණු කර ගැනීම පහසු කාර්යයක් නොවෙයි. එයට වසර ගණනාවක් ගත විය හැකියි. සෑමදෙයක් ම තම පාලනයට නතුකර ගැනීම කිසිදිනෙක කළ නොහැක්කකි. එබැවින් උත්සාහයෙන් හෝ ඉටුකර ගත හැකි දේ කිරීම කිසිසේත් ම කළ නොහැකි දෙයකට වඩා වටින්නේ ය.

අප කුමක් ගැන ද කතා කළේ? සාමය සහ සතුට! අප ශිෂ්ටාචාරය කියා කියන්නේ මෙයට අදාළ සියල්ලට නොවේ ද? අපි අහසට උස ගොඩනැඟිලි හා අධිවේගී මාර්ග තනමු. වැටුප් සහිත නිවාඩු, රූපවාහිනි යන්ත්‍ර, නොමිලේ වෛද්‍ය සේවා හා ලෙඩ නිවාඩු, සමාජ ආරක්ෂාව හා ශුභසාධන සේවා ආදිය අපට ලැබේ. මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ යම් තරමක හෝ සාමයක් හා සතුටක් ළඟාකර දීමයි.

එහෙත් මානසික රෝග පීඩා හා අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අසරණයන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් වීථි පිරී යයි. ඔබගේ ගෙමිදුලේ සිට පාරට අත දිගු කළහොත්, ඔබේ අත්ඔරලෝසුව කඩාගෙන යෑමේ තත්ත්වයට අද සමාජය පිරිහී ඇත. කොතැනක හෝ වරදක් ඇත. ප්‍රීතිමත් පුද්ගලයෙක් සොරකම් නොකරයි. තමා සමඟ සාමයෙන් පසුවන්නෙක් තවත් මිනිසෙකුගේ ජීවිතය නැති කිරීමට නොපෙළඹෙයි. හුදෙක් ප්‍රීතිය හා සාමය අත්කර ගැනීම සඳහා ම අපගේ සමාජය හැකි සෑම ආකාරයකින් ම මිනිසාගේ දැනුම උපයෝගී කර ගන්නා බව සිතීමට අපි කැමැත්තෙමු. එහෙත් එය එසේ නොවේ.

මිනිස් පැවැත්මේ ගැඹුරු භාවමය හා ආධ්‍යාත්මික අංශ පරදුවට තබා, ජීවිතයේ භෞතික අංශය අනවශ්‍ය ලෙස වර්ධනය කර ඇති බව දැන් දැන් අවබෝධ වීමට පටන්ගෙන තිබේ. එම වරදෙහි පල විපාක දැනටමත් අපි අත්විඳීමු. අද සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම් පිරිහී ඇති බව පුන පුනා ප්‍රකාශ කිරීම එක දෙයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම තවත් දෙයකි. මෙය පටන්ගත යුත්තේ අප තුළින්මයි.

සුපරීක්ෂාකාරීව, අවංකව හා නිර්පාක්ෂිකව ඔබගේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න. “අපචාරියා” හා “උන්මත්තකයා” අප තුළින්ම දැකගත හැකි අවස්ථා අප කාටත් පැහැදිලි වනු ඇත.

එබඳු අවස්ථා ගැරහීමට ලක් නොකොට, පැහැදිලිව හා පිරිසුදුව දැකීමට අප පුරුදුවීමත් සමඟ එම තත්ත්වයෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කිරීමට අපට හැකිවනු ඇත.

ඔබගේ වර්තමාන ස්වභාවය ඒ ආකාරයෙන් ම දකින තෙක් ඔබගේ ජීවන රටාවේ ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමට පුළුවන්කමක් නැත. එම ස්වභාවය දුටු වහාම වෙනස්කම් ඉබේම සිදුවනු ඇත.

