Print this Article


ජීවිතය මෙතරම්වෙහෙසකර ඇයි?

ජීවිතය මෙතරම් වෙහෙසකර ඇයි?

සසර ගමන දුෂ්කරයි. බිය ජනකයි. දුක් සහිතයි. මහා පිනැතියෝ පමණයි මේ දුෂ්කර සසරින් එතෙරට වැඩියේ. අන් සියලුම දෙනා සතර අපාය මහගෙදර කර ගනිමින් මේ සසරේ ගමන් කරනවා.

මිනිස් ලෝකයේ උපත ඒ සසර ගමනේ එක් නවාතැන්පළක්. භාග්‍යවතුන් වන්සේ වදාළේ මේ දුර්ලභ වූ මිනිස් උපත සුගති උපතක් ලෙසටයි. අපි මේ මිනිස් ලෝකයේ ඉපදිලා අවුරුදු සියයකට අඩු කාලයකින් මරණය කරා යනවා. ජීවිතයයි මරණයයි අතර තුර තිබෙන කුඩා කාලයේ දී අපි අතින් බොහෝවිට පිනට වඩා වේගයෙන් පව් සිදුවෙනවා.

අනුන්ගේ අඩුපාඩු සෙවීම අප අතින් සිදුවන අප සිදුකරන සුලබ පාපයක්. බොහෝ විට අපට අන් අයගේ සුළු අඩුපාඩු පවා ලොකුවට පෙනෙනවා. ඒ අඩුපාඩුව දුටු විට තව කෙනකුට පවසන තුරාවට ඉවසුම් නැති වෙනවා. නමුත් ඒ අඩුපාඩුව විනිවිද ගොස් ඔහුගේ ගුණයක් අපට දකින්නට පුළුවන් නම් ඒ ජීවිතය කොතරම් සුන්දර ද?

අන් අයගේ අඩුපාඩු කල්පනා කරනවිට අපට ගොඩක් වෙහෙසයි. අසවලා කටයුතු කරන්නේ මෙහෙමයි. ඔහුගේ කායික ක්‍රියා වාචසික ක්‍රියා මෙහෙමයි කියමින් නිදිවරමින් අපි නිතර සිහි කරනවා. ඒක අපට වෙහෙසක්. අන් අයගේ නුගුණක් අපි තව කෙනකු සමඟ කතා කරද්දී අපේ සිතත් ඒ පුද්ගලයාගේ සිතත් කිලිටි වෙනවා. ඒකත් අපට වෙහෙසක්.

අපි මෙසේ ගත කරමින් සිටින්නේ පුංචි මනුස්ස ජීවිතයක්. ටික කාලයකින් සියල්ල හැර දා යා යුතු වෙනවා. ඒ ජීවත් වන ටික කාලයේ දී අනුන්ගේ ඇදකුද, අඩුපාඩු හිත හිතා අපි වෙහෙසෙනවා. ඒක කිසිම තේරුමක් නැහැ. එනිසා අන් අයගේ අඩුපාඩු සොයන්න එපා. අඩුපාඩු කතා කරන්නත් එපා. අඩුපාඩුවක් කතා කරන තැනක ඒ කතාව දුරදිග අරගෙන යන්නත් එපා. ඒ කතාවට උල්පන්දම් දෙන්නත් එපා.

මිනිස් ලෝකයේ සිටින අප සැම දෙනා ළඟම අඩුවැඩි වශයෙන් අඩුපාඩු වගේම අඩුවැඩි වශයෙන් ගුණධර්ම තිබෙනවා. තමා අකැමැති කෙනකු දුටුවිට සොයන්න ඔහුගේ හෝ ඇයගේ ඒ පුංචි ගුණධර්මය. ඒ ගුණධර්ම සොයන්නට පටන් ගත්තොත් අපට හමුවේවි සිතේ සැනසීමක්. සිතට විවේකයක්. මිනිසුන්ගේ සුන්දර කතාබහ, සුන්දර ගතිගුණ පමණක් සොයමු. කෙනකුගේ ඇදයක් බලන්නට ගියොත් ඇදයක්මයි පෙනෙන්නේ. නැති ඇද පවා මැවි මැවී පෙනෙනවා. ඒකයි ඇතැම් දෙනාගේ සිතේ සැනසීම නැත්තේ. අප පවුලේ අයකුගේ වේවා, ඥාතියකුගේ වේවා, මිත්‍රයකුගේ වේවා, සමීපතමයකුගේ වේවා, අසල්වැසියකුගේ වේවා, අප අකැමැති පුද්ගලයකුගේ පවා හෝ වේවා ඇද සොයන්න එපා.

අපි මිනිසුන්ගේ සුන්දර දේ සෙව්වොත් සුන්දර දේ පමණක් අපට ඉතිරි වේවි. සමහර විට අපි තව කෙනකුට කියූ කතාවක් හදවතේ පොදිබැඳගෙන මතක තබාගෙන සිටිනවා. ඒවා මතකයේ දරාගෙන ඒවාම සිහි කරමින් තවත් කෙනකු සමඟ ඒවාම කතා කරමින් අපි කාලය ගත කරන්නේ නැද්ද? අපට ජීවත්වීමට තිබෙන කෙටි කාලයයි මෙලෙස අනවශ්‍ය දෙයකකට වැය වෙන්නේ. එය අපරාධයක්. එනිසා අපි නිතරම මිනිසුන්ගේ ගුණධර්ම පමණක් සොයමු. කතා කරමු. ඔවුන්ගේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් උපේක්ෂාවට පත්වෙමු.

භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, කෙනකුගේ කායික ක්‍රියා දොස් සහිත නමුත් ඒ කෙනාගේ වචන සුන්දර නම් ඔහුගේ කායික ක්‍රියාව ගැන නොසිතා සුන්දර වචන ගැන පමණක් සිතන්න. ඒ වගේම තව කෙනකුගේ වචනය අසුන්දර වුවත් කායික ක්‍රියා සුන්දර නම් ඒ සුන්දර ක්‍රි‍්‍රයාව ගැන පමණක් සිතන්න කියා. එවිට අපි ඒ පුද්ගලයාගේ වැඩකට නැති දේ අතහැර දමා අවශ්‍ය දේ පමණක් ගත් කෙනකු වෙනවා. එවිට අපට මේ ලෝකයේ ජීවත් වීමට ලෙහෙසියි.

අප ළඟ තිබෙන්නේ අසුන්දර දේ නම් අපි ලෝකයාට බෙදන්නෙත් අසුන්දර දේ ම යි. සුන්දර දේ මුලින් ලබා ගත යුත්තේ තමාම යි. ඊට පසුවයි අපට පුළුවන් වන්නේ ඒ සුන්දර දේ ලෝකයාට බෙදන්නට. ඒ පිළිබඳව සිදු වූ එක්තරා සිදුවීමක් ගැන මෙසේ සඳහන් වෙනවා.

එක්තරා පාංශකූලික භික්ෂුවක් සිටියා. පාංශකූලික භික්ෂුව කියන්නේ අතහැර දැමූ රෙදි කඩකින් තමාගේ සිවුර මසා ගන්නා භික්ෂුවටයි. උන්වහන්සේ සිවුරට අවශ්‍ය රෙදි කඩක් සොයාගෙන මාවතේ වැඩම කළා. උන්වහන්සේ දුටුවා අසූචි තැවරුණු වීසි කළ රෙදි කඩක් පාරේ තිබෙනවා.ඒ රෙදි කඩේ එක් කෙළවරක අසූචි තැවරී තිබුණා. හැබැයි අනෙක් කෙළවර පිරිසුදුයි. අර භික්ෂුව අසූචි තැවරුණු කොටස් ඉරා දමා හොඳ කොටස් පමණක් ගත්තා. උන්වහන්සේ අසූචි සෝදා රෙදි කඩ ගන්නවා කියලා අරගෙන ගියා නම් එය ගෙනයද්දීත් ගඳයි. පිරිසුදු කරද්දීත් ගඳයි.

ඒ වගේ, කෙනකුගේ වචනයේ හෝ ක්‍රියාවේ තිබෙන අඩුපාඩු හිතමින් ඒවා පෝෂණය කරමින් මහා ඇද පොට්ටනියක් හිත ඇතුලේ තැන්පත් කර ගන්නවා. ටිකෙන් ටික ඒවා නරක් වෙනවා. පිළිකුල් සහගත වෙනවා. පසුව අපි අන් අය සමඟ බොරුවට හිනා වුණත් ඒ ජීවිතවල කිසිදු සුන්දර හැඟීමක් ඇති වන්නේ නැහැ.

එනිසා ටිකෙන් ටික අපේ අඩුපාඩු අපි හදාගමු. හරියට පාංශුකූල භික්ෂුව අසූචි තිබෙන රෙදිකඩ ඉරා දාලා හොඳ රෙදි කොටස ගන්නා සේ මිනිසුන්ගේ හොඳ පමණක් හිතමු. යම් කෙනකුගේ රළු වචන නිසා අපේ සිත රිදෙන්නට පුළුවන්. සිත පෑරෙන්න පුළුවන්. අපේ නෙතට කඳුළු පිරෙන්නත් පුළුවන්. නමුත් ඔහුගේ කායික ක්‍රියා පිරිසුදු නම් දොස් සහිත වචන ගැන හිතන්න එපා.

ඒ වගේම අප අතර සිටින අයෙකුගේ කායික මෙන්ම වාචසික ක්‍රියා දෙක ම අපි අකැමැති දේ වෙන්න පුළුවන්. එවිට බලන්න ඔහුගේ ආකල්ප දෙස. ඔහු පිනට ලැදි නම්, සංඝරත්නයට ගරු කරනවා නම්, දානමාන දෙනවා නම්, අන් අයට උදව් උපකාර කරනවා නම් ඔහුගේ ආකල්ප හොඳයි. ඕනෑම දරුණු දාමරික පුද්ගලයෙක් තුළත් තිබෙනවා සුන්දර ගුණයක්.

එනිසා අන් අයගේ සුන්දර ගුණ දකින, සුන්දර ගුණ අහන්න කැමැති කෙනෙක් වීමට උත්සාහ කරමු. හොඳ දෙයකට සිත හසුරුවන්න අපි දක්ෂ වුණොත් අපේ සිත සුවපත් වෙයි. අපට බාහිරව මොනතරම් අඩුපාඩු තිබුණත් සිතට සැනසිල්ල ලැබෙයි. විවේකයක් ලැබුණා සේ දැනෙයි. එවිට මේ මිනිස් ලොව දිනූ මිනිසුන් බවට පත් වෙන්න අපට හැකියාව ලැබේවි.