Print this Article


සතුට සොයා යන සත්ත්වයා පසුපසදුක ලුහුබඳින හැටි

සතුට සොයා යන සත්ත්වයා පසු පසදුක ලුහුබඳින හැටි

සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දවස ඇසළ පොහෝ දිනය යි. කසී රට බරණැස් නුවර ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ලදී.

ගයාවේ සිට යොදුන් දහඅටක් පමණ දුර ගෙවා ඉසිපතනයට වඩින අතරතුර දී බුදු මුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම වාසනාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය උදාවූයේ උපක ආජීවකතුමාට ය.

“ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැසට වඩිමි. අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගිය ලෝසතුන්, උදෙසා අමා දම් බෙර වයමි. උපක ආජීවකයන්ට තමා ‘ජින’ වෙමියි” හඳුන්වා දුන් අතර බරණැසට වැඩම කළහ.

දීපංකර බුදු පාමුල සම්බුද්ධත්වයට පත්වීම සඳහා නියත විවරණ ලැබු දා සිට සමතිස් පාරමී ධර්ම සපුරා සුවාසු දහසක් ධර්මස්කන්ධය දේශනා කිරීමට පස්වග තවුසන් තෝරාගනු ලැබුයේ සම්මා සම්බුදුවරයකුගේ පළමු ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එකී තවුසන් භාග්‍යවන්ත වූ නිසා ම ය. සුන්දර ඉසිපතනාරාමයේ මනුෂ්‍යයන් නියෝජනය කළේ ගණනින් පස් දෙනෙකි. දස දහසක් සක්වලින් එක්රැස් වූ දෙවියන්, බ්‍රහ්මයන් පිරිස අපමණ විය. මුවන්,ගෝනුන් වග වලසුන් සහිත තුරුලතා සහිත පරිසරය නිහඬ නිසංසල ශාන්ත බවක් ඇති කළේ ය. දහම් අමාව, බ්‍රහ්ම ස්වරය, භවාග්‍රය තෙක් ඇති දස දහසක් ලෝක ධාතුවට හා අවීචි මහ නරකාදියට විහිදී ගිය අතර, අටලොස් කෙළක් බ්‍රහ්ම රජවරු සියුම් වෙස් මවාගෙන බරණැස ඉසිපතන මිගදායට පැමිණ සිටියෝ ය.

බුද්ධගයාවේ බෝමැඩ දී සර්වඥතා ඤාණය අවබෝධ කර ගත් තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝගය සහ අත්ථකිලමතානුයෝගය නම් හීන වූ ද, ග්‍රාම්‍ය වූ ද, පුහුදුන් වූ ද, බුද්ධිය මොට කරන්නා වූ ද, මෙම උභය අන්තයන්ට නො පැමිණ නිවන් අවබෝධ කිරීමට හේතුවන, නුවණැස ලබා දෙන, කෙලෙස් තවාලන, මධ්‍යම ප්‍රතිපදාව ලෝකයාට දේශනා කරන ලදී.

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ හරය නම් සිව්සස් දහමයි.

දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය යි.

ලෝකය දුක මත පිහිටා ඇති බවත්, සියලු සත්වයන් දුක උරුම කොට ඇති බවත්, සිව්සස් දහම අවබෝධ නො කරනතාක් සත්වයා පසුපස දුක ලුහුබඳින බවත් පෙන්වා දුන්හ.

දුකට හේතුව වන්නේ තෘෂ්ණාව බවත්, එකී තෘෂ්ණාව සහමුලින්ම බැහැර කළ යුතු බවත්, සත්වයෙක්, පුද්ගලයෙක් නැති භවයෙන් භවයට ගමන් කරන්නා වූ සිතිවිලි පරම්පරාව සම්පූර්ණයෙන් ම අවසන් කිරීමට හේතුපාධක වන අසිරිමත් ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව බවත්, එය දුකින් මිදීමේ අසිරිමත් මාර්ගය බවත් දේශනා කළහ.

අංග අටකින් යුත් එම අසිරිමත් මාර්ගය වනුයේ

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම,සම්මා සති, සම්මා සමාධි ය. මෙම අංග අට අනුගමනය කිරීම නිර්වාණ මාවතයි. මෙම අංග අට හා සාපේක්ෂව මිත්‍යා අංග අටක් ද ඇත. එය අනුගමනය කරන්නාට අකුසල් රැස් වේ. මධ්‍යම ප්‍රතිපදාව ධාර්මික පැවැත්මට සහ එදිනෙදා ජීවිතයේ නිවන් මුහුණුවර පිණිස චර්යාමය වෙනසක් ඇති කිරීමට මෙන්ම නිවන් සුවය සඳහා හේතු පාදක වේ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළ සැලසෙන විමුක්ති මාර්ගය අනුපූර්ව වූ ප්‍රතිපදාවකි. සරලව ආරම්භ වී ගැඹුරට ගමන් කරන්නකි.

