ඇති හැකිකම් හමුවේ නැති බැරිකමට නිගා නොකරමු
දුප්පත් පොහොසත්, උගත් නූගත් හැම දෙනාට ම අන්‍යයන්ගේ උදව් උපකාරය ලැබිය යුතු අවස්ථා
බොහෝ පැමිණේ. එවන් අවස්ථාවන් හි උදව් උපකාරයක් ලැබිය හැකි වන්නේ ඥාතීන්ගෙනි. ඥාති
ධර්මයෙහි නො පිහිටි පුද්ගලයාට ඥාතීන්ගෙන් උපකාර ලැබීම දුෂ්කර වේ.
‘ඤාතකානඤ්ච සංගහො” තම පරම්පරාවෙහි සත්වන කුලය දක්වා මව්පිය දෙපාර්ශ්වයෙන් සම්බන්ධ
වූවෝ ද, සත්වන මුණුපුරා දක්වා තමාගෙන් පැවත එන්නෝ ද, ඔවුන් හා සම්බන්ධ වන්නෝ ද
ඥාතීහු වෙති. මෙවන් වූ ඥාති පිරිසගෙන් යම් කෙනෙක්ට විපතක්, කරදරයක් වූ විටක තමාට
හැකි පමණින් උපකාරි කිරීම මෙන් ම ඒ ඥාතීන්ගේ දියුණුව පිණිස උපකාරවීම ඥාතීන්ට
සංග්‍රහ කිරීම නම් වේ.
යම් ඥාතියෙක් විපතකට පැමිණි විටෙක දී, උපකාර පතා තමා සොයා පැමිණි විට එම ඥාතියාට
උපකාර කළ හැකි තත්ත්වයක තමා සිටියදීත් උදව් උපකාර නොකර මඟ හැරීම හෝ නොසලකා හැරීම
සිදු කළේ නම් ඔහු හෝ ඇය ඥාති ධර්මයෙහි නො පිහිටි ඥාතියෙකි.
යම් පුද්ගලයකුට අසීරු අවස්ථාවක දී පිහිටවීම, දියුණුවට උපකාරවීම, මංගල උත්සවයකට,
මෙන්ම අවමංගල්‍යයකට සහභාගි වීමෙන් ද නෑයන්ට සංග්‍රහ කෙරේ නම්, සංග්‍රහ ලැබුවා වූ ද
නො ලැබුවා වූ ද නෑයෝ ඔහුට සංග්‍රහ කරති. ඒ වගේ ම ඔහු සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට ද
භාජනය වේ.
යමකුට උපකාර කිරීම පරෝපකාරයයි. පරෝපකාරය පුණ්‍ය කර්මයකි. එවන් පුණ්‍ය කර්මයක් කළ
තැනැත්තා මරණින් මතු සුගතියට ද පැමිණෙන්නේ ය. මේ ආකාර වූ ඥාති සංග්‍රහය මෙලොව
වශයෙන් ද පරලොව වශයෙන් ද යහපතට හේතු වන බැවින් “උතුම් මංගල කරුණක් ද වන්නේ ය.
ස්වකීය ඥාතීන්ට මෙන් ම මිතුරන්ට පමණක් නොව දුකකට, කරදරයකට ලක්ව සිටින කවරකුට වුවත්
තමන්ට හැකි පමණින් උදව් උපකාර කිරීම සත්පුරුෂ ගුණධර්මයකි. මේ ආකාරයෙන් සියල්ලන්ට ම
සංග්‍රහ කළ හැකි වූ සියල්ලන් කෙරෙහිම කරුණාව, මෛත්‍රිය පැතිරිය හැකි වූ උත්තම
පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තේ ස්වල්ප පිරිසකි.
ඥාති සමූහයා සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වන්නා වූ පිරිසක් අතරේ සමහර අයකු අතින්
තවත් අයකුට යම් වූ ද අතපසුවීමක් හෝ වරදක් සිදුවිය හැකි වේ. ඒ ඒ සිද්ධීන් නිසා
අසමගිකම්, සිත් අමනාපකම් ඇති විය හැකියි. කරුණාව, මෛත්‍රිය ද නැතිවී යා හැකියි. එසේ
අසමගියක්, සිත් අමනාපයක් වූ සැණින් එය නිවැරැදි කර ගැනීමට වෑයම් කළ යුතුªයි.
