Print this Article


සැබෑ බෞද්ධයා

සැබෑ බෞද්ධයා

“උපාසක පුණ්ඩරික" යනු බෞද්ධයකු වශයෙන් නම් කෙරෙන ලක්ෂණයකි. එවැනි පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇති බව, සිල්වත් අයකු බව, සුභ අසුභ වශයෙන් නො පිළිගත්තකු බව, කර්මය පිළිගත්තෙක් වීම හා තෙරුවන් පිළිබඳ විශ්වාසය යන ලක්ෂණ වේ.

මේ ආදී සත්පුරිස ධර්ම, මානව මිනිස් ධර්ම, අන්‍යයන්ගේ ගෞරවනීයත්වයට පත්වීම ආදී කරුණුවලට අනුව සැබෑ පුණ්ඩරික උපාසකයකු ලෙස සැලකිය හැකි ය.

‘සද්ධාය කුලපුත්තෝ බහුං පුඤ්ඤං පසවති” ශ්‍රද්ධාවෙන් යුතු බෞද්ධයා ශාසන විෂයයෙහි බොහෝ පින්දහම් කර ගන්නා බව බුදුරජාණන් වහන්සේ මෙහිදී අනුදැන වදාළා.

සද්ධාමාමක උපාසක, උපාසිකාවන් සැබෑ ලෙස සිතා තෙරුවන් සරණ ද, පංචසීල ප්‍රතිපදාව ද මැනවින් ආරක්ෂා කර ගනිති. තෙරුවන් කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇති කර ගනිති. සැබෑ ලෙස ධර්මය දැන ගනිති. භාවනා ද කරති. සසර බිය දකිති. තමන් ද, අන්‍යයන් ද සුමඟට ගැනෙති. උතුම් වූ නිවන් මඟ පසක් කර ගනිති.

මජ්ක්‍ධිම නිකායේ එන ඝටීකාර සූත්‍රයේ විස්තර වෙන්නේ එබඳු පුද්ගලයකු පිළිබඳ කියැවෙන පුවතකි.

ඝටීකාර යනු දුප්පත් මිනිසෙකි. වළං හදමින් දුක සේ ජීවත් වූවෙකි. එනමුත් ඔහු සතු වූ ශ්‍රද්ධාව අබමල් රේණුවක තරම්වත් අඩුකර ගත්තකු නොවේ. ඔහු හොඳ ආකල්ප, ගුණාංග රාශියකින් යුක්ත වූවෙකි. උපාසක පුණ්ඩරිකයෙකි. ඔහු ගේ මව්පියන් දෙනෙත් අන්ධ වූවෝ වූහ. එහෙත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය නිවසට වැඩමවා දන් දෙති. ඔහු සිය පරිභෝජනයට සපයා ගත් බොහෝ දේ බුදුරදුන් හා සංඝරත්නයට පරිභෝජනයට ලබා දෙති.

එහෙත් ඔහුගේ මිත්‍රයා වූ ජෝතිපාල තෙරුවන් කෙරෙහි අගුණ දකිති. පැහැදිලි අවබෝධයෙන් කතා නොකරන කෙනෙකි. විටෙක ඝටීකාර සමඟ බුදුරදුන් දකින ජෝතිපාල ධර්මය අසා පැහැදී ශාසනයේ පැවිදි වේ. පසුව තමන් බුදුන් දැක ගැනීමේ වටිනාකම ද දැන ගත්තේ, තම කල්‍යාණ මිත්‍ර වූ ඝටීකාර නිසා බව සතුටින් ප්‍රකාශ කළේ ය.

මහණෙනි, යමෙක් ධර්මය දකී ද හේ මා දකී (යෝ ධම්මං පස්සති සො මං පස්සති) මීට අනුව අද ජීවමාන බුදුරදුන් නොමැති වුව ද, ධර්මය ප්‍රතිපත්ති මත බුදුරදුන් දකිති. සද්ධාව උපදවා ගෙන කටයුතු කෙරෙති.

එකල්හි “යො ධම්මං පස්සති’ සො මංපස්සති” යමෙක් ධර්මය දකින්නේ ද ඔහු මා දකිනු ඇත යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

බුද්ධකාලීන සමාජයේ සිටි සුදත්ත සිටුතුමා හෙවත් අනාථපිණ්ඩික සිටුතුමා සහ විශාඛා මහෝපාසිකාව බුද්ධ ශාසනයේ ස්ථිර දායක තනතුරෙහිලා පිහිටුවා ලූහ. එදා මෙන් ම අද ද වටිනා ගුණධර්ම අගයන ශ්‍රද්ධාමාමක සත්පුරුෂයන් සිටි බවට මෙසේ වූ චරිත දිග හැරෙන අතර, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, මෙරට අසහාය බෞද්ධ නායකයකු වූ අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා වැනි යුග පුරුෂයන් පිළිබඳව ද සැලකිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ දේශනා කළ ධර්මය, උතුම් පූජා භූමි, සංඝරත්නය, උන්වහන්සේ වැඩි සිටින විහාරාරාම, පුදබිම් නැවත බොදුනුවන්ට අයිතිකර දීමට මේ වූ යුග පුරුෂයන් සිය ජීවිතය පරදුවට තබා ක්‍රියා කළ ආකාරය ඇගයිය යුතු ය. ධර්මය ශ්‍රවණය කිරීම පමණක් නොව ධර්මය පිළිපැදීම ට ද මෙකී සත්පුරුෂ ජීවිතවල දැකගත හැකි උදාරතර ගති ලක්ෂණයෝ ය. වත්මන් සමාජයේ ජීවත් වෙන අය තුළ බොහෝමයක් උපාසක ගති ලක්ෂණ නොමැත.

බෞද්ධයන් ලෙස පෙනී සිටිය ද බෞද්ධ ගති ලක්ෂණ කරන කියන ක්‍රියාවල දක්නට නොමැත. එකී අය හැඳින්වෙනුයේ “උපාසක චණ්ඩාල” නමිනි.

ඔවුන් සතු ගති ලක්ෂණ දහමේ මෙසේ දක්වා ඇත.

ශ්‍රද්ධාව නැත්තකු වීම ,දුසිල්වත් අයකු වීම, සුභ අසුභ නිමිති පිළිගැනීම, කර්මය නො පිළිගැනීම, තෙරුවන් හැර වෙනත් සරණ පිහිට පැතීම, මෙකී ලක්ෂණ අද බොහෝමයක් බෞද්ධයන් ලෙස පෙනී සිටින අය තුළ ඇති ලක්ෂණයෝ ය.

කෙනෙක් බුදුරජාණන් වහන්සේ, මහා සංඝරත්නය ගර්හාවට පත් කරති. ගරු කටයුතු ප්‍රතිපත්තිවලට හා ධර්මයට ගර්හා කරති. කාමය, රාගය තුළ ජීවිත ගෙවති. මේ සඳහා වැඩි කාලය ගත කරති. ආගම දහම විනාශ කිරීම සඳහා අනේකවිධ මුදල් යොදවති. ව්‍යාජ කූට උපක්‍රම කරති. පෙර විසූ ධර්මපාලතුමා වැනි උතුමන් ද, ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි ගුණගරුක පැවිදි උතුමන් කළ බෞද්ධ පුනරුදය අද ද අපි අනුස්මරණය කරමු.