සීලයෙන් ආරම්භ වී සමාධිය වඩා සීල, සමාධි අංග දෙකම සම්පූර්ණ වීම තුළ ප්‍රඥාව වෙත අවතීර්ණ වේ. සැම දෙයක් ම මධ්‍යස්ථව සිදු කිරීම මධ්‍යම ප්‍රතිපදාවෙන් අවධාරණය කර නොමැත. අත්හළ යුතු අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කර ගත්, මැද නො තැවරෙන, නො ඇලෙන තැනැත්තා මහාපුරිසයා යැයි කියනු ලැබේ. හෙතෙම මෙම පංචස්කන්ධයෙහි නො ඇලී තෘෂ්ණාව ඉක්මවා යයි.

ඇසින් රූප දකින විට ඒවා සුබ වශයෙන් නොගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වටහා ගෙන රූපයෙහි නොඇලී, නොගැටී කටයුතු කරයි.

බුදු දහම සර්ව ශුභවාදී දහමක් ද නොවේ. සර්ව අශුභවාදී දහමක් ද නොවේ. ශරීරයට සැප දීමත්, ශරීරයට දුක් දීමත් මේ අන්ත දෙකම සත්වයාට අනර්ථය පිණිස පවතී. යා යුතු මාර්ගය සහ නිවන පිණිස පිවිසීමට ඇති එකම මාර්ගය නම් මධ්‍යම ප්‍රතිපදා මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.

ප්‍රඥාව නුවණැස ඇති කරයි. කෙලෙස් දාහය නැති කරයි. සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස හේතු වේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව තුළ අන්තර්ගත සිව්සස් දහම දෙවි, බඹ, නර තුන්ලොව සත්වයන් ඇතුළු කවර කෙනකුට වුව ද අවබෝධ කර ගත හැකි වූ සත්‍ය දහමකි. මේ ධර්මය අරුත් සුන් එකක් ලෙස කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැක. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ, දේශිත ධර්ම විනය සැම විටම විවෘතව පවතින තරමට බබළන අතර, විවෘත නොවූ තරමට බැබළීමක් සිදු නොවේ.

මෙම සත්‍යයේ දහම එදිනෙදා ජීවිතයේ කවර ගැටලුවක දී වුව ද භාවිත කිරීමට පුළුවන. ගැටලුව, ගැටලුවට හේතුව, ගැටලුව නැති කිරීම, ගැටලුව නැති කිරීමේ මාර්ගය යන කරුණු විමසුම් නුවණින් සිව් ආකාරයට අනුව බැලීම තුළ එදිනෙදා ජීවිතයේ ඕනෑම ගැටලුවකට මේ ආකාරයෙන් විසඳුම් සොයා ගැනීමට උත්සහ කළ යුතු වේ. බුදු දහම පෞද්ගලික දුක හා සමාජගත දුක ඇතිවන ආකාරය පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ ලෝ සත්වයන්ට ධර්මය දේශනා කළේ කරුණු කිහිපයක් උදෙසා ය.

“සත්තානං විසුද්ධියා”

සත්වයන්ගේ පිරිසුදු බව ඇති කරනු පිණිස

“සෝක පරිද්දවානං සමතික්ඛමාය”

සෝක වැළපීම් ඉක්මවා යාම පිණිස

දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය

කායික මානසික දුක් දොම්නස් නැති වීම පිණිස

‘ඤායස්ස අධිගමාය”

ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස

“නිබ්බාණස්ස සච්ඡිකිරියාය”

නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ය.

සැබෑ ලෙසම බුදුදහම සියලු ලෝවාසීන්ට අයත් දහමකි. ජාති, කුල, මල භේදවලින් තොරව සෑම ජාතියකට ම ප්‍රායෝගික දහමක් බවට පත්කර ගත හැක. එදිනෙදා ජීවිතයේ මතු වන අභියෝගවලට, ගැටලුවලට විසඳුම් සොයා දෙන භාවිතයට සුදුසු දහමක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ පළමු ධර්ම දේශනාව සිහිපත් කළ හැකි ය.