කිසියම් පාලන අධිකාරියක බලකිරීමක් හෝ අධික වෙහෙස දැරීමක් හෝ අවශ්‍ය නොවේ. වෙනස්වීම ඉබේම සිදුවෙයි. එහෙත්, මීට වුවමනා කරන ආරම්භක ගැඹුරු නුවණ ලබා ගැනීම අසීරු කාර්යයකි. මොනම ආකාරයක හෝ විනිශ්චයක්, මුළාවක් හෝ ගැටීමකින් තොරව “ඔබ කවුද?, කොයි විදිහේ කෙනෙක් ද?” යන්න දැකිය යුතුයි. සාමාජීය සත්වයකු ලෙස, එහි ඔබට හිමි තැන හා ඔබේ ක්‍රියාකාරිත්වය ඔබ තේරුම් ගත යුතුයි. සියල්ලට ම පෙර, පුද්ගලයෙකු ලෙස ඔබට ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් ද එමෙන්ම සෙසු මිනිස් සංහතියට ඔබගෙන් ඉටුවිය යුතු වගකීම් ද දැක ගැනීම අවශ්‍යය. අවසාන වශයෙන් මේ සියලු සම්බන්ධතාවන් තනි ඒකකයක් ලෙස කිසිලෙසකින්වත් එකිනෙක වෙන් කළ නොහැකි අන්තර් පුද්ගල සම්බන්ධතාවක් ලෙස පැහැදිලි ව දැකිය යුතුයි. මෙය සංකීර්ණ, එක ක්ෂණයකින් සිදුවිය හැකි ය. මෙවැනි අවබෝධයක් හා නිසංසල සතුටක් අත්කර ගැනීමට ඔබට නියත වශයෙන් උපකාරී වනුයේ භාවනාව තුළින් ගොඩනැගෙන මානසික ශික්ෂණයයි.

ෆ්‍රොයිඩ් නම් වූ දාර්ශනිකයා පෙන්වාදීමට වසර දහස් ගණනකට පෙර ධම්මපදයේ සඳහන් බුද්ධ වචන මෙසේ කියයි.

“අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින්, මිතුරන් මේ කිසිවකු හට එය කළ නොහැකියි. හොඳීන් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි”.

භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ සිත පවිත්‍ර කිරීමයි. සිත පීඩාවට පත් කරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව වැනි කෙලෙස් කසට සෝදාහැර, ආවේගයන්ට වහල්වීම නිසා අවුල් වී ඇති සිතිවිලි ක්‍රියාවලිය පිරිසුදු කරයි. සිත නිසංසල හා අවදිමත් තත්ත්වයකටත්, සමාධිමත් හා තැන්පත් බවක් සහිතව සිහියෙන් කටයුතු කරන තත්ත්වයටත් රැගෙන එයි. තවද, සිත එක අරමුණක රැඳවීමේ හැකියාව හා විනිවිද දකින අවබෝධය පහළ කරවයි.

අපි අධ්‍යාපනය කෙරෙහි මහත් විශ්වාසයක් තබන්නෝ වෙමු. දැනුම මිනිසකු ශිෂ්ටසම්පන්න කරන බව අපි විශ්වාස කරමු. එසේ වුවත්, ශිෂ්ටාචාරය මිනිසා මතුපිටින් පමණක් ඔප දමයි. මේ ශිෂ්ට සම්පන්න අතිඋගත් මහත්මා යුද්ධයේ හෝ ආර්ථික බිඳ වැටීමේ පීඩනයට හසුකර සිදුවන්නේ කුමක් දැයි බලන්න.

නීතියට අවනත නොවීමෙන් ලැබිය හැකි දඬුවම් හා පලවිපාක දන්නා බැවින් නීතියට අවනතවීම එක් කරුණකි. සොරකමට තුඩුදෙන ලෝභය මෙන්ම ප්‍රාණ ඝාතයට හේතුවන වෛරය සිතින් පහකිරීම නිසා නීතියට අවනත වීම හාත්පසින් ම වෙනස් කාරණයකි. ගලා බසින දිය පාරකට ගල් කැටයක් විසි කරන්න. දියපාර ගල්කැටයේ මතුපිට සුමට කළ ද, එහි ඇතුළාන්තය නොවෙනස්ව පවතියි. එම ගල්කැටය ගිනියම් වූ උදුනකට දැමූවිට, එය මුළුමනින් ම උණුවෙයි. පිටතින් මෙන් ම අභ්‍යන්තරයෙන් ද වෙනස් වෙයි. ශිෂ්ටාචාරය මිනිසා බාහිරින් ඔපවත් කරන නමුදු ඔහු මුදු මොළොක් කර මුළුමනින් ම පරිවර්තනය කරන්නේ භාවනාවයි.

භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයකු බව කියැවේ. එය අවබෝධය හරහා සෙමෙන් නමුත් නිසැකව ම ක්‍රියාකරන සියුම් පවිත්‍රකාරක ගින්දරයි. අවබෝධය වැඩිවන තරමට ඔබ වඩාත් නම්‍යශීලී හා ඉවසන සුලු වෙයි. වඩාත් කාරුණික වෙයි. ඔබ පරිපූර්ණ දෙමාපියකු හෝ පරමාදර්ශී ගුරුවරයකු මෙන් වෙයි. වැරදි අමතක කර, සමාව දීමට ඔබ සූදානම් ය.

ඔබ අනුන් කෙරෙහි දයාව දක්වන්නේ ඔබට ඔවුන් වඩා හොඳීන් තේරුම් ගත හැකි නිසා ය. ඔවුන්ව වඩා හොඳීන් තේරුම් ගන්නේ ඔබ ඔබව ම තේරුම් ගෙන ඇති නිසා ය. ඔබගේ ඇතුළාන්තය දැක එහි ඇති ආත්ම මුළාව හා මානුෂික අඩුපාඩු ද, ඔබගේ ම මිනිස්කම ද තේරුම් ගෙන අත්වැරැදි අමතක කර දයාව දැක්වීමට ඔබ ඉගෙන ගෙන ඇත.

තමා කෙරෙහි කරුණාව දැක්විය හැකිවන විට එය අනුන් වෙත නිරායාසයෙන් පැතිරවිය හැකි ය. මනා නිපුණතාවකින් යුත් භාවනානුයෝගියා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ඇත. එබැවින් ඔහු හෝ ඇය නියත ලෙසම ලෝකය දෙස බලන්නේ ගැඹුරුවූත්, අවිවේචනාත්මකවූත් කරුණා දයාවකිනි.

භාවනාවේ යෙදීම, බොහෝවිට අලුත් භූමියක වගා කිරීම හා සමානයි. වනාන්තරය වගා කළ හැකි භූමියක් බවට පත් කිරීමට නම් පළමුව ගස් කපා, එළි පෙහෙළි කර, මුල් උදුරා දැමිය යුතු ය. දෙවනුව බිම බුරුල් කර පොහොර යෙදිය යුතු ය. අවසානයේ බීජ වපුරා අස්වැන්න නෙළා ගැනේ. එලෙසම, මනස වගා කිරීමේ දී පළමුව මඟ අහුරන පීඩාකාරක, නැවත නොවැඩෙන ලෙස මුලින් උපුටා දැමිය යුතුයි. ඉන්පසු පොහොර යෙදිය යුතු ය. මෙම මනස නමැති බිම, වීර්යය හා හික්මීම නමැති දියෙන් තෙත් කර, පසුව බීජ වපුරා ශ්‍රද්ධාව, සීලය, සිහිනුවණ හා ප්‍රඥාව නමැති අස්වනු නෙළාගන්න.

බුදුදහමේ දී සැදැහැය නොහොත් ශ්‍රද්ධාව හා සීලය නොහොත් සදාචාර සම්පන්න බව යෙදෙන්නේ විශේෂ අර්ථයකිනි. පොතපතක ලියා තිබූ පමණින් හෝ ශාස්තෘවරයකු හෝ බලධාරි අයකු ඉගැන්වූ නිසා හෝ විශ්වාස කිරීමක් මෙහි දී කොහෙත්ම අදහස් නොකෙරෙයි. එය යමක් පිළිබඳ ඇතිවන විශ්වාසයට වඩාත් සමාන වෙයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු දැකීම නිසා යමක් සත්‍ය බව දැන ගැනීමත්, එය ඔබ තුළම ක්‍රියා කළ ආකාරය දැකීමත් තුළින් ඇතිකර ගත් විශ්වාසයකි. මෙලෙසම, සදාචාරය යනු බාහිරින් පැනවූ හැසිරීම් රටා පද්ධතියකට චාරිත්‍රානුකූලව හිස නැමීමක් නොවෙයි. ඔබ විසින්ම වුවමනාවෙන් හා කැමැත්තෙන් ම තෝරාගත් සුබදායක චර්යා රටාවකි. ඔබ එසේ තෝරා ගත්තේ එය ඔබගේ වර්තමාන හැසිරීම් රටාවට වඩා උසස් යයි ඔබ පිළිගත් නිසා ය.

භාවනාවේ පරමාර්ථය පෞද්ගලික වෙනස්වීමයි. භාවනා කාලයක් අවසානයේ දී නැඟිට යන ඔබ භාවනාව සඳහා වාඩි වූ ඔබ ම නොවෙයි. ඉතා සියුම් සංවේදන ක්‍රියාවලියක් තුළින් ඔබගේ ම සිතිවිලි, වචන හා ක්‍රියා පිළිබඳ ඔබ තුළම ගැඹුරු දැනීමක් ඇති කර, භාවනාව ඔබ වෙනස්වීමකට ලක් කර ඇත. උඩඟුකම වාෂ්ප වී යන අතර ඔබගේ වෛරය සි¼දී යයි. සිත සන්සුන් වී තැන්පත් වේ. ඔබගේ ජීවිතය සුමට වෙයි. නියම ආකාරයෙන් යෙදෙන භාවනාව ජීවිත ගමනේ දී මුණ ගැසෙන නිවැරැදි භාවනා පුහුණුව ජීවන ගමනේ දී මුණ ගැසෙන කඳු පල්ලම් පසු කිරීම සඳහා ඔබව සූදානම් කරනු ලැබේ. එය ඔබගේ බිය, ආතතිය හා දෝමනස්සය අවම කරයි. අසහනකාරි බව පසුබසියි. දැඩි ආවේගය මධ්‍යස්ථ වෙයි. කරුණු සිදුවන සැටි පැහැදිලි වෙයි. ජීවිතය ගැටුමකින් තොරව පහසුවෙන් ගලා යයි. මේ සියල්ල සිදුවන්නේ අවබෝධය තුළිනි.

භාවනාව, ඔබගේ සිත එක අරමුණක රඳවා ගැනීමේ ශක්තිය හා කල්පනා ශක්තිය මුවහත් කරයි. එවිට ඔබගේ යටිසිතේ අරමුණු හා උපායන් එකින් එක පැහැදිලි වෙයි. ඔබගේ සහජ නුවණ තියුණු වෙයි. සිතිවිලිවල නියත බව වැඩෙයි. මුළාවෙන් හා පූර්ව නිගමනයෙන් තොරව, සියල්ල ඇති සැටියෙන් දැකීම තෙක් ඔබ ක්‍රමයෙන් ගමන් කරයි.

මේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ම පමණක් භාවනා කිරීමට කරදර විය යුතු ද? නැත. මේ හුදෙක්ම කඩදාසියක ලියවී ඇති පොරොන්දු රැසකි. භාවනාව, වෑයමේ තරමට ප්‍රතිඵලදායක ද යන්න දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි. එය නිවැරැදිව ඉගෙන ගෙන, නිවැරැදිව පුහුණු වන්න. ප්‍රතිඵල ඔබට ම දැකිය හැකි වේවි.

භාවනාව යනු වචනයකි. අපගේ සිතීමේ ක්‍රියාවලිය, සම්බන්ධ කිරීම් මඟින් ක්‍රියාත්මක වන අතර “භාවනාව“ යන වචනය හා බැඳුණු විවිධ අදහස් හා මත ගොන්නක් ඇත. ඒවා අතුරෙන් සමහරක් නිවැරැදි වන අතර, අනෙක්වා හුදෙක් බොරු ප්‍රලාප පමණක් ම වෙයි.

බොහොමයක් අදහස් අනෙක් භාවනා ක්‍රම පිළිබඳ සත්‍ය වන නමුත් විපස්සනා භාවනා ක්‍රමයට කිසිසේත් අදාළ නැත. අලුත් දැනුම ග්‍රහණය කිරීමට උපකාරී වනු පිණිස පැලපදියම් වී ඇති වැරදි අදහස් බිඳ දැමීම මෙහිදී අත්‍යවශ්‍ය වන කරුණකි. දැන්ම අපි එය සිදු කරමු. වඩාත් ප්‍රකට අදහස්වලින් පටන් ගනිමු.

නාභිය වෙත සිත යොමු කිරීමට හෝ ගුප්ත වදන් මැතිරීමට අප උගන්වන්නේ නැත. ඔබව නොපෙනෙන ශක්තීන්ගෙන් සන්නද්ධ කිරීම හෝ යක්ෂයින් ජය ගැනීම අපගේ ක්‍රමය නොවෙයි. කුසලතා මට්ටම අනුව අප ඔබට වර්ණ පටි නොපළඳවමු. හිස මුඩු කිරීමට හෝ හිසේ ජටාවක් බඳීන්නට යැයි අපි ඔබට නොකියමු. ඔබ සතු සියල්ල අත්හැර දමා අරණ්‍යගත වීමට ද අවශ්‍ය නැත. ඔබගේ ජීවිතය අයහපත් හා අවුල් සහගත නොවේ නම් මේ දැන්ම ආරම්භ කර කිසියම් දියුණුවක් අත්කර ගත හැකි ය. එය ඔබ තුළ උනන්දුවක් ඇති නොකරන්නේ ද?

මීළඟ කොටස එළඹෙන ඇසළ පුර පසළොස්වක පෝදා කළාපයේ පළවේ