Print this Article


උතුම් පැවිදි දිවියේ පනස් වසක් සපුරන හෙබරව ධම්මවංශ හිමිපාණෝ

උතුම් පැවිදි දිවියේ පනස් වසක් සපුරන හෙබරව ධම්මවංශ හිමිපාණෝ

පරහිතකාමී බව, ශාසනමාමකත්වය, ස්ථානෝචිත ප්‍රඥාව වැනි සුවිශේෂ ගුණවලින් යුක්ත ශාස්ත්‍රවේදී හෙබරව ධම්මවංශ හිමි 1973 ජුනි මස 01 වැනි දින පැවිදි දිවියට පත් වෙයි. 2023 ජුනි 01 වැනි දිනට උන්වහන්සේ පැවිදි දිවියේ පනස් වසරක් සපුරති. මේ ලිපිය ඒ වෙනුවෙනි.

අප කථානායකයාණන් වහන්සේ බෞද්ධ ගුණ ධර්මවලින් පිරිපුන් ජනතාවක් වාසය කරන බින්තැන්නේ හෙබරව ග්‍රාමයේ උපන්නාහ. ප්‍රදේශවාසීන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ බෞද්ධ වත් පිළිවෙත්වලින් පොහොසත් අත්තනායක මුදියන්සේලාගේ උක්කුරාල සහ එන්.ඒ. ටිකිරි මැණිකා යන මවුපියන්ට දාව උපන් දරුවකු ලෙස උපත ලැබීය. අත්තනායක මුදියන්සේලාගේ ප්‍රේමරත්න යනු ඔහුගේ ගිහි නාමය යි. කුඩා අවධියේ සිට ශාසනික ලැදියාවකින් කටයුතු කළ මෙම දරුවා මූලික අධ්‍යාපනය හෙබරව මහා විද්‍යාලයෙන් ලබා ගත්තේ ය.

1973.06.01 වැනි දින මාවරගල ආරණ්‍ය සේනාසනයේ දී වැලිමඩ ඥානවංශ මහතෙරුන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උන්වහන්සේ ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ. සම්බුද්ධ ශාසනය, ග්‍රන්ථ සහ විදර්ශනා වශයෙන් ධුර දෙකකින් යුක්ත ය. ගුරුතෙරුන් වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේව ග්‍රන්ථ ධුරයට යොමු කිරීමට තීරණය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1973 දී බින්තැන්නේ පළමු පිරිවෙන් ආයතනය ලෙස ශී‍්‍ර ඥානප්‍රදීප පිරිවෙන ආරම්භ කර 1974 සිට 1977 දක්වා අධ්‍යාපනය ලබා දෙයි. අනතුරුව වැඩිදුර අධ්‍යාපනයට වතුරුවිල වනවාසී සංඝ මූලස්ථානයේ ශී‍්‍ර ඥානානන්ද පිරිවෙනට ද තවදුරටත් අධ්‍යාපන කටයුතු සඳහා ගම්පහ බැන්ඩියමුල්ල ශී‍්‍ර විද්‍යාශේඛර පිරිවෙනටත්, දියතලාව ඇල්ලගම ශී‍්‍ර සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනටත් ඇතුළත් වූහ. විසිවයස් සම්පූර්ණ කොට සිටි කථානායකයාණන් වහන්සේ මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මීගහකිවුලේ සුගතවංශ නාහිමිගේ ශිෂ්‍යයෙකු ලෙස 1982.05.04 වැනි දින මාවරගල ආරණ්‍ය සේනාසනස්ථ බද්ධ සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූහ. එහිදී රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වශයෙන් ද, අම්බලම්ගොඩ පඤ්ඤාවංස අනුනායක නාහිමිපාණන් වහන්සේ, වැලිගම සුමනරංසි අනුනායක නාහිමිපාණන් වහන්සේ සහ මාදුපිටියේ මේධානන්ද අධිකරණ නාහිමිපාණන් වහන්සේ කර්මාචාර්යන් වහන්සේ වශයෙන් ලැබීමට ද භාගවන්ත වූහ. 1991 මාර්තු මාසයේ දී ශාස්ත්‍රවේදී උපාධිය ලබා 1993 අප්‍රේල් මාසයේ ශී‍්‍ර ලංකා ගුරු සේවයට ඇතුළත් ව පළමු පත්වීම ලෙස මහියංගණය වෙලම්පැල කණිෂ්ට විද්‍යාලයේ පුරා වසර හයක් සේවය කර ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද සමත් වූහ.

වසර තිහකට ආසන්න කාලයක් දරුවන්ගේ නැණස පෑදූ අල්පේච්ඡ ගුණයෙන් හා භික්ෂු ගුණවලින් පිරිපුන් අප කථානායකයාණන් වහන්සේගේ පැවිදි සහෝදර පිරිස සියය ඉක්මවයි. ගම්පොළ අටභාගේ මහා විද්‍යාලයේ පාඨශාලාචාර්ය අළුයටවෙල සුධීරවංශ හිමි පැවිදි ශිෂ්‍යවරයකි. සැමගේ ආශීර්වාදයත්, තුනුරුවනේ අනන්ත ආශීර්වාදයත් ලැබී සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා තවත් බොහෝ කලක් ජාතික, ආගමික හා සමාජීය සේවය සැලසීමට ශතවස්සාධික නිදුක් නීරෝගී චිරජීවනය අප මාහිමිපාණන් වහන්සේට සැලසේවා!.