Print this Article


ලක් සඟ සසුනේ අනාගත අභියෝග

ලක් සඟ සසුනේ අනාගත අභියෝග

දෙවන පියතිස් රජු මිහින්තලා කණ්ඨක චේති අංගනයේ ලෙන් හැට අටක් පිළියෙළ කර මිහිඳු හිමි සමඟ වැඩි දූත පිරිසට හා ලක්දිව පැවිදි වූ අරිට්ඨ හිමි ඇතුළු පිරිසට වස් විසීමට සැලසූහ.එදා සිට දඹදිව භික්ෂූන් අතර තිබූ ආගමික සිරිත් මෙරට ව්‍යාප්ත විය.

බෞද්ධ ජනයා ගිහි සාමීචිපටිපදා ආදී ප්‍රතිපත්ති පූර්ණය කරමින් දෙලොව වැඩ සිදු කර ගත්හ.

මෙසේ මිහිඳු හිමිගේ ධර්මානුශාසකත්වයෙන් ජාතික වූත්, ආගමික වූත් සිරිත් අනුගමනය කරමින් ගිහි පැවිදි දෙපක්ෂය ගසත් පොත්තත් මෙන් එක්ව සම්බුදු සසුන රැක ගත්හ.

මාඝ, රාජසිංහ ආදී ශාසන විනාශකාරී දුෂ්ට රජවරුන්ගේ සමයන්හි අභාවයට යමින් සම්බුදු සසුන අඳුරෙන් අඳුරට ම ගමන් කරන්නට විය. සැදැහැති රජවරුන් විසින් කීපවිටක් ම උපසම්පදාව නැවත ප්‍රතිෂ්ඨාපනය කළ ද වැඩි කල් නොගොස් සසුන අතුරුදන් වූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් ය. එසේ වරින් වර පුනරුදයක් ඇති කිරීමට හැකි වූයේ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පයෙන් ගොඩනැඟුණු පරිසරයක් තුළ ඓතිහාසික ස්ථාන නටබුන්ව හෝ තිබූ බැවිනි.

නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ වැලිවිට සරණංකර මාහිමි සියම් දේශයෙන් දූත පිරිසක් වැඩමවා නැවත උපසම්පදාව පිහිටුවීමත් සමඟ නිවී යන ප්‍රදීපයකට තෙල් වත් කළාක් මෙන් සඟ සසුන ආලෝකවත් විය. එම සඟ සසුන විවිධ අභියෝග මැද මේ දක්වා ම පවත්වාගෙන එනු ලබයි.

බෞද්ධ භික්ෂුවකගේ පරම නිෂ්ඨාව නිර්වාණ අවබෝධයයි. පැවිදි වීමේ දී

“සබ්බ දුක්ඛ නිස්සරණ - නිබ්බාන සච්ඡිකරණත්ථාය

ඉමං කාසාවං ගහෙත්වා - පබ්බාජේථ මං භන්තේ”

ස්වාමීනි, සියලු දුක් කෙළවර කර ගැනීමට මේ සිවුරු ගෙන මා පැවිදි කරන සේක්වා යනුවෙන් ඉල්ලා සිටි.

බුද්ධ කාලයේ පැවිදි වූ බොහෝ අය වැඩිහිටියෝ ය. ඔවුන් යුග දිවිය ගත කර දරුවන් තැනූ, ජීවිතාවබෝධයෙන් යුතු, සැබෑවට ම සසර බිය දුටු පිරිසකි.

රාහුල සංකිච්ච ආදී කුඩා දරුවන් කිහිප දෙනකු සසුන්ගත වූයේ බුදු කෙනකුගේ අභියස දී නිර්වාණ අවබෝධය සඳහා තිබූ කුසලතා සංවර්ධනය හා පුණ්‍යකෘත මහිමය නිසා ය.

එදා මෙන් නොව වත්මන දියුණුවේ හිණිපෙත්තට නැඟි යුගයකි. නවීන තාක්ෂණික දියුණුව හා භාණ්ඩ බහුල වූ ලෝකයක සුඛෝපභෝගී ජීවිතවලට ඇලුම් කරන වත්මන් සමාජය ඉඳුරන් පිනවමින් කම් සුව වි¼දීමට තරගයක යෙදී සිටී. ඔවුන්ට දුක පිළිබඳ වැටහීමක් නැති තරම් ය.

ජනතා අවශ්‍යතා ඉටුකර දීමට අන්‍ය ආගම්වල පූජකවරු සිටිති. ඔවුන් කෙස් රැවුල් වවාගත්, ගිහි ඇඳුම් අඳීන, යාන වාහන පදවන, විවිධ වරප්‍රසාද භුක්ති විඳීන පිරිසකි.

