Print this Article


සය අවුරුද්දක් රජ ගෙදරට වැඩියත් රජුගේ රුව නොදුටු චිත්තගුත්ත රහතන් වහන්සේ

සය අවුරුද්දක් රජ ගෙදරට වැඩියත් රජුගේ රුව නොදුටු චිත්තගුත්ත රහතන් වහන්සේ

යමෙක් සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නේ සංසාර දුකින් එතෙර වීමටයි. ගිහි ගෙදර තියන හැම සම්පතක් ම අත්හරිනවා. දෙමාපිය, සහෝදර, අඹු-දරු සහ යහළු - යෙහෙළියන්ගේ මෙන් ම අසල්වැසියන්ගේ සම්බන්ධතා ඉවත් කර දමනවා.

විශාල කැප කිරීමක් කරලයි කෙනෙක් පැවිද්ද ලබා ගන්නේ. හිස ගිනි ගත්ත පුද්ගලයෙක් ඒ ගින්න නිවන්න වහ වහා ඉක්මන් වෙනවා වගේ සංසාර ගමන නවතා දැමීමටත් පැවිද්දා ඉක්මන් විය යුතු වෙනවා. ගිහි උපාසක උපාසිකාවන්ට කළ නොහැකි සහ රැකිය නොහැකි සීලයක් සමාදන් වෙලා භාවනාවට යොමුවීම භික්ෂුවකගේ ප්‍රධාන ලක්ෂණයක්.

අද කියන්න යන කතාව එදා පැවිදි සමාජයටත්, නූතන සමාජයටත්, අනාගතයටත් වැදගත් වන එකක්. සසරින් එතෙර වීමට භික්ෂූන් වහන්සේ නමක් විශාල කැපවීමක් කරනවා.

අතීතයේ ලංකාවේ එක් ප්‍රදේශයක පිහිටලා තිබුණා කොරණ්ඩ ලෙන කියලා විශාල ගල් ලෙනක්.

ගම්වැසියනුත්, ප්‍රදේශවාසීනුත් ඇතැම් අවස්ථාවල කුරණ්ඩක ලෙන නමිනුත් මේ ලෙන හැඳින්නුවා. ලෙන ඉස්සරහ මිදුලේ තිබුණා විශාල නා ගහක්. ගී‍්‍රෂ්ම සමය, වසන්ත සමය හා වර්ෂා සමය ආදීයේ දී නා ගසේ විවිධතා ඇති වෙනවා. එක් සමයකට පත්‍ර හැලෙනවා. තවත් සමයක දී හොඳට අතු විහිදිලා කොළ වර්ණයෙන් යුතු ව දළු හට ගන්නවා. තවත් සමයක දී මල් හට ගන්නවා. මීමැස්සන් ආදී සතුන්ගේ ශබ්දයත් මේ කාලයට ඇහෙනවා.

නා ගහෙන් නිතර අලංකාර වන කොරණ්ඩක ලෙනේ වැඩ සිටියා චිත්තගුත්ත කියලා තරුණ භික්ෂුවක්. හැම සම්පතක් ම අත්හැර දාලා පැවිදි වුණ මේ තරුණ භික්ෂුවගේ එකම අරමුණ වුණේ කොහොමහරි උත්සාහයෙන් අර්හත්භාවය ලබා ගැනීමයි.

අවුරුදු තිහක් ම පිණ්ඩපාතයෙන් යැපෙමින් අර්හත්ඵලය ලබා ගැනීමට භාවනා කළා. එහෙම වුණත් රහත් භව නම් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබුණේ නෑ. කොපමණ කැපවීමක් කළා ද කියනවා නම්, අවුරුදු තිහ පුරාවට ම තමන්ගේ ලෙන ඉස්සරහ නිතර දකින්න ලැබෙන නා ගස දෙස හිස ඔසවා බලලා නෑ.

චිත්තගුත්ත තෙරුන් වහන්සේ ඒ ඒ කාලවල දී නා ගසේ මල් හටගන්නවා, කොළ බිමට වැටෙනවා, මීමැස්සන් ඇවිත් මල්පැණි බොනවා කියන මේ සිද්ධීන් හඳුනා ගන්නේ බිමට වැටිල තියන කොළ, මල්රොන් ආදීය දකින විටයි. ගහ දෙස බලන්නේ නැත්තේ මල්වල පියකරුබවට, සුවඳට මීමැස්සන්ගේ හඬට වගේම ගසේ අලංකාරවත් බවට තමන්ගේ සංවර සිත බිඳී යයි යන බියෙන් ය. ඒ විතරක් නෙවෙයි ඒ ලෙනේ සත් බුදුවරයන්ගේ අභිනිෂ්ක්‍රමණය සිතියම් කරලා තියෙනවා. ඒ සිතියම්වල පි‍්‍රයකරු ස්තී‍්‍ර-පුරුෂ රූප දකින්න පුළුවන්.

