Print this Article


ඇසළ පුර පසළොස්වක පෝ දා සිදු වූ මහා සන්නිවේදන විප්ලවය

ඇසළ පුර පසළොස්වක පෝ දා සිදු වූ මහා සන්නිවේදන විප්ලවය

ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස ලෝකයේ චින්තන විප්ලවයක් ඇති වූ කාල වකවානුවක් ලෙස හැඳීන්වෙයි. සත්‍ය ගවේෂී පුද්ගලයන් ජීවිතයේ පරම සත්‍යය කුමක්දැයි සොයමින් විවිධ වෘත අනුගමනය කරන්නට පෙළඹුණු වකවානුවකි මෙය. විශේෂයෙන්ම භාරතීය සමාජය නානාවිධ ලබ්ධීන් අනුගමනය කළ ශාස්තෘවරුන්ගෙන් පිරී පැවතුණු සමයකි.

ධ්‍යාන සමාපත්ති ලබා ගැනීමට සමත් වූ මේ ඇතැමුන් පරම මෝක්ෂය එය යැයි අනුගාමිකයින් රැස් කරමින් සිටියහ. පූර්ණ කස්සප, මක්ඛලීගෝසාල, අජිත කේසකම්බල, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධකච්චායන, නිගණ්ඨනාථපුත්ත ආදී ශාස්තෘවරුන් ඒ අතර කැපී පෙනිණ. මේ විවිධ ශාස්තෘවරුන් විවිධ වෘත අනුගමනය කරමින් සදාකාලික සැප සොයන මාර්ග ගවේෂණය කරමින් උන්හ. ඇතැම් අය සත්ව හැසිරීම් අනුකරණය කළහ. ඇතැම්මු අඩ නිරුවතින් ද, තවත් අය සම්පූර්ණයෙන් ම නිරුවතින් ද ස්වකීය ජීවිත ගෙන ගියහ. මේ අයගේ ඇතැම් චර්යාවන් වර්තමානයට සාපේක්ෂව ඉතාමත් ම ජුගුප්සාජනක ක්‍රියා ලෙස පෙනෙයි. නමුත් ඒ සියල්ලන්ට ම අනුගාමිකයෝ සිටියහ. මේ ඇතැම් අයගේ ආහාර පුරුදු ද විවිධාකාර ය. ඇතැමුන් ශාක භක්ෂක ය. තවත් අය ආහාර ගත්තේ දින දෙකකට වරකි. ඇතැම් අය සතියකට හෝ මාස භාගයකට වතාවක් ආහාර ගත්හ.

ඇසළ පුර පසළොස්වක පොහෝ දා සංස්කෘතික චින්තන විප්ලවය සිදුවූයේ මෙවන් වූ පසුබිමක දී ය. සත්‍යගවේෂී සිද්ධාර්ථ ගෞතමයාණන් සම්බුද්ධත්වයට පත්ව තමන් විසින් ගවේෂණය කරන ලද ශ්‍රී සද්ධර්මය ප්‍රථම වතාවට දේශනා කරන ලද්දේ ඇසළ පුර පසළොස්වක පොහෝ දාක ය. ඒ ඉසිපතනයේ මිගදායේ දී පස්වග තවුසන්ට ය. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, සහ අස්සජි යන තපස්වීන් පස් දෙනා බෝසතාණන් වහන්සේ සත්‍ය ගවේෂණය කරන සමයේ ඇප උපස්ථාන කරමින් ඔවුන් හා රැඳී සිටියහ. නමුත් ශරීරයට අධික ලෙස දුක් දෙන අත්තකිලමථානු යෝගයෙන් මිදී මධ්‍යම ප්‍රතිපදාවට පිවිසීම නිසා ඊට විරෝධය පා ඔවුන් බෝසතාණෝ හැර ගියෝය. නමුත් බුද්ධත්වයෙන් අනතුරුව තමන්ට ඇප උපස්ථාන කළ මේ මිතුරු තවුසන් පස්දෙනා හමුවීමට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. මෙය ලෝක සන්නිවේදන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ලෝකයේ බොහෝ තැන සම්භාවනාවට පත් වන බුදුදහම පහළ වූයේ මෙම සිදුවීමෙන් පසුව ය.

එමෙන්ම බුද්ධ ශාසනය විෂයෙහි අතිශයින් ම වැදගත් වන ප්‍රථම ධර්ම සංගායනාව සිදු වූයේද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක ය.

ශරීරයට අධික සැප දෙන කාමසුඛල්ලිකානුයෝගය හා ශරීරයට දුක් දෙන අත්තකිලමථානු යෝගය අතර වන මධ්‍යම ප්‍රතිපදාව තුළින් පමණක්, සම්‍යක් ඥානය පසක් කරගත හැකි බව බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට පැහැදිලි කළේ ඇසළ පුර පසළොස්වක පොහෝ දාක ය. සියල්ල හේතුවක් නිසා ඇතිවෙන බවත් හේතුව නැති කිරීමෙන් ඵලය නැති වන බවත් උන්වහන්සේගේ ප්‍රථම දේශනාව යි. බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව සිදුකළේ තමන් පිළිබඳ අප්‍රසාදයෙන් තමා හැරගිය කණ්ඩායමකට ය. කිසිදු ගරුසරුවක් නො දක්වා හුන් අසුනෙන් නැගී නො සිටින්නට අධිෂ්ඨාන කරගෙන සිටි පිරිසකට ය. නමුත් ඔවුන් බුදුරජාණන් වහන්සේ තමන් වෙත වඩින විට නැඟී සිටියහ. පා සිවුරු ගත්හ.; පා දෝවනය කළහ. අනතුරු ව ධර්මය ශ්‍රවණය කර මාර්ගඵලලාබීන් වූහ.

මෙම සිදුවීම නූතන සන්නිවේදන විධික්‍රම ඉගැන්වීම් හා මැනවින් සංසන්දනය කළ හැකි ය. සන්නිවේදන අධ්‍යයනය ආරම්භ කළ කාලයේ සිටම සන්නිවේදන විධික්‍රම ස්වයං සන්නිවේදනය, ඒකපුද්ගල සන්නිවේදනය, කුඩා කණ්ඩායම් සන්නිවේදනය, ජන සන්නිවේදනය හා විශ්ව සන්නිවේදනය වශයෙන් බෙදා තිබේ.

පස්වග මහණුන් මුණගැසුණු අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය වූයේ වර්තමානයේ දී බහුලව භාවිත වන කුඩා කණ්ඩායම් සන්නිවේදනය යි. ලෝකය වෙනස් කරන්නට යත්න දරන සෑම පුද්ගලයෙක් ම තම ක්‍රියාදාමය ආරම්භ කරනුයේ කුඩා කණ්ඩායම් සන්නිවේදනයෙනි. මෙය small group communication  ලෙස හැඳීන්වෙයි.

කුඩා කණ්ඩායම් සන්නිවේදනය පිළිබඳ නූතන සන්නිවේදන අධ්‍යයනයේ දී හමුවන පළමු පරීක්ෂණය වන්නේ කැලිෆෝනියාවේ සජීවී මැදිරියක කරන ලද පර්යේෂණය යි. 1950 දශකයේ දී එය සිදු කරනු ලැබ ඇත්තේ සමාජ මනෝ විද්‍යාඥයකු වූ රොබර්ට් බේල්ස් විසිනි. එම දශකයේ මැද භාගයේ දී ඔහු මේ පිළිබඳ ලිපි මාලාවක් ප්‍රකාශයට පත් කළේ ය. කණ්ඩායමේ සාමාජිකයන්ගේ විවිධ අදහස් සන්නිවේදනයේ අවසාන අරමුණ කරා ගමන් කිරීම බාධා කරන බව මේ පර්යේෂණ පත්‍රිකාවලින් පැහැදිලි වී තිබේ. නමුත් පසුව මේ පිළිබඳ පර්යේෂණ කළ සන්නිවේදන පර්යේෂකයකු වූ ආබි ෆිෂර් සඳහන් කළේ කුඩා කණ්ඩායම් සන්නිවේදනය දිශානති අවදියක්, ගැටුම් අවදියක්, තීරණයක් ළඟා කෙරෙන අවදියක්, මෙන්ම එම තීරණය ශක්තිමත් කෙරෙන අවදියක් වශයෙන් අවදි හතරකින් ක්‍රියාත්මක වන බවයි.

කරුණු පැහැදිලි කර ගැනීම් සඳහා බටහිර සන්නිවේදක පර්යේෂකයන් පැමිණි දුෂ්කර මාර්ගය පිළිබඳ සොයා බැලීමේ දී, බෞද්ධ සන්නිවේදන විධික්‍රම පිළිබඳව නිවැරැදි අධ්‍යනයක යෙදුනේ නම්, ඒ බොහෝ කරුණු අපට කල් තබා ම ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකිව තිබුණු බව පෙනේ. බුද්ධ චරිතය පුරාම විවිධ සන්නිවේදන ක්‍රම භාවිත කළ ආකාරය පැහැදිලිව සොයා ගත හැකි ය. මේ අතරින් බහුලවම දක්නට ලැබෙන්නේ කුඩා කණ්ඩායම් සන්නිවේදනය යි. ඉතාමත් සුවිශේෂී අවස්ථා කිහිපයක පුද්ගලාන්තර සන්නිවේදනයේ කදිම නිදසුන් හමුවෙයි. ස්වයං සන්නිවේදනය බෞද්ධ පිළිවෙත් අතර මුල් තැනක් ගනියි. විශ්ව සන්නිවේදනය ලෙස හැඳීන්වෙන්නේ අනන්ත වූ විශ්වයට පණිවිඩය යැවීම යි.

කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ දී කණ්ඩායම් තුළ ප්‍රබල සන්නිවේදකයෙක් මතු විය යුතුය. එසේ නො වන්නේ නම් කණ්ඩායම එකම අරමුණක් කරා යොමුවන්නේ නැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රසාද හැඟීමකින් සිටි මෙම තවුසන් පස්දෙනාම උන්වහන්සේ ගේ පැමිණීමත් සමඟම තම ස්ථාවරය වෙනස් කළේ කවර කරුණක් නිසා ද යන්න සොයා බැලිය යුතු ය.

බෞද්ධ සාහිත්‍යයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණය ලෙස විස්තර වන්නේ බුදුරජාණන් වහන්සේගේ පෞරුෂය යි. උන්වහන්සේ දේහ ලක්ෂණ වශයෙන් පෞරුෂයෙන් සපිරි ය. අනෙක් අතට එම ස්ථානයට උන්වහන්සේ වැඩම කළේ තමන් පරම සත්‍යය අවබෝධ කර ගත් බව පසක් කර ගනිමිනි. ඒ අනුව උන්වහන්සේ තුළින් මතු වූ නායකත්ව ලක්ෂණ පස්වග මහණුන් අනුගාමිකයින් බවට පත් කළේ ය. මේ නිසා ඔවුන් බුදුරජාණන් වහන්සේගේ දේශනයට සවන්දීමට එක්සිත්ව සූදානම් වූහ.

කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ දී සන්නිවේදකයා තුළ තිබිය යුතු අනිවාර්ය ලක්ෂණයක් ලෙස “ සමීප මිත්‍රත්වය හෝ ඇඟෑලුම්බව “ බටහිර සන්නිවේදනයේ දක්වා තිබේ. එය විස්තර කෙරෙනුයේ intimacy  යන වදනිනි. මෙහි අරුත අතිශයින් සමීප යන්න යි. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මෙම අරුතෙන් ම පැහැදිලි කළ හැකි ය. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමඟම මුලින්ම කල්පනා කළේ තමන්ට උවටැන් කළ පුද්ගලයන් ය. ඔවුන් තමන්ව ප්‍රතික්ෂේප කර ඉවත්ව ගිය ද,තමා අවබෝධ කරගත් ධර්මය මුලින්ම ඔවුනට කියාදීම උන්වහන්සේගේ අධිෂ්ඨානය විය. සාර්ථක සන්නිවේදකයකුට නිශ්චිත අරමුණක් මෙන්ම තම ග්‍රාහකයා පිළිබඳ සැබෑ කරුණාවක් අවශ්‍ය බව පර්යේෂණවලින් තොරව ම මෙබඳු ඓතිහාසික සංසිද්ධීන් විසින් පැහැදිලි කර දී තිබේ.

බුද්ධ දර්ශනයේ පරම අරමුණ නිර්වාණය යි. ඉසිපතනයේ මිගදායෙහි දී ආරම්භ වූ සන්නිවේදන කාර්යයේ මුඛ්‍ය පරමාර්ථය ඉටුවිය. පස්වග තවුසන් සියලුදෙනා ක්‍රමානුකූලව නිර්වාණගාමී වූහ. කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ තවත් ලක්ෂණයක් වන්නේ “සංවිධානගත නිරවුල්භාවය භාවය යි“. එය organizational clarity ලෙස හැඳීන්වෙයි. පස්වග තවුසන් සමඟ ඇති වූ සංවාදය ඉලක්කගත අරමුණ වෙනුවෙන් වෙන් වූ පැහැදිලි කිරීම් සහ ප්‍රතිපෝෂණවලින් පිරි එකකි. දැනුම කාර්යක්ෂමව බෙදා ගැනීමට පුළුවන් වන, එමෙන්ම ප්‍රශ්න ඇසීමටත් පිළිතුරු දීමටත් අවස්ථාව සහිත සන්නිවේදන මාර්ගයක් මෙම කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ තිබිය යුතු බව වර්තමාන ඉගැන්වීමයි. බුද්ධ චරිත විස්තරවල එන, පස්වග මහණුන් සහ බුදුන් වහන්සේ අතර ඇති වූ සංවාදය මීට කදිම නිදසුනකි. ප්‍රථම ධර්ම දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ නැමති මේ පස් දෙනා අතර සිටින ජ්‍යෙෂ්ඨයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වූයේ පළමු හමුවේ දී ම ඔහු මෙම සන්නිවේදනයේ උපරිම ප්‍රතිඵලය ලැබූ නිසා ය.

කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වරදවා වටහා ගැනීම් වැළැක්වීම සහ නො පැහැදිලි බව අඩු කිරීමයි. එමෙන්ම ඒ මගින් සහයෝගීතාව සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පෝෂණය වෙයි. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය“ (මහණෙනි,බොහෝ දෙනාගේ හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්න) යන සම්බුදු නියෝගයට අනුව කණ්ඩායම් සාමාජිකයෝ ධර්ම ප්‍රචාරය සඳහා බෙදී ගියේ ද, කෙටි කලකින් ශ්‍රාවක පිරිස විශාල ලෙස වර්ධනය වූයේ ද මේ ලක්ෂණය නිසා ය.

සාර්ථක වූ කුඩා කණ්ඩායම් සන්නිවේදනයක විශේෂ ලක්ෂණයක් වනුයේ කණ්ඩායම එකම අරමුණකින් ක්‍රියා කිරීමය. එමෙන්ම නිශ්චිත විනයක පිහිටා එම කණ්ඩායම ක්‍රියා කරයි. අදහස් ප්‍රකාශ කිරීමේ දී පරස්පරතා ඇති නොවේ. මෙය සන්නිවේදනය වූ අරමුණ ඉලක්කයක් සේ ගෙන එය දිනාගැනීම සඳහා සිදුකෙරෙන පුහුණුවයි (training)  කුඩා කණ්ඩායම් සන්නිවේදනයක තිබිය යුතු තුන්වන ලක්ෂණය එයයි. මෙය ආගමික වශයෙන් වන ආධ්‍යාත්මික අරමුණු උදෙසා මෙන්ම ත්‍රස්තවාදී විනාශකාරී ක්‍රියා සදහා වුව ද පොදු ය.

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් අපූරු නිදර්ශනයක් මෙහි ලා සිහිපත් වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සන්නිවේදක පිරිසට අයත් වන අස්සජි රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට හමුවෙයි.

ඉසිපතනයේ මිගදායෙහි දී උගත් බුදුරජාණන් වහන්සේගේ හේතුඵල දහම එහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ “ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහං“ ආදී වශයෙන් පිරිසිදුව සහ පරස්පරතාවකින් තොරව ය.

සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ප්‍රථම සංඝ සම්මේලනය සේ හැඳීන්වෙන්නේ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේ දෙපළ ඇතුළුව 1250ක් මහ රහතන් වහන්සේලා වේළුවනයට එක්වූ මොහොත ය. මෙය ප්‍රථම සංඝ සන්නිපාතය ලෙස හැඳින්වේ. පස්වග මහණුන්ගෙන් ආරම්භ වී තුන්බෑ ජටිල භික්ෂූන්ගෙන් සහ අනුගාමිකයන්ගෙන් යුක්ත වූ මෙම පිරිස ධර්ම ප්‍රචාරය සඳහා විවිධ දිශාවලට වෙන්ව ගියෝ ය. බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි දෙදෙනෙක් එක මඟ නො ගියහ. ඔවුන් සංචාරය කළේ බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත් දහම ප්‍රචළිත කිරීමේ අරමුණිනි.

මේ පිරිස් සියලු කෙලෙසුන් නසා රහත් බවට පත්ව සිටිය ද එසේ ධර්ම ප්‍රචාරය සඳහා නික්ම යාමට පෙර බුදුන් වහන්සේ ඒ සියලු දෙනා රැස් කර ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය වර්තමාන සන්නිවේදන විධික්‍රම සමඟ සසඳන විට කුඩා කණ්ඩායම් සන්නිවේදනයේ හතරවන පියවර යි.

එය හැඳීන්වෙන්නේ “ක්‍රියාවලිය සහ තාක්ෂණය“ ර්‍ථපධජඥඵඵ චදඤ බඥජඩදධතධඨර ලෙසයි. සන්නිවේදන කාර්යාවලියේ දී ද සෙසු සෑම අවස්ථාවක දී මෙන් ක්‍රියාවලිය සහ තාක්ෂණය අත්වැල් බැඳගනී. වර්තමානයේ දී නම් තාක්ෂණ මෙවලම් භාවිතය විය හැකි ය. එහෙත් සන්නිවේදන කාර්යයේ දී තාක්ෂණය යනු මෙවලම් භාවිතය ම පමණක් නොවේ.

බෞද්ධ ශාසන ඉතිහාසයේ එන බෝධිසත්වයන් වහන්සේට අවශ්‍ය වූයේ තනිව නිර්වාණය සාක්ෂාත් කර ගැනීම නොව සකල ලෝකවාසීන්ම සසර දුකින් මුදා ගැනීමට ය. බුද්ධත්වය වෙනුවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අවසන උන්වහන්සේ සය අවුරුදු දුෂ්කර ක්‍රියාවක් ද සිදු කළේ ය. එසේ අවබෝධ කර ගත් දහම පස්වග මහණුන්ගෙන් පටන්ගෙන මහරහතුන් හරහා සියලු ලෝකවාසීන් වෙත බෙදා හැරීම උන්වහන්සේගේ අරමුණ විය. ඒ අනුව උන්වහන්සේ ස්වකීය කණ්ඩායම් සකස් කළෝ ය. ඒ සකස් කිරීමේ දී දහම ප්‍රචාරය කළ යුතු ක්‍රියාවලිය මෙන්ම ජනතා සිත් සතන් ඔස්සේ එය පැහැදිලි කර දිය යුතු තාක්ෂණය ද ඔවුනට ඉගැන්වූයේය. ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවේ සරල අරුත එයයි. එහි උගන්වා ඇත්තේ ධර්ම වාහකයකු විය හැකි තාක්ෂණය යි.

“ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට‘ යනුවෙන් ලෝකෝපකාරය කියන්නේ ද මෙයයි. ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවට අනුව ඉවසීම ප්‍රධාන ලක්ෂණයකි. අනුන් දිවි නසන පුද්ගලයෝ පැවිද්දෝ නොවෙති. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් ද නොවේ. ආදී වශයෙන් එම සූත්‍රයේ කරුණු දක්වා තිබේ

නූතන පඬිවරුන්ගේ න්‍යායයන් විටින් විට වෙනස් වෙයි. නව සොයා ගැනීමක් විසින් පැරැණි අදහස ප්‍රතික්ෂේප වෙයි. කෙසේ වෙතත් මේ සියල්ල නව දැනුම ලෙස අපි එක්රැස් කරමින් සිටිමු. එහි ඇති වරදක් නැත. නමුත් අතීතයේ ඇතැම් සිදුවීම් මෙන්ම අප පැහැදිලිව ම දන්නා දේ විශ්ලේෂණය කළේ නම් බොහෝ විට නුතන න්‍යායන් පැරැණි භාවිතය තුළ සොයාගත හැකි බව පැහැදිලි ය.