සංසාරේ කෙටි කරගෙන
පොසොන් සඳයි සඳ කිරණයි
මිහිඳු සමිඳු වැඩිය වගයි
මිහින්තලෙන් රැස් විහිදෙයි
පොසොන් සඳයි සඳ කිරණයි
තිස්ස තිස්ස හඬ ඇසුනයි
දෙටුපිය රජු දඩ කෙළියෙයි
දුනු ඊතල බිම වැටුනයි
මුව කැලයට පැන දිව්වයි
අනුබුදු හිමි රජු දුටුවයි
අඹ පැනයක් විචාරයයි
රජු නුවණැති බව වැටහෙයි
බුදු දහම දේශනා කරයි
මිහින්තලේ අප වැඳලා
බෝ පින් රැස් කර ගන්නයි
සංසාරේ කෙටි කර ගෙන
නිවන් මඟට පිවිසෙන්නයි
අජිත් වික්රමනන්ද වීරසූරිය
මොරගොල්ල, පොල්ගහවෙල
සම්බුදු සමිඳු ...
ගිහි සැප හැර යන්න එ දවස කුමරුට සිදුහත්
දුටු පෙරනිමිති හතරේ දුටු රුව වියපත්
පුන් පෝදාක ගැටුණා කුමරුගෙ යුගනෙත්
වටහා ගත්ත එලෙසින් වන බව කාටත්
බෑනා සමඟ මමා සටනට යෙදුණා
නෑදෑයන් සතුරු දෙපිලක් බෙදුනා
ගෞතම බුදුසමිඳු එහි කුළුණින් වඩිනා
දුරුව අඳුර ආලෝකය දසත පැතිරුණා
සම්බුදු සමිඳු වැඩ සිටිමින් දෙව්රම් වෙහෙර
අලුයම බැලුවෙ තුන්ලොව බුදුනෙත් හැර
සටනක දසුන් හෙළදිව පෙනුණා එවර
කුළුණින් සිතා වැඩියා බුදුහිමි පවර
දෙව්රම් වෙහෙර දොරටුවෙ කිරිපලු ගසේ
මනරම් සමිදි රුක්දෙව් සිටියදි සුව සේ
පෙරකම් දුටුව බුදුහිමි පවසා සොඳසේ
ඇරයුම් කළා හෙළදිව වැඩුමට මිතුසේ
නාග යුද්දෙ බුදුබලයෙන් වැළකුණා
අසා බුදුබණ නාගකුලය ම පැහැදුණා
මැණික් පුටුව සම්බුදු සසුනට පිදුණා
එය වටකොට වඳින්න සෑයක් බැඳුණා
ඒ.එම්.අබේසිංහ බණ්ඩා
මාපනාවතුර – මහනුවර
මිස්සක උදානය
රජ මාලිගෙන් දුනු හී කටුගෙට යැව්ව
දසබල කිරුළ ලක්පති හිස මත තිව්ව
පුස්කොළ පොතට බණ ගෙවදින මග කිව්ව
අමතයි ගොළු බසින් දැය මිස්සක පව්ව
විස්කම් වරම ලද ඉසිවරු අතෙහි රැඳී
ගල් කටු පහර ලැබු කළුගල් දෙකට බෙදී
සම්බුදු මහිම දිවමන් මුනි සිරිය බැඳී
සුරඹුන් සුරලොවින් පොළවට බසින ලදී
අනුබුදු සමිඳු අකුසල් මුල් උගුල්ලා
මෙහි නොවඩින්න සත් දහමට රුකුල්ලා
කැටපත් පවුර මත සඳරැස් අතුල්ලා
සටහන් කරනවද කවි පද බුදල්ලා
පන්සල ගමට යාබද වැව් ඉවුරු කොනේ
දාගැබ සමඟ එක්වුණ තැන නිවන පෙනේ
අනුබල ඇතුව තුන්පිටකයෙ රැඳුණු බණේ
එතැනය බසයි සාහිතයයි ජනිත වුණේ
පිරිසිඳ තිලොව දිනු භගවත් විස්තරය
කිරුලිස හෙළිඳු කප්ඉම තෙක් ඉස්තිරය
ලැබුදා පටන් අඹ පැනයට උත්තරය
ලංකාවට පොසොන් සඳ සින්නක්කරය
කලා භූෂණ කිවිපති
අයගම පියසේන
මිහිඳු සඳ පෑයූ දා
ගෞතම මුනිඳු තෙවරක් මෙහි වැඩි සේක
බුදු සිසිලසින් දෙරණත සැනසූ සේක
මිහිඳු සමිඳු එය ඔපවත් කළ සේක
එබැවින් මහිමි “අනුබුදු” නම් වූ සේක
සම්බුදු රජුන් බිහිවන දඹදිව පසිඳූ
පින්බර රජෙක් විය දම්සෝ නම් නිරිඳූ
තම සතු ධනය නිති සම්බුදු සසුනෙ යෙදූ
සම්බුදු දහම ලක් මෑණිට තුටින් පිදූ
හෙළ දිව සිසාරා පෑයු සුපුන් සඳ
මිස්සක පව්ව මුදුනෙන් නැඟුණු දම් කඳ
ඒකාලෝක කරමින් ලක්දනගෙ හද
සදහම් අමාදම් පැතිරුණි පුරා ලක
මහදොරලියද්ද
ධර්මාචාරිණී බී.එම්. හේරත්
අඳුරේ ගමනක්
ඇළේ දොළේ දිය බුං හඬ
තව මට ඇසෙනා
ඇළේ දොළේ දිය බුං හඬ
නැත මට ඇසෙනා
ගසේ වැලේ දෙන සිසිලස
තව මට දැනෙනා
ගසේ වැලේ දෙන සිසිලස
නැත මට දැනෙනා
සතර දෙසින් සිටි සැම දන
මඟ නොදැනී මඟ හිඳිනා
වෙහෙර බිමේ නැගෙන සුවේ
තව මට දැනෙනා
වෙහෙර බිමේ සුව නොදැනී
සිත් තව මඟ යනෙනා
වේදනාව කඳුළ සුසුම
සිත් තුළ නිති ගලනා
අන්ධකාරේ යනෙන ගමන
කීම තව නිම නොවනා
නීතීඥ
කීර්ති කපුවත්ත
රිදීගම
පුදමි කවි මල්
රජ ඉසුරු මිණිකිරුළ දූවිලි සේ බිම තියා
බිසව හා රහල් පුතු, මැදුර අත්හැර පියා
චන්න ඇමති ද සමඟ අසු පිටට නැඟ පියා
සසර නිම කරන මඟ සොයා ගිය ලෝ පියා
ගව් ගණන් දුර ගෙවා නේක දුක් කටොර විඳ
සව් සතට සෙත සදන සතිර අදිටනින් තෙද
සුජාතා සිටු දූගේ ක්ෂීර පායාස විඳ
මාර සෙන් පරදවා බුදු පදවි ලබන ලද
දහම් ඕඝය ගලා බෙදූ කරුණා ගුණය
අන්ධකාරය මැදින් බුදු එළිය දුන් සුවය
සසර දුක විඳි දනට කෙම් බිමක් වූ දිනය
සැදැහැයෙන් සිහිකරමි පුදා කවි මල් වනය
උපාලි කස්තුරිආරච්චි
මහවිල – පානදුර |