Print this Article


ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ

වර්තමාන නේපාලයේ ඉන්දියානු දේශ සීමාවේ කපිලවස්තු නගරයෙහි ලුම්බිණි සල් උද්‍යානයෙහි දී ලොව ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරයා වීමට භාග්‍යසම්පන්න වූ රජ කුමරෙක් උපන්නේ ය.

කපිල වස්තු පුරයේ පාලකයා වූ සුද්ධෝදන රජතුමාට දාව මහාමායා කුසයෙන් වෙසක් පුන් පොහෝ දින උපත ලද සිද්ධාර්ථ කුමරා එම වියේ පසු වූ සෙසු දරුවන්ට වඩා සියලු ආකාරයෙන් ම වෙනස් අයකු බව බෞද්ධ මූලාශ්‍රවලින් හෙළි වේ. උපතින් පස්වන දින කුමරාට සිද්ධත්ථ (සිද්ධාර්ථ) යන නම තබන ලදී. සිද්ධාර්ථ යන්නෙහි තේරුම බලාපොරොත්තු ඉටුවීම යන අදහස යි.

එතුමාගේ ගෝත්‍ර නාමය වූයේ ගෝතම යන්න යි. කුමරාගේ නළලෙහි වූ දකුණට කැරකුණු ඌර්ණ රෝමය දැක එක ඇඟිල්ලක් පමණක් ඔසවා මේ කුමරු ඒකාන්තයෙන් ම ගිහිගෙය හැරගොස් බුද්ධත්වය ලබන්නේ යැයි ප්‍රකාශ කරන ලද්දේ ළාබාල ම වුවත් නුවණින් උසස් ම තැනැත්තා වූ කොණ්ඩඤ්ඤ තවුසා ය. කුමරුන් බාල වියේදී ඉතා වැදගත් සිදුවීමක් වාර්තා වෙයි. අපූරු ආධ්‍යාත්මික අත්දැකීමක් වූ එය පසු කලෙක ලද සම්මා සම්බුද්ධත්වයට ද පදනම වූයේ ය.

විවාහ දිවියට

රජ පවුලක දරුවකු වශයෙන් සිදුහත් කුමරු උසස් අධ්‍යාපනයක් ලැබුවාට සැක නැත. රාජ කුමරුවකුට උරුම පරිද්දෙන් කුමරුට රණ ශිල්ප විෂයයෙහි දැනුමක් ලබා දෙන ලදී. සොළොස් හැවිරිදි තුරුණු වියේ දී ම හෙතෙම සමවියේ පසු වූ රූමත් උගත් තරුණියක වූ යශෝධරා කුමරිය විවාහ කර ගත්තේ ය. ඉසුරු හා සුව සම්පත් මැද වසමින් ම ලොව පිරී ඇත්තේ දුකින් බව පසක් කරන්න කුමාරයා සමර්ථ විය.

සත්‍ය සෙවීම

ගෘහස්ථ ජීවිතය බාධක සහිත ය. කෙලෙස් දූවිල්ලෙන් පිරුණේ ය. ගිහිගෙය හැර අනගාරිකත්වයට පත්වීමෙන් ලබන පැවිද්ද අත්‍යවශ්‍ය මෙන් නිදහස් විය. ගිහි ජීවිතයට බැඳී වසන්නවුනට පැවිද්දාට මෙන් පරම පවිත්‍ර බ්‍රහ්මචාරී ජීවිතය අංග සම්පූර්ණ ලෙස ගත කිරීම පහසු නොවන බව වටහා ගත්තේ ය. ලෝකයා විසින් උත්කර්ෂයෙන් අගය කරනු ලබන කාම සුඛාස්වාදයෙහි නිසරු බව හා නුවණැත්තෝ සතුටෙන් වැළඳ ගත්නා නෛෂ්ක්‍රම්‍යයෙහි අගය අවබෝධ කරගෙන සත්‍යය හා සදාකාලික නිවන් සුවය සොයා සියල්ල අත්හැර යන්නට තීරණය කළේ ය. පැවිදිවීම එතුමන්ගේ එකම බලාපොරොත්තු විය. එය ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයකි. සඳ එළියෙන් මුළු නුවර ම ආලෝකවත් ව තිබුණි. කුමරු කන්ථක අසුපිට නැඟී ඡන්න ඇමති සමඟ නගරයෙන් නික්මිණි. එය මහා අභිනිෂ්ක්‍රමණය යි. එය කාමයන්ගෙන් නික්මීම පිළිබඳ ඉතා දුෂ්කර කාර්යයක් විය.

