Print this Article


ගුණ නැණ සුපූජිත ශාස්ත්‍රපති බොස්සැල්ලේ ධම්මාවාස නාහිමි

ගුණ නැණ සුපූජිත ශාස්ත්‍රපති බොස්සැල්ලේ ධම්මාවාස නාහිමි

1940 වසරේ ජූලි මස 08 වැනි දින කෑගල්ල දිස්ත්‍රික්කයේ බොස්සැල්‍ල ග්‍රාමයේ උපත ලැබූ ධම්මාවාස නාහිමියෝ පසුගියදා ජීවන මං පියසේ 84 වැනි වියට පිය නැඟුවේ මහත් අභිමානයෙනි.

රන්හාමි වීරසිංහ හා ඩබ්ලිව්.ඒ. ඩිංගිරි මැණිකේ යන දෙපළගේ පවුලේ සාමාජිකයන් අටදෙනෙකි. එම අට දෙනාගෙන් පවුලේ බාලයා වූ ඩබ්ලිව්.ඒ.ගුණරත්න කුලකුමරා පැවිදි දිවියට පිවිසෙන්නේ 1954 දී ය. කුඩා කල පටන් බොස්සැල්ල ග්‍රාමයේ විහාරස්ථානය හා සමීපව කටයුතු කළ ඔහු වයස අවුරුදු 14 දී පැවිදි දිවියට පිවිසෙන්නේ මව්පියන්ගේ සහ බොස්සැල්ල සාරඹේ සරණපාල නාහිමියන්ගේ ආශිර්වාදයෙනි. යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ දී පැවිදි දිවියට පිවිසෙන විට උන්වහන්සේගේ ගුරු හිමිවරුන් වන්නේ දොඹේපොළ ධම්මජෝති හිමි, අලවතුරේ ධම්මානන්ද නාහිමි හා අලවතුරේ ධම්මකිත්ති නාහිමියෝ ය.

උසස් අධ්‍යාපනයට පිවිසි බොස්සැල්ලේ ධම්මවාස නාහිමියන් විශ්වවිද්‍යාලයෙන් පිටවන විට ම පැපිළියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ අචාර්ය පදවියක් හිමි විය. සුනේත්‍රාදේවි පිරිවෙන එකල දිවයිනේ ඉතාම කීර්තිමත් අධ්‍යාපන තක්ෂිලාවක් විය.

මෙලෙසින් සේවය කරන උන්වහන්සේට 1981 වසරේදී රත්මලාන පරමධම්මචේතිය භික්ෂූ අභ්‍යාස විද්‍යාලයේ කථිකචාර්ය පදවියක් හිමිවන්නේ එම පිරිවෙන රජයට පවරා ගැනීමත් සමඟිනි. ඉන්පසුව උන්වහන්සේ එම අභ්‍යාස විද්‍යාලයේ ම පරිවේනාධිපති ධුරය ද හිමිවූයේ ඉතාම කෙටි කාලයකිනි.

පසුව එම විද්‍යාලය සීතාවක පුරයට ගෙන එන ලදි. යටියන්තොට නන්දාරාමයට ඉතා ආසන්නව ඉදි කළ මේ පිරිවෙනේ සේවය කිරීමට ලැබීම උන්වහන්සේගේ තරුණ භික්ෂු දිවියේ ස්වර්ණමය කාලය සටහන් විය. තුන් කෝරළය හා පහත බුලත් බුලත්ගම දෙපළාතේම අධිකරණ සංඝනායක තනතුර දැරූ යටියන්තොට ශ්‍රී නන්දාරාමාධිපති අලවතුරේ ධම්මකිත්ති නාහිමියන්ට විශාල ශක්තියක් වූ බොස්සැල්ලේ හිමියන් ඉතාම ක්‍රියාශීලි ලෙස විහාරස්ථානය සංවර්ධනය කිරීමේ කටයුත්තට දායක වූ අතර සිරි ධම්මජෝති දහම් පාසල ප්‍රදේශයේ කීර්තිමත්ම දහම් පාසල බවට පත් කිරීමට ද හැකි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

තුන් කෝරළයේ ම ඉතාම වන්දනීය වූ විහාරස්ථානයක් ලෙස ශ්‍රී නන්දාරාම විහාරය පත් කිරීම වෙනුවෙන් තම ජීවිතය ම කැප කළ උන්වහන්සේ තම දිවියේ 84 විය පසු කළේ සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාද ලබමිනි. උන්වහන්සේගේ මෙම ශාසනික මෙහෙවරට ශක්තියක් වෙමින් කටයුතු කරන තුන් කෝරළය හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක කොටගම වාචිස්සර, ගරාගොඩ විජිතධම්ම, පොළොන්නරුවේ සමිත හිමියන් ඇතුළු හිමිවරු ධම්මාවාස හිමියන්ට දක්වන්නේ මහත් ගෞරවයකි. අපරැක්කේ උදයධම්ම, දෙමටගල විමලවංශ හා කිතුල්ගල රතනසිරි හිමිවරුන් තිදෙනා ද උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරුන් ලෙසින් ප්‍රදේශයේ ශාසනික කටයුතු වෙනුවෙන් කැප වී සිටිති.