සදහම් සිසිලෙන් ලොවම සැනසුණ වගයි ...
රාජකීය පණ්ඩිත
දෙදියගල නන්දරතන හිමි
පුරාණ දඹදිව සැණකෙළි මාසය වූයේ ඇසළ මාසය යි. අප මහ බෝසතාණෝ සාරාසංඛෙය්‍ය කල්ප
ලක්ෂයක් උතුම් පාරමී දම් පුරා තුසිත දෙව්ලොව සන්තුසිත නම් දිව්‍ය රාජයා ව ඉපිද
පස්මහ බැලුම් බලා අවසානයේ දී සුදොවුන් මහ රජුගේ අග මෙහෙසිය වන මහාමායා දේවියගේ කුස
පිළිසිඳ ගන්නට යෙදුනේ උතුම් ඇසළ පොහෝ දිනක දී ය.
හෙළ පියුමක් හොඬෙහි දරන සුදු ඇත් පැටවකු කුසට ඇතුළු වූ බව මහාමායා දේවිය සිහිනෙන්
දුටුවේ බෝසතුන් තම කුසෙහි පිළිසිඳ ගැනීමේ සංසිද්ධිය යි. මෙම සිහිනයේ පලාඵල විමසූ
බමුණු පඬිවරුන් හැට හතර දෙනාගේ මතය වූයේ පින්වන්ත දරුවකු උපදින බව යි.
මෙලොව පහළ වන සෑම බුදු කෙනකුට ම සාධාරණ වන සතර පෙර නිමිති දැකීම අප බෝසතාණන් වහන්සේ
ද එලෙසම අත්වින්ද සේක. උයන් සිරි නරඹා පැමිණෙන කල සතර පෙර නිමිති දුටු බෝසතාණන්
වහන්සේ ගිහි ගෙය කෙරෙහි ඉතා දැඩි සේ කළකිරීමට පත් වූහ. අවසානයේ දී ලෝක සත්වයාට
සත්‍යාවබෝධ කරලීමට අදිටන් කොටගෙන තවුස් දම් වඩනු පිණිස ගිහි ගෙය අතහැර යෑම හෙවත්
මහා අභිණිෂ්ක්‍රමණය සිදු කරන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනක දී ය.
එසේම යශෝධරා දේවියගේ කුස පිළිසිඳ ගත් රාහුල කුමරු දස මස් ඇවෑමෙන් ජන්ම ලාභය ලැබුවේ
ද බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන ලද දිනයේ ම බව ලෝකවාසී බොදු දනන් මනාව දන්නා
කරුණකි.
තථාගතයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගත් පසු තමන් වහන්සේ දුක සේ අවබෝධ කර ගත් දහම
දේශනා කිරීමට සුදුස්සන් ගැන සිතන කල්හි තමන් වහන්සේගේ පූර්වාචාර්යයන් වූ ආලාරකාලාම
හා උද්දකරාමපුත්ත යන ගුරු දෙපළ සිහිපත් විය. එම අය පරලෝකප්‍රාප්ත වූ බව දැනගත් පසු
තමන්ට සත්‍යය ගවේෂණ අවධියේ දී ඉතා විශාල ලෙස උදව් උපකාර කළ පස්වග මහණුන් පිළිබඳ
සිතන්නට වන්හ.
එකල්හි ඔවුන් බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ සිටින බව දැන ගත් මහා කාරුණිකයන් වහන්සේ
ඔවුන් සොයා එහි වැඩම කළහ. සඳරැසින් බබළන රාත්‍රියේ මුළු මිගදාය වන අරණ ම බබළවමින්,
අවට පරිසරය ඉතා නිසොල්මන් වූ කල්හි, සියොතුන්ගේ කන්කලු නාදයේ මිහිර නවතා කන් යොමා
සිත් යොමා, ඇසුවා වූ උතුම් සද්ධර්මය නමැති මධුර භාෂිතයෙන් ලෝ සතුන් සනහාලන්නට
යෙදුණේ ද මෙකී උතුම් පොහෝ දිනයෙහි ය.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා කරමින් සදහම් ප්‍රදීපය දල්වාලන ලද්දේ ඇසළ පොහෝ දිනයේ
ය.