අවුරුදු තිහ පුරාවට ම ඒ චිත්‍රයක්වත් නො බලා මේ භික්ෂුව භාවනා කළේ ලෞකික සැප සම්පත් සහිත රූප දැකීමෙන් තමන්ගේ සිතට කෙලෙස් ඇතුළු වේ ය යන අදහසින්. තමන් වහන්සේගේ අධිෂ්ඨානය වුණේ අර්හත්ඵලය ලබා ගැනීමයි. උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් තිස්වැනි අවුරුද්ද නිමා වෙනවාත් එක්කම උතුම් රහත්ඵලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

චිත්තගුත්ත තෙරුන් වහන්සේගේ අපමණ කැප කිරීමත්, සංවර ඉඳුරන් ඇති බවත් ඒ නිසාම රහත්ඵලය ලැබූ බවත් යන පුවත ගම පුරාම පැතිරිලා ගියා. අනතුරුව මුළු ප්‍රදේශය පුරාම පැතිර ගියා. මෙහෙම නගර, දනවු අතර පැතිර ගිහින් අවසානයේ එකල රජ කළ මහාසේන රජතුමාටත් මේ පුවත අහන්න ලැබෙනවා.

රජතුමා චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ සංවර ඉඳුරන් ඇති බව අසා උන්වහන්සේ දැකීමට ආශා කළා. දවසක් තෙරුන් වහන්සේ වෙත වැඩම කරලා රජමාලිගාවේ දානයට වැඩම කරන්න ආරාධනා කළා. තෙරුන් වහන්සේත් එය පිළිගෙන පසු දින රජමාලිගාවට වැඩම කළා. මහාසේන රජතුමා චිත්තගුත්ත මහරහතන් වහන්සේගේ සංවරකම දැක පැහැදුණා.

හැමදාම රජ මාලිගාවට වැඩම කිරීමට ආරාධන කළා. තෙරුන් වහන්සේත් ආරාධනාව පිළිගෙන හැමදාම රජ මාලිගාවෙන් පිණ්ඩපාතය ලබා ගත්තා. දවසින් දවස කාලය ගෙවමින් අවුරුදු හයක් ම රජ ගෙදරින් දානය වැළඳුවා. තමන් වහන්සේට ඇවිදගන්න බැරි මට්ටමට පත් වෙන තෙක් රජමාලිගාවට වැඩම කළා. දැන් බොහොම වයෝවෘද්ධයි.

කොරණ්ඩ ලෙන අවට වැඩ සිටින අනෙක් තෙරුන් වහන්සේලා චිත්තගුත්ත රහතන් වහන්සේට උපස්ථාන කරන්න පටන් ගත්තා. මෙහෙම ටික දවසක් යනකොට තෙරුන් වහන්සේ දවසක් මහාසංඝයා අමතළා ‘මම හෙට පිරිනිවන් පානවා. ධර්මය ගැන හෝ අර්හත්ඵලය ගැන හෝ යම් සැකයක් තියනවා නම් විමසා විසඳා ගනු ලැබේවා’යි ධර්මඝෝෂා කළා.

විහාරවාසී තෙරුන් වහන්සේලාත්, උපාසක-උපාසිකා පිරිසත් සමීපයට ළං වෙළා ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

එක් තෙරනමක් චිත්තගුත්ත මහරහතන් වහන්සේ සමීපයට ඇවිත් ‘ස්වාමිනි, ධර්මය ගැනත්, අර්හත්ඵලය ගැනත් බොහෝ ධර්ම කාරණා පොතපතින් වගේම අනෙක් තෙරුන් වහන්සේලාගෙන් අසා දැන ගන්න පුළුවන්. එහෙම වුණත් ඔබ වහන්සේගේ පිරිනිවීමෙන් පසු මම මේ අහන්න හදන ප්‍රශ්නයට පිළිතුරු හොයා ගන්න බෑ. එයට හේතුව පිළිතුර දන්නේ ඔබ වහන්සේ ම වීම නිසයි’ කියලා උන්වහන්සේ නැවතත් තෙරුන් වහන්සේට නමස්කාර කරලා

‘ස්වාමිනි, ඔබ වහන්සේ අවුරුදු හයක් ම රජ ගෙදරින් දානය වැළදුවා, ස්වාමිනි, ඔබ වහන්සේට මහරජතුමාත්, බිසවත් දුටුවහොත් හඳුනා ගන්න පුළුවන්ද?’යි කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

පැමිණි පිරිසට ඉවසිල්ලක් නෑ එයට දෙන පිළිතුර මොකක්ද කියලා දැන ගන්නකම්. හැම දෙනාම නො ඉවසිල්ලෙන් බලා ඉන්න විට තෙරුන් වහන්සේ ඉතා අපහසුවෙන් ‘ඇවැත්නි, මට ඔවුන් දෙදෙනා දැක හඳුනා ගන්නට බෑ. කටහඬින් මේ රජතුමා, මේ බිසව කියලා හඳුනා ගන්න පුළුවනි’යි කියලා පිළිතුරු දුන්නා. හැමදෙනාම චිත්තගුත්ත මහ රහතන් වහන්සේගේ ඇස සංවර කර ගැනීම පිළිබඳ පුවතින් පුදුමයෙන් පුදුමයට පත් වුණා.

මොහොතක් ගතවන විටම තෙරුන් වහන්සේ