Print this Article


රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය ජුනි මස 19 වන දින ආරම්භ වී අද 03 වැනි දා නිම වීමට නියමිත ය.

කාවන්තිස්ස මහ රජතුමා රට එක්සේසත් කිරීමේ අරමුණෙන් බුද්ධිමත් තරුණයන් දස දෙනෙකු දස මහා යෝධයන් ලෙස නම් කර ඔවුන් හරහා අතිවිශාල හමුදා භට සංඛ්‍යාවක් අනාගතය සඳහා සකස් කරගෙන ඇත.

සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ විදේශීය ආක්‍රමණයෙන් රට බේරා ගැනීමයි. ඒ අනුව වසර 44ක් විදේශීය ආක්‍රමණයට යටත් ව සිට මේ රටේ බහුතර ජනතාව මුදාගැනීමේ අතිබිහිසුණු සටන සඳහා කටයුතු කළ ආකාරය මහා වංශය ආදී වංශ කථාවල පැහැදිලිව සඳහන් කර ඇත.

විහාරමහාදේවී මාතාවගේ උපදෙස් මත කටයුතු සංවිධානය කළ අතර තිස්ස මහා විහාරයේ භික්ෂූන් වහන්සේ 500ක් යුද පෙරමුණේ ගමන් කරමින් එතුමාට ආශිර්වාද කළ බව සඳහන් වේ.

ජන වහරේ සඳහන් වන අන්දමට යුද්ධයට යාමට පෙර කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ අසලට පැමිණ කිසියම් බාරයක් වී ඇත. ඒ තමා මෙම යුද්ධය සිදු කරන්නේ රටත් ජනතාවත් එක්සේසත් කිරීමටත්, විදේශීය පාලකයන් පලවාහැරීමටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් බවයි. යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට රන්කොත් සහිත දේව මාලිගාවක් සාදවා පූජා කරන බවට පොරොන්දු වී ඇත.

මේ අනුව එළාර සමඟ යුද්ධ කර යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට මෙතුමා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය ඉදි වූ බව සඳහන් වේ.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික උත්සව තුනක් දැකිය හැකි ය. එනම් තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා අපේ‍්‍රල් මස 14 වන දින කිරි උතුරවා රාත්‍රියේ දෙවියන් වල්ලි අම්මා දේවාලයට වැඩමවා ලෝවැසියන් හට ආශිර්වාද කිරීමයි.

ඉන් පසු ආරම්භ වන්නේ අඛණ්ඩව දින 15ක් තිස්සේ පවත්වනු ලබන ඇසළ මහා උත්සවයයි.

මුළු පූජා භූමිය ම විදුලි බුබුළුවලින් සරසා විශාල අලි ඇතුන් ප්‍රමාණයක් සම්බන්ධ කර ගනිමින් ඉතා කලාත්මක පෙරහර 15ක් මෙම දින පුරාවට ම පැවැත්වේ.

ඇසළ මහා පෙරහරේ සුවිශේෂ දිනයක් වන්නේ පෙරහර ගමන් කරන 06 වන දිනයයි. එහිදී බස්නායක නිල නිවාසයේ ගොම මැටි ගාන ලද පෞරාණික වටිනාකමකින් යුත් පූජනීය කුටිය තුළට සධාතුක කරඬුව සහිත මහ සඟරුවන වැඩමවා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමා ප්‍රමුඛ කොට ගත් කාර්යය මණ්ඩලය දානය පිළිගන්වා දෙවියන්ට පින් අනුමෝදන් කර දුටුගැමුණු මහා රජතුමාටත්, රට බේරා ගැනීමට මහා දායකත්වයක් දක්වන ලද සියලු රණවිරුවන්ටත්, කඩොල් හස්තිරාජයා ප්‍රධාන සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීමයි.

මෙදින සිදුවන ඓතිහාසික සිදුවීම් කිහිපයකි. අනුරාධපුර විජිතපුර මහා සංග්‍රාමයේ දී විදේශික ආක්‍රමණිකයන් පලවා හැරීමට අසීමිත මෙහෙවරක් කළ කඩොල් හස්තිරාජයාගේ දළ යුගලය දුටුගැමුණු මහ රජතුමා විසින් දේවාලයට පූජා කර ඇත. එය තැන්පත් කර ඇත්තේ දේවාලයේ ඇතුළු මාලිගය තුළ ය. මෙදින එම අති විශාල දළ යුගලය මාලිගාවෙන් පිටතට ගෙනවිත් දේවාලයේ තිරය දෙපස සඳුන් මණ්ඩපය ආසන්නයෙහි මහජන ප්‍රදර්ශනය සඳහා තබනු ලබයි. පෙරහර අවසන් වූ පසු එම දළ යුගලය නැවත ඇතුළු මාලිගය තුළ තැන්පත් කිරීම පෞරාණික චාරිත්‍රයකි.

පෙරහර අවසන් වීමට දින 03කට පෙර ගිනි පෑගීමේ කාර්යය සිංහල සහ හින්දු බැතිමතුන් ඒකරාශිව දේවාල වීදියෙහි සිදුකරනු ලබයි. එතැන් සිට වෙනත් දිනවලට වඩා විශේෂත්වයක් වන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසු තවත් පෙරහරක් වල්ලි අම්මා දේවාලය කරා ගමන් කිරීමයි.

අවසාන මහා පෙරහරේ තවත් සුවිශේෂ අංගයක් වන්නේ එතෙක් දෙවියන් පමණක් වැඩම වූ පෙරහරට ඇතකු මත තබා සධාතුක කරඬුව වැඩමවීමත්, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත එකී පෙරහර ගමන් කිරීමත් ය. නැවතත් කිරිවෙහෙර වීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට යන පෙරහර ගෙවැදීමෙන් අනතුරුව නිමවීමට නියමිත ය.