යම් පුද්ගලයකු ඥාතීන් අතර හෝ හිත මිතුරන් අතර හෝ යම් අමනාපයක් අසමගියක් වූ කල
සමගියට නො පැමිණේ. වෛරී සිතිවිලි ඇති කරගෙන එකිනෙකාට විපත් ඇති කිරීමට උත්සාහ කරති.
එය නුවණැතියන්ගේ ස්වභාවය නොවේ. මනුෂ්‍යයන් අතර නො වරදින පුද්ගලයෙක් නැත. කළ යුතු දේ
අමතක නොවන කෙනෙක් ද නැත. ඒ වගේ ම වැරැදි නැති කෙනෙක් ද නැත.
වැරදීම මනුෂ්‍ය ගතියකි. ඒ වරද පිළිගැනීම හා එසේ වරද පිළිගත් පසු ඔහුට හෝ ඇයට
සමාවදීම උතුම් ස්වභාවයකැයි සැලකිය යුතුයි.
මේ ආකාරයෙන් සිතා සිදු වූ දේ අමතක කොට එකිනෙකා වහ වහා සමගිවීම දෙලොව දියුණුවට ම
හේතු වන්නකි. සමගියම ජීවත්වීම පණ්ඩිතයන්ගේ ස්වභාවයයි. ඒ වගේම සත්පුරුෂ ධර්මයකි.
මේ ලෝකයෙහි සියල්ලම සිදු කර ගැනීමට සමත් වූ කෙනෙක් නැත. එසේ හෙයින් පොහොසතාට
දුප්පතා ද, උගතාට නූගතා ද, බලවතාට දුබලයා ද වශයෙන් වුවමනා වන අවස්ථා උදා වේ. එසේ
හෙයින් තමා පොහොසත් යැයි බලවත් යැයි සිතා දුප්පත්, අගහිඟකම් ඇති ඥාතී හිතවතුන්
නොසලකා හැරිය යුතු නොවේ.
සමහර අය තමා පොහොසත් වූ විට අගහිඟකම් ඇති ඥාතීන් නොසලකති. ඒ අය සමඟ ඥාතිකම්
පැවැත්වීම හෝ ඇසුරට පවා මැලිවෙති. ලජ්ජාවෙති. පොහොසත්, බලවත් නම් සුළු ඥාති
සම්බන්ධතාවක් ඇති පුද්ගලයාව ද ඉතා කිට්ටුම ඥාතියකු සේ සලකා, ඉතා ළඟ ඥාතියකු සේ
සම්බන්ධතා පවත්වති. ඒ වගේම පොහොසත් යාළු මිත්‍රයන් ඇත්නම් ඒ අයට ද ඥාතීන් සේ සලකා
ඉතා ළඟින් නිතර ඇසුරට ගනී. එය නුවණැති ක්‍රියාවක් නොවේ. සියල්ලම වෙනස් වන ස්වභාවය
ඇති මේ ලෝකයෙහි පොහොසත් අයකු දුප්පත්වීම පුදුම දෙයක් නොවේ.
රජකු වුවත් ඇතැම් විට දුප්පතකු විය හැකි ය. එසේ හෙයින් පොහොසත් වූ කල තම දුප්පත්
ඥාතීන් අත්හළ තැනැත්තා නැවත දුප්පත් වී නම් ඔහුට දුපපත් ඥාතීන්ද නැතිවීමෙන් අනාථව
අසරණව මහත්වූ අසීරු අවස්ථාවකට පැමිණෙන්නට සිදුවනු නියත ය.
ලොව වාසය කරන්නා වූ සත්වයන්ට ඥාතීන් මෙන්ම මිත්‍රයෝ ද වුවමනා වෙති. ඥාතීන් නැත්තාවූ
තැනැත්තන්ට මිත්‍රයෝ ම ඥාතීහු ය. එබැවින් නුවණැත්තන් විසින් ඥාතීන්ට මෙන්ම
මිත්‍රයන්ට ද සංග්‍රහ කළ යුතු ය.