බෞද්ධ භික්ෂුව පූජකයකු නොවේ. තම විමුක්තිය උදෙසා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් ඇත. උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා වඩමින් එම ප්‍රතිපදාවේ ගමන් කළ යුතු ය. සසර කලකිරී පැවිදි වන ඇතැම් භික්ෂූහු ආරණ්‍යගතව තම විමුක්තිය වෙනුවෙන් එම මඟ අනුගමනය කරති. සමීපයට පැමිණෙන අයට දහම් මඟ කියා දෙති. එවැනි සිල්වතුන්ට දන්දීමට, වන්දනා කිරීමට ගිහියෝ වැඩි කැමැත්තක් දක්වති.

ශ්‍රී ලාංකීය භික්ෂුව තම විමුක්තිය උදෙසා පැවිදි වුව ද පොදු ජනයාගේ පාංශුකූලය, බණ, පිරිත,බෝධි පූජාව, දානය ආදී ආගමික කටයුතු ද දහම් පාසල, ජාතික, ආගමික, සංස්කෘතික ආදී සියලු පොදු කටයුතු වෙනුවෙන් කාලය කැප කරමින් ජනතා අවශ්‍යතා ඉටුකළ යුතුව ඇත.

ජනතාවගේ පහසුකම් සපුරනු වස් විහාරස්ථානයේ අඩුපාඩු සංවර්ධනය කිරීමට ද උන්වහන්සේලාට සිදුවිය. කාර්යබහුල ග්‍රාමවාසී භික්ෂුවට ධර්ම ඥානය දියුණු කර ගැනීමට පොත පත පරිශීලනයට පවා වෙලාවක් නැති තරම් ය. ආරණ්‍යවල හා අසපුවල වැඩ සිටින ස්වාමීන් වහන්සේට එවැනි කටයුතු සඳහා අවශ්‍ය තරම් විවේකය ඇත.

මෙසේ පූජ්‍යත්වය ද රැකගෙන තම අභිමතාර්ථයන් ද සාධනය කරමින් ජනතාවගේ ආගමික අවශ්‍යතා ද ඉටු කර දෙමින් කටයුතු කරන ග්‍රාමවාසී භික්ෂුවට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇත.

අනාගතයේ දී විහාරස්ථානය රැකගෙන ජනතාවගේ ආගමික අවශ්‍යතා ද ඉටුකර දෙන සිසු පිරිසක් තැනිය යුතු ය. ඒ සඳහා දරුවන් පැවිදි කර මනා අධ්‍යාපනයක්, ශික්ෂණයක් ලබා දිය යුතු වුව ද වත්මන වන විට බොදු නිවෙස්වල දරුවන් එක්කෙනකු හෝ දෙදෙනෙකුට සීමාව ඇත.

ශාසනික හැඟීමකින් ඇතැම් මව්පියවරු තම දරුවන් සසුන් ගත කළ ද පවතින සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වයන් තුළ ඇතැම්හු ඒවායේ ගොදුරක් බවට පත් වී ශාසනික කටයුතුවලින් ඈත්වන ප්‍රවණතාවක් දැකිය හැකි ය.

බටහිර රටවල පවා බුදු දහම පිළිබඳ පිබිදීමක් දැකිය හැකි මෙවන් යුගයක බොහෝ රටවල ශ්‍රී ලාංකික විහාර ආරම්භ කර ඇත. ලංකාවේ කුඩා සාමණේර හිමිවරුන්ගේ ධර්ම ඥානය, විවිධ භාෂා කුසලතා නූතන ලෝකයට ගැලපෙන පරිදි සකස් කළ යුතු ය. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුව ඇත.

පවතින සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් තුළ ගිහි ජනතාව ද තරගයක යෙදී සිටි. භික්ෂුව පිළිබඳ සොයා බැලීමට ගිහියාට ද වෙලාවක් නැති තරම් ය. එයද සඟ සසුනේ ඉදිරි පැවැත්මට අභියෝගයක් වනු ඇත. මහින්දාගමනයෙන් ඇරඹුණේ ගමයි පන්සලයි වැවයි දාගැබයි සංකල්පය බව බෞද්ධ ජනතාව ද සිහියේ තබාගත යුතු ය. ලක් බුදු සසුන රැක ගැනීම ගිහි පැවිදි දෙපක්ෂයේ ම වගකීමයි.