Print this Article


දුක සේ විඳිය යුතු බරපතළ කර්ම විපාක

දුක සේ විඳිය යුතු බරපතළ කර්ම විපාක

පාලි භාෂාවේ නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින භූමිවලින් එකක් වන්නේ නිරයයි.

තමන් විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද, නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ද සංඝ සමාජයට ද එරෙහිව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහ නරකයෙහි උපන් සැටිත්, පැවිදිව සිට රැකි සීලාදී ගුණ ධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකාදියෙන් මිදී අවුත් අනාගතයේ දී ඝට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කර ඇත.

අද අපි මෙම ලිපියෙන් මහා නිරය අට පිළිබඳ සරලව විමසා බලමු. මේ මහා නිරය අට නම්

සංජීව නරකය, කාළසුත්ත නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහාරෞද්‍රව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය, අවීචි නරකයයි.

මෙයින් සංජීව නරකයෙහි වැටුණු පව් කළ අය එම නිරය පාලකයන් විසින් දිළිසෙන රත් වූ ආයුධවලින් තලා පොඩිකර කෑලිවලට කපනු ලැබේ. ඔවුන්ගේ පව්කම් විපාක දී අවසන් වන තෙක් ම ඔවුහු මේ දඬුවම නැවත නැවතත් විඳිති. තමා කළ පවට අනුරූපව නැවත නැවතත් එකම දඬුවම බොහෝ කල් විඳින්නට සිදුවන නිසා මේ නිරය සංජීව නරකය ලෙස හැඳින්වේ.

මිනිස් ලොව පනස් අවුරුද්දක් චාතුම්මහාරාජිකයෙහි දෙවියන්ට එක් දවසකි. එදවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුද්දක් වේ. ඒ අවුරුද්දෙන් එකී දෙවියනට පන්සියයක් අවුරුදු ආයුෂ ය.

ඒ දිව්‍යායුෂ වූ අවුරුදු පන්සියය සංජීව නරකයෙහි එක් දවසක් වේ. එ දවසින් තිස් දවසක් මසක් වෙයි. එමසින් දොළොස් මසක් අවුරුදු වෙයි. ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මේ අනුව මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ අනූලක්ෂයක් මේ නිරයට එක් දිනයකි.

එබඳු දින තිහක් මාසයකි. මාස දොළසක් අවුරුද්දකි. එබඳු වසර පන්සියයක් සංජීව නරකයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

කාළසුත්ත නරකයෙහි යම පල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුර කළු පැහැ ගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වෑයෙන් සසිනු ලැබේ. මේ දඬුවම තමන් විසින් කරන ලද පාප කර්මයේ ශක්තිය හා ප්‍රමාණය අවසන් වන තෙක් විඳින්නට ඔවුන්ට සිදුවේ. මේ නරකයෙහි වැටුණු නිරි සතුන්ගේ සිරුරු කළු හුලකින් සලකුණු කෙරෙන නිසා එම නරකයට කාළසුත්ත (කළුහුල) යන නම ව්‍යවහාර කරනු ලැබේ.

මිනිස් ලොව සියක් අවුරුද්දක් තව්තිසා වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. ඒ දවසින් එහි දෙවියන්ට පූර්වෝක්ත ක්‍රමයෙන් දහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු ආයුෂය ඒ දිව්‍යායුෂ සහස්‍රය කාළසුත්ත නරකයෙහි එක් දවසක් වෙයි. ඒ දවසින් දහසක් අවුරුදු එම නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර තුන්කෝටි හැට ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළසක් අවුරුද්දකි. එබඳු වසර දහසක් කාළසුත්තයෙහි ආයුෂ ප්‍රමාණය වේ.

සංඝාත නරකයෙහි උපන් පව් කළ තැනැත්තෝ දිලිසෙන උණුසුම් කඳු වළල්ලකින් දූවිලි තරමට කුඩා කැබලිවලට කඩාදමන හෙයින් මෙම නරකයට සංඝාත යන නම ව්‍යවහාර වේ.

මිනිස් ලොව දෙසියක් අවුරුදු යාම දෙව්ලොව දෙවියන්ට එක් දවසක් වෙයි. එ දවසින් එහි දෙවියන්ට දෙදහසක් අවුරුදු ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සංඝාත නරකයේ එක් දවසක් වෙයි. එ දවසින් දෙදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වසර දාහතර කෝටි හතළිස් ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු වසර දෙදහසක් සංඝාත නරකයේ ආයුෂ වේ.

මිනිස් ලොව හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පනස්හත් කෝටි හැටලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.

මහා රෞරව නරකයෙහි උපදින සත්වයෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහ හඬින් විලාප දෙති. මහා රෞරව යන වචන එයට ව්‍යවහාර කරන්නේ ඒ හේතුවෙනි. එසේ මේ නරකයෙහි උපදින සත්ත්වයෝ අපායේ ගිනිදැල්වලින් නිරන්තරයෙන් පිළිස්සෙමින් දුක් විඳී. එහෙයින් ඊට ජාල රෝරුව යන නම ද යෙදේ.

මිනිස් ලොව අටසියයක් අවුරුදු නිම්මානරතියේ දෙවියන්ට එක් දවසක් වෙයි. එ දවසින් අටදහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ දෙසියතිස් කෝටි හතළිස් ලක්ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු අටදහසක් මහා රෞරව නිරයට ආයුෂ වන්නේ ය.

තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූපව රත්වීමෙන් රත්පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසාරු කර ගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන්ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන්වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනිගත් අයෝමය දණ්ඩෙන් සිරුර විදිනා කල්හි එයින් බොහෝ කලක් තැවී තැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්විණි.

මිනිස් ලොව එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වස වත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එ දවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එ දවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.

මහා තාපන නරකය ලෙස හැඳින්වෙන නරකයෙහි නිරය පාලකයෝ නිරයෙහි උපන් සත්වයන් ගිනිගෙන දිළිසෙන අයෝමය කඳු මුදුන්වලට යවති. ඔවුහු එහි නැඟී වහාම තද උණුසුම් සුළඟකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේ ද පහළ ඇති ගිනියම් වූ අයෝමය තහඩු මතට ම ය. එයින් ඔවුහු වඩ වඩාත් දරුණු පීඩාවට ලක්වෙති. තමන් මෙයට පෙර ආත්ම භවයේදී කළ බලවත් පාප කර්මයන්ගේ ශක්තිය අවසන් වන තුරු ඔවුහු මෙසේ අනන්ත දීර්ඝ කාලයක් අපමණ දුක් විඳිති. මෙම ප්‍රතාප නම් සත්වන නරකයෙහි අන්තඞකල්පයකින් අර්ධයකට ආයුෂ වන්නේ ය.

අවීචි මහා නරකය, සියලු නරකයන්ට වඩා ඉතා පහත් වූ ද භයානක වූ ද නරකයයි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුර බුරා නැගෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මය වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි.

අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය.

ඉතා බරපතළ පාපකර්ම කළ කිහිප දෙනෙකු අවීචිමහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්ණා තෙරණිය දුෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි.

බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති. ඔහුගේ ශරීරය යොදුන් සියයක් උස ය. ඔහුගේ හිස හා කන හරහා ගිනිගෙන දිළිසෙන අයෝමය ඉන්නක් ඇතුළු වේ. ඔහුගේ දෙපා වළලුකර දක්වා ගිනිගෙන දිලිසෙන අයෝමය බිමක එරී යයි. තල් ගසක කඳක් තරම් මහත අයෝමය ඉන්නක් බටහිර බිත්තියෙන් පැමිණ ඔහුගේ කන මත්තෙන් විනිවිද ගොස් නැඟෙනහිර බිත්තිය දක්වා දිව යයි.

එවැනි ම තවත් අයෝමය ඉන්නක් දකුණු පස බිත්තියෙන් පැමිණ ඔහුගේ සිරුර විනිවිද ගොස් වම්පස බිත්තිය දක්වා දිව යයි. එහි සිවිලිමෙන් වෑහෙන ගිනි දැල්වලින් ඔහුගේ සියලු ශරීරය ම විනිවිද යමින් වියළා දමන අතර, පහත බිමෙන් පැන නඟින ගිනිගෙන දිලිසෙන රතු පැහැ අයෝමය ඉන්නක් සිරුර විනිවිද යයි. ඔහුගේ දෑත් ගිනිගෙන දිලිසෙන රතු පැහැ අයෝමය දම්වැලකින් බැඳ තිබේ.

මේ අටමහා නිරයන්ගෙන් එක් නිරයක් වටා තවත් නිරය 16ක් ඇත. මේ අටමහා නිරයන් හතරැස් ස්වරූපයක් ගන්නා අතර එක් නිරයකට ඔසුපත් නිරය නම් කුඩා නිරයන් 16කි. මේ අනුව ඔසුපත් නිරය 128කි. අටමහා නිරයන් සහිතව නිරය 136කි.

නිරයේ දුක් විඳින්මෝ සදාකාලිකව ම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසන් වූ පසුව ඔවුහු වෙනත් භවයක උපත ලබති.