දුප්පත් පොහොසත්, උගත් – නූගත් සියල්ලන් සමඟ ඥාති සම්බන්ධතා පැවැත්විය යුතු ය. ඒ
සියල්ලන් හා සමඟම මිත්‍ර සම්බන්ධතා ද පැවැත්විය යුතුය. යමෙක් තමාට වඩා කුලයෙන්,
ධනයෙන්, බලයෙන්, උගත්කමින් පහත් යැයි සිතා මොහු මගේ ප්‍රමාණයට නුසුදුසු ය. මට
මොහුගෙන් පලක් නැත යැයි සිතා කිසිම මිතුරකු අත්හළ යුතු නොවේ. ඒ වගේ ම අහිතකර
දුසිරිත් පිරීම ආදි පාපයන්ගෙන් හෙබි පාපී වූ අසත්පුරුෂයන්ගෙන් වෙන්වීම නම් විය යුතු
ම ය. ගුණ යහපත්කම් ඇති අයකු නම් ඉහත කී දුප්පත්කම ආදී දේ නිසා අත් නොහළ යුතුම ය.
“පෙර දවස අනේපිඬු සිටුතුමාට කාලකණ්ණී නම් වූ මිත්‍රයෙක් විය. පසු කාලයක දී ඔහු
දිළිඳුව අසරණ විය. ඒ අවස්ථාවේ දී අනේපිඬු සිටුතුªමාගේ පිහිට බලාපොරොත්තුවෙන්
පැමිණියේ ය. සිටුතුමා ඔහු කෙරෙහි අනුකම්පා කොට සිටු මාළිගයෙහි නතර කර ගත්තේ ය.
ඔහුගේ “කාලකණ්ණි” යැයි නම නිතර භාවිත කරන විට එය මාළිගයට අසුබ ලකුණක් බවත්, සිරිකත
සිටු නිවස හැර යනු ඇති බවත් පවසමින් මොහු සිටු මාළිගයෙන් පිටත්කර යවන ලෙස සෙසු
පිරිස සිටුතුමාගෙන් ඉල්ලා සිටියේ ය.
සිටුතුමා මිත්‍ර ධර්මයෙහි අගය හොඳින් දන්නා බැවින් ඒ බස් නො පිළිගත්තේය. දිනක්
සිටුතුමා යම් කිසි කටයුත්තකට සිටු මාළිගයෙන් පිටත්ව අන් ගමකට ගමන් කළේ ය. සිටු
මාළිගයෙහි ආරක්ෂාවට “කාලකණ්ණි” මිතුරා තබා ගියේ ය. එදින රාත්‍රියෙහි සිටුතුමා
මාළිගයෙහි නැති බව දැනගත් සොර මුලක් සිටු මාලිගාව කොල්ලකෑමට පැමිණියේ ය. ඒ බව දැනුන
“කාලකණ්ණි” නිදා සිටි සේවකයන් අවදි කරවා නොයෙක් තූර්ය භාණ්ඩ ඔවුනට දී ඒවා වාදනය
කරන්නට පටන් ගත්තේ ය. සොරු ඒ ශබ්දය අසා සිටු මාළිගයෙහි උත්සවයක් යැයි සිතා පලා ගියෝ
ය.
එදින “කාලකණ්ණි” නිසා සිටුතුමාගේ ධනය ආරක්ෂා විය. මේ පුවත ඇසූ සිටුතුමා “කාලකණ්ණි”
යැයි නම් වුවත් මොහුගෙන් සිදු වූ සේවය අති විශාල යැයි අන්‍යයන්ට ද පහදා දුන්හ. මෙසේ
උස් – පහත් සෑම දෙනාම යම් වූ ද මොහොතක ප්‍රයෝජනවත් වන බැවින් ඥාති හිතමිත්‍රාදීන්
සියලු දෙනා සමඟම ඥාති ධර්මය, මිත්‍ර ධර්මය පැවැත්විය යුතු අතර, ඒ සියලුම දෙනාට ඥාති
සංග්‍රහය මෙන්ම මිත්‍ර සංග්‍රහය ද කළ යුතුය.
- දීපා පෙරේරා |