එදා බුදුරජාණන් වහන්සේ උතුම් අප්‍රතිවර්තී වූ ධර්මචක්‍රය පවත්වන විට සදෙව් ලෝ වැසි
දෙවිවරු පැමිණ අවකාශයේ සිටිමින් සාධුකාර පවත්වමින් එකී උතුම් දේශනාව ශ්‍රවණය කළ බව
ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුළ අන්තර්ගත වෙයි. එසේම ශාසන ඉතිහාසයේ සඳහන් වන ආකාරයට
පළමුවෙන් ම උතුම් ශ්‍රී සද්ධර්මය අසා කොණ්ඩඤ්ඤ තවුස් තෙමේ සෝවාන් ඵලයට පත් වූයේ ද
මෙකී උතුම් පොහෝ දිනයෙහි ය. පස්වග මහණුන් සමග බුදුරදුන් වස් එළඹියේ ද උතුම් ඇසළ
පුන් පොහෝ දිනයෙහි ය.
මහා කාරුණිකයාණන් වහන්සේ ගන්ධබ්බ රුක මුල දී තීර්ථකයන්ගේ මානය දුරු කිරීම පිණිස
යමාමහපෙළහර පාන්නට යෙදුනේ ඇසළ පුන් පොහෝ දිනක දී ය.
ඇසළ පොහොයෙන් ඇරඹෙන වස්සාන සෘතුව ධර්ම චාරිකාවේ නොයෙදී ස්වාර්ථය පිණිසත්, පරාර්ථය
පිණිසත් විහාරයේ ම වැඩ සිටින ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ
සත්වැනි වස් කාලය ගත කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරන ලද්දේ ද අද වන් උතුම්
පොහෝය දිනයක දී ය. එලෙස තව්තිසා දෙව්ලොවට වැඩම කිරීමෙන් අනතුරුව මාතෘ දිව්‍ය රාජයා
උදෙසා තෙමසක් විජම්බණ හෙවත් අභිධර්මය දේශනා කරන්නට යෙදුණේ ද ඇසළ උතුම් පොහොය දිනක
දී ය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ඇවෑමෙන් මහා කාශ්‍යප මහ රහතන්
වහන්සේගේ මූලිකත්වයෙන් අජාසත් මහ රජතුමාගේ දායකත්වයෙන් ප්‍රථම ධර්ම සංගීතිය
සිදුකරලීම සඳහා සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ 499 නමක් රජගහනුවරට වැඩම කොට
සංගායනාවට පූර්වයෙන් වස් එළඹීම සිදු වූයේ ද මෙම පුන් පොහෝ දිනයෙහි ය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කොට උතුම් සද්ධර්මය මනාව දේශනා කොට ඔවුන්
සසුන්ගත කර ගත් පසු බුද්ධ වර්ෂ 236 වැන්නෙහි අරිට්ඨ කුමරු ඇතුළු පනස් හය දෙනකු
අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවන්නට යෙදුණේ ද ඇසළ පුන් පොහෝ දිනක දී ය.
එවක මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ කණ්ඨක චෛත්‍යය වටා ඇති අට සැට
ලෙන් සුද්ධ පවිත්‍ර කොට භික්ෂූන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා පූජා කරන්නට යෙදුනේ ද
මෙකී උතුම් පොහෝ දිනක ය.
දුටුගැමුණු මහ රජතුමා මහාථූපයේ මුල්ගල් තැබීම කරන ලදදේ ද ඇසළ පුන් පොහෝ දිනක දී ය.
මහා ථූපයේ ධාතු නිදානෝත්සවය නොයෙක් ප්‍රාතිහාර්යයන් මැද උත්සවශ්‍රීයෙන් උතුරුසළ
නැකතින් සිදු කරන ලද්දේ ද උතුම් ඇසළ පුන් පොහො දිනයක දී ය.
කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජ දවස ඉන්දියාවේ කළිඟු රට දන්ත පුරයේ ගුහසීව රජු සන්තකයේ
පැවති දළදා වහන්සේ තත් කාලයෙහි පැන නැඟුණු නොයෙක් බාධක මධ්‍යයෙහි දන්ත කුමරු හා
හේමමාලා කුමරිය විසින් කෙස් වැටියේ සඟවාගෙන ආ පසු දළදා පෙරහර පවත්වන්නට යෙදුණේ මෙකී
උතුම් ඇසළ පුන් පොහෝ දිනක දී ය. වර්තමානයේ දළදා පෙරහර ඇතුළු බොහෝ පෙරහර මංගල්‍යයන්
පවත්වන්නේ ඇසළ මාසය ආශ්‍රිතව වීම විශේෂත්වයකි. |