Print this Article


කරුණාව දන් දෙමු

කරුණාව දන් දෙමු

කරුණාව කියන වචනය පවා සිතට සැනසීමක්. අන් අයගේ කායික මානසික දුකක් වෙහෙසක් දකින විට තමාගේ හදවතේ ඇතිවන අනුකම්පාව කරුණාවයි. අනේ මේ අය කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. කායික පීඩා නැත්තෝ වේවා. මානසික පීඩා නැත්තෝ වේවා. එලෙස හැඟීමක් ඇතිවෙනවා නම් ඒකටයි කරුණාව කියන්නේ. කරුණාව කියන දේ කායිකව පුරුදු කරන්න ඕනෑ. කරුණාව ඉරියව්වෙන් පුරුදු කරන්න ඕනෑ. කරුණාව වචනයෙනුත් පුරුදු කරන්න ඕනෑ. එබඳු කෙනකුට හිත ඇතුළේ කරුණාව පුරුදු කරනවා කියන එක හරිම පහසුයි.

පිරිසක් මැද අපි කොහොමද කරුණාවන්තව ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අන් අය කරුණාවන්ත වූවත් නැතත් මම කරුණාවන්ත වෙනවා කියලා හිතට ගන්න කියලයි. මම නිතරම කරුණාවන්ත සිතකින් වාසය කරනවායි සිතට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ඕන.

මේ ලෝකයේ අකාරුණික බව කියන්නේ හරි වෙහෙසකර බවක්. ඒ වෙහෙසකර පාරේ මම යන්නේ නැහැ. මම යන්නේ කරුණාව නම් සුන්දර මාවතේ. අන් අය අසුන්දර පාරක ගියත් මම කරුණාව නම් සුන්දර මාවතේ යනවා කියා ශ්‍රාවකයා සිහිකළ යුතුයි.

දිනක් භාග්‍යවතුන් වහන්සේ මාවතේ පිණ්ඩපාතයේ වඩිමින් සිටියේ. පොඩි දරුවෝ ටිකක් අතින් මුගුරු ගෙන සර්පයකුට ගහනවා. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ එතැනට වැඩියා. භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා “දරුවෙනි ඔබලා මෙලෙස පොලු මුගුරු තබාගෙන කුමක්ද මේ කරන්නේ?”

ස්වාමිනී විෂඝෝර සර්පයෙක් මේ මාවතේ යනවා අපි ඒ සතාට ගහනවා.”

“දරුවනි, කවුරු හරි ඔබලාට වටකරගෙන ගහනවාට කැමතිද?”

“නැත ස්වාමීනි”

“දරුවනි කවුරුහරි වටකරගෙන ගහලා ඔබලා මරා දමනවාට කැමැතිද?”

“නැත ස්වාමීනි”

“එහෙම නම් පින්වත් දරුවනි, සියලුම දෙනා ඒ වගේනේ. හැමෝම දඬුවමට බයයි. මරණයට බයයි. තමන් උපමාවට ගන්න. කිසිවකුට හිංසා කරන්න එපා”

කියා වදාළා. ඒ සම්බුදු කරුණාව කෙතරම් ද? භාග්‍යවතුන් වහන්සේ කරුණාව ගැන අපට කියා දුන්නේ ඒ විදිහට.

එනිසා අපිත් නිතරම කරුණාව දන් දෙමු. ජීවිතයට පුරුදු කරමු. ජීවිත කාලයේ ම ඒ කරුණාව ඔබට සැපය උපදවා දෙනවා. කාරුණික සිතක් උපදවා ගෙන මුළු ජීවිතය ම සැනසිල්ලේ ගත කරන්න අපට ශක්තිය ලැබේවා.