Print this Article


දම්සක් පැවතුම් සුතුර

දම්සක් පැවතුම් සුතුර

බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය වන ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ සිංහල බසින් ‘දම්සක් පැවතුම් සුතුර’ ලෙස ව්‍යවහාර කරති. ඇසළ පුන් පෝදාවක, බරණැස ඉසිපතන මිගදායේ දී පස්වග භික්‍ෂූන් වහන්සේට දේශිත මෙම සූත්‍ර දේශනය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සච්ච සංයුත්තයේ ධම්මචක්කප්පවත්තන වග්ගයේ පළමු සූත්‍රය ලෙස සංගීතිකාරක තෙරවරුන් විසින් සංග්‍රහ කොට දක්වා ඇත.

‘චතුරාර්ය සත්‍යය’ ධර්මය අන්තර්ගත එම සූත්‍ර දේශනයේ සාරය මෙසේ ය.

“පැවිද්දකු විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් වෙයි. එනම් හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථජ්ජනයන් විසින් සේවනය කරනු ලබන, ආර්ය නොවූ, අවැඩ සලස්වන්නා වූ, කාමවස්තූන්හි ඇලී ගැලී විසීම (කාමසුඛල්ලිකානුයෝගය) හා දුක් වූ, ආර්ය නොවූ, අවැඩ සලසන්නා වූ, ශරීරය වධ හිංසායෙන් පෙළීම (අත්තකිලමථානුයෝගය) යනුයි.

මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥාචක්‍ෂුව ද, ඥානය ද ඇති කරන මධ්‍යම ප්‍රතිපදාව කෙලෙස් සන්සිඳවීම පිණිස ද, විශිෂ්ට ඥානය පිණිස ද, සත්‍යාවබෝධය සහ නිවන සාක්‍ෂාත් කිරීම පිණිස ද පවතී.”

“දුක්‍ඛ ආර්ය සත්‍යය නම් මෙයයි: ඉපදීම දුකකි. ජරාව ද දුකකි. ව්‍යාධිය ද දුකකි. මරණය ද දුකකි. අප්‍රියයන් හා එක් වීම ද, ප්‍රියයන්ගෙන් වෙන් වීම ද, තමා කැමැති දෙය නොලැබීම ද, සැකෙවින් උපාදානස්කන්ධ පස ද දුක් ය.

දුක්‍ඛ සමුදය ආර්ය සත්‍යය නම් මෙයයි: පුනර්භවය ඇති කරන, තද ඇලීම් ඇති, ඒ ඒ ආත්මභාවයෙහි ඇලීම් ස්වභාව කාම, භව, විභව වශයෙන් තුන් වැදෑරුම් වූ තෘෂ්ණාව යි.

දුක්‍ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් මෙයයි: ඒ තෘෂ්ණාවේ ඉතිරි නො කොට නිරුද්ධ කිරීමක්, දුරු කිරීමක්, මිදීමක්, නොඇල්මක් වේ ද එය යි.

දුක්‍ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය නම් මෙයයි: සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.”

“මේ දුක්‍ඛ ආර්ය සත්‍යය යැයි... මේ දුක්‍ඛ සමුදය ආර්ය සත්‍යය යැයි... මේ දුක්‍ඛ නිරෝධ ආර්ය සත්‍යය යැයි... මේ දුක්‍ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය යැයි... පෙර නොඇසූ විරූ දහම්හි මට (බුදුරදුන්ට) ඇස පහළ විය. ඥනය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. මේ දුක්‍ඛ ආර්ය සත්‍යය පිරිසිඳ දත යුතු යැයි පිරිසිඳ දක්නා ලදැයි... මේ දුක්‍ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහීණ කළ යුතු යැයි ප්‍රහීණ කරන ලදැයි... මේ දුක්‍ඛ නිරෝධ ආර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ යුතු යැයි ප්‍රත්‍යක්ෂ කරන ලදැයි... මේ දුක්‍ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය වැඩිය යුතු යැයි වඩනා ලදයි... පෙර නොඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය... ආලෝකය පහළ විය.”

‘චතුරාර්ය සත්‍යය’ ධර්මය යථාභූත ඥානයෙන් පිරිසිඳ දත් බුදුරජාණන් වහන්සේ ‘සම්මා සම්බුද්ධත්වය’ අවබෝධ කළෙමි’යි ඒ කෙණෙහි ප්‍රතිඥා කළ සේක. ඊට පෙර කිසිවිටක එසේ නොකළෙමි'යි බුදුරජාණන් වහන්සේ උදම් ඇනූ සේක.

දේශනාවෙන් පිනා ගිය සිත් ඇති පංචවග්ගිය භික්‍ෂූන් වහන්සේ ඒ දේශනාව සතුටින් පිළිගත්හ. දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ භික්‍ෂුව සෝවාන් වීය. භාග්‍යවතුන් වහන්සේ ධර්මචක්‍රය පවත්වන ලද්දේ ය කියා බූමාට දෙවියෝ ද, චාතුර්මහාරාජික දෙවියෝ ද, යාම දෙවියෝ ද, තුසිත දෙවියෝ ද, නිර්මාණරති දෙවියෝ ද, පරනිම්මිත වසවත්ති දෙවියෝ ද, බ්‍රහ්මකායික දෙවියෝ ද සාධුකාර දුන්හ. බඹ ලොව තෙක් එම සාධුකාර ශබ්දය ඇසිණ.

ඒ වෙලෙහි දස දහසක් ලෝක ධාතුව තෙවරක් ප්‍රකම්පා විය. මහත් වූ ආලෝකයක් ලොව පහළ විය. තවද භාග්‍යවතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ භික්‍ෂුනම මෙම ධර්මය අවබෝධ කර ගත්තේ යැයි උදම් වූ සේක. මෙය නිමිති කොට කොණ්ඩඤ්ඤ භික්‍ෂුවට ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යන නාමය විය.

“බණ දැන නිවන සාදාගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා ‘දම්සක් පැවතුම් සූත්‍ර සාරය’ කරම් හ.”