අභිනිෂ්ක්‍රමණයෙන් පසු මුල් කාල සීමාව තුළ දී ඒ අවදියේ ප්‍රසිද්ධියට හා ගෞරවයට පත්ව සිටි ආගමික ශාස්තෘවරුන් වෙතින් උන්වහන්සේ උපදෙස් පැතූහ. එහෙත් තමන් සෙවු දෙය උපදෙස්වලින් ලබා ගැනීමට හැකි නොවීය. එනිසා තමන් වෙනුවෙන් තමන් ම සිතන්නට පරිසරය විසින් උන්වහන්සේ මෙහෙයවනු ලැබිණි. තමා තුළින් ම සත්‍යය සෙවීමට උන්වහන්සේට සිදුවිය. චින්තනයෙහි ගාම්භීරත්වයට ම කිමිදෙමින්, පෙර නොදත් ගැඹුරු සත්‍යය අවබෝධ කර ගන්නට එතුමෝ සමත් වූහ.

දැනගත යුතු සියල්ල දැනගත් නිසාත්, සියලු ඥානයට මඟ උන්වහන්සේ වෙත වූ හෙයිනුත්, සබ්බඤ්ඤු හෙවත් සර්වඥයන් වහන්සේ යැයි උන්වහන්සේ නම් කරනු උචිත වේ. මේ උත්තරීතර ඥානය උන්වහන්සේ ලබා ගත්තේ ආත්ම ගණනාවක් තිස්සේ එක් රැස්කොට ගත් තමන් වහන්සේගේ ම බෝධිසම්භාර පූර්ණය හේතුවෙනි.

බුද්ධත්වය සඳහා උන්වහන්සේට ගුරුවරයෙක් නොවූහ. තමන් වහන්සේට ගුරුවරයෙක් නොවූ බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ ලෞකික දැනුම තම ගුරුවරුන්ගෙන් ලබාගත් බව සත්‍යයකි. එහෙත් ලෝකෝත්තර දැනුම කිසිවක් ගුරුවරුන්ගෙන් ලබා ගත්තේ නැත. ඒවා උන්වහන්සේ විසින්ම සිය උත්තරීතර මානසික ඥානයෙන් පසක් කළ සේක. සය වසරක් පුරා කරන ලද දුෂ්කර චර්යාවකින් පසු සියලු සංස්කාරයන් යථා ස්වභාවය ඇති සැටියෙන් ස්වකීය ප්‍රතිභා ඥානයෙන් ම ප්‍රත්‍යක්ෂ කරගෙන සකල ක්ලේෂයන් ප්‍රහානය කොට තිස්පස්වන වියේ දී සියලු ක්ලේෂයන් නැති කිරීමෙන් ලබන ආසවක්ඛය ඥානය ලබා වෙසක් පුන් පොහෝදා බුද්ධත්වයට පත් වූ සේක.

මනුෂ්‍යත්වයට වටිනාකමක් හඳුන්වා දීම

“බුද්ධ” යන පාලි වචනය අවබෝධ කර ගැනීමෙන් හෝ පිබිදීම යන අරුත් ඇති බුද්ධ නම් මූල්‍යයෙන් සම්පාදනය වන්නනි. චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ කර ගත් හෙයින් ද, අවිද්‍යාව පිළිබඳ නින්දෙන් පිබිදුනු නිසා ද උන්වහන්සේට “බුද්ධ යැයි පවසනු ලැබේ.

උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තා පමණක් නොව ධර්මය දේශනා කොට අන්‍යයන්ට ද අවබෝධ කරවන හෙයින් සම්මා සම්බුද්ධ නමින් ද හැඳින්විය හැකි ය. එක් විශේෂ කාලපරිච්ඡේදයක් තුළදී පහළ වන්නේ එක් සම්මා සම්බුදු කෙනෙක් පමණි.

එක් ලෝක ධාතුවක පහළ වන්නේ එක් සම්බුදුවරයෙක් පමණි.

බුදුවරයන් වහන්සේගේ පා සටහනේ මංගල ලක්ෂණ දුටු ද්‍රෝණ නම් එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් ඇසු ප්‍රශ්න කිහිපයක දී එයට පිළිතුරු ලෙස ප්‍රකාශ කර සිටියේ දෙවියකු, ගාන්ධර්වයකු, යක්ෂයකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසර උපදින්නට හේතු වන කරුණු සියල්ල තමා විසින් සිඳ දැමූ බවයි.

බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙක් ම වූහ. මිනිසකු වශයෙන් උපත ලබා බුදුරදුන් ලෙස ජීවත් වී බුදුවරයකු ලෙස පිරිනිවන් පෑහ. මිනිසකු වුවද මේ වැදගත් ගුණාංග හේතුවෙන් උත්තරීතර මනුෂ්‍යයකු බවට පත්වූහ. තමන් වහන්සේ ක්ෂාත් ක්ෂාත් කර ගත් අධිගමනය තමන් වහන්සේට ම සීමා කර නොගෙන ලෝ සතුනට දයාවෙන් ඔවුන්ගේ නිලීණ ශක්තිය හා මිනිස් මනසෙහි අනගිභවනීය බල මහිමය අවධාරණයෙන් හෙළි කළහ.

මිනිසාට ස්වෝත්සාහයෙන් ම උත්තරීතර ඤාණයෙන් හා සම්මා සම්බුද්ධත්වය ලබා ගත හැකි මාර්ගය හෙළි කර දුන් අතර, එමඟින් උන්වහන්සේ මිනිසාගේ වටිනාකම උත්කර්ෂවත් කළහ.

ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස උපදින බුදුවරු ඉතා කලාතුරකින් පමණක් ලොව පහළ වෙති.

උන්වහන්සේගේ විශ්මය දනවන ගුණාංගයන්ගෙන් පිරිපුන් හෙයින් “අච්චරිය මනුස්ස” වශයෙන් ද හඳුන්වනු ලබයි. පරම පවිත්‍ර මෛත්‍රිය , නිර්මල ප්‍රඥාව හා උත්තරීතර සත්‍යය ප්‍රදානය කරන හෙයින්” “වරදෝ” ලෙස ද හඳුන්වති.

උන්වහන්සේ “ධම්මස්සාමී” වශයෙන් හඳුන්වන්නේ ධර්මයට අධිපති යන අර්ථයෙනි.

පරාර්ථචර්යාව

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය, කරුණාව, පරාර්ථචර්යාව, පාරිශුද්ධිය, ආදර්ශවත් ය. පෞද්ගලික වගකීම්, ධර්ම ප්‍රචාරයෙහිලා උපයුක්ත නිවැරැදි ක්‍රම යන මේ සෑම එකක්ම ලෝක ජනගහනයෙන් පහෙන් එකක් විසින් මිහිමත විසූ උසස්තම ආගමික කතුවරයෙක් ලෙස පිළිගැනීමට හේතු වූ බව පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරු දහම සත්වයින්ගේ පාරිශුද්ධිය සඳහා ඇති එකම මඟ, එකම පිළිවෙළ වේ. මේ අනුව බුදුදහම ලොව ඇති එකම විමුක්ති මාර්ගය නිවන් මඟ, නිදහස්වීමේ පිළිවෙළ ලෙස හැඳින්විය හැකි ය. එමනිසා බුදුදහම ආගමක් ලෙස, දර්ශනයක් ලෙස මෙන්ම මාර්ගයක් ලෙස ද හැඳින්විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරුන් අතර, විශිෂ්ට ස්ථානයක් හිමිවීමට ප්‍රධාන හේතුවක් වූයේ උන්වහන්සේ විසින් සිතීම හා විමසීමේ නිදහස අගය කරනු ලැබීම යි. උන්වහන්සේ නිදහස් චින්තනය හා විමංසනය අගය කළ අයුරු කාලාම සූත්‍රයේ සඳහන් වේ. අහිංසක සිව්පා සතුන් මරා යාග කිරීම තහනම් කළ උන්වහන්සේ ඔවුන් සිය කරුණා ජාලයට හසු කර ගත්හ.

තමන් වහන්සේට හෝ දහමට වහලුන් වන්නට සිය ශ්‍රාවකයන්ට බල නොකළ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පූර්ණ චින්තන නිදහස ලබා දී තම දේශනා හුදෙක් භක්තියෙන් නොපිළිගෙන රත් කර කපා හෝ උරගා රන් පිරික්සා බලන නුවණැත්තන් මෙන් දැඩි පරීක්ෂණයට භාජනය කොට පමණක් පිළිගන්නා ලෙස ප්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේගේ උදාරත්වයත්, බුද්ධ ධර්මයෙහි බුද්ධි ගෝචරභාවයත් දැක්වීමට බොහෝ සෙයින් උපකාර කර ගත්තකි කාලාම සූත්‍රය.

බුදුරජාණන් වහන්සේ පටාචාරා , කිසාගෝතමී වැනි දුකට පත් මව්වරුන් කාරුණික වචනයෙන් අස්වසාලූහ.

පූතිගත්තතිස්ස වැනි අසරණ වූ රෝගීන්ට සියතින් ම උවටැන් කළහ.

රජ්ජුමාලා හා සෝපාක වැනි දුප්පත් අසරණ සරණ අය සුවපත් කළේ ඔවුන් ඛේදජනක අකල් මරණයෙන් ගලවා ගනිමිනි.

අංගුලිමාල වැනි අපරාධකරුවන්ගේ, අම්බපාලි වැනි කාන්තාවන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින් දුබලයන්ට දිරි ලබා දුන්හ. බිඳුණුවුන් සමඟි කළහ. අවිද අඳුරේ වුවන්ට ප්‍රඥාව ලබා දුන්හ. මුළා වූවනට මං පෙන්වූහ. පහළ සිටිනවුන් ඉහළට ගෙන ආහ. ඉහළ වුවන් උතුම් කළහ. දුප්පත්, පොහොසත්, යහපත්, අයහපත් කවුරුත් උන්වහන්සේට එක සේ ප්‍රිය වූහ. උන්වහන්සේගේ උදාර චරිතාදර්ශය කාටත් අර්ථවත් වූයේ ය. ශාස්තෘන් අතරින් වඩාත් ම කාරුණික හා සහනශීලි වූයේ බුදුරජාණන් වහන්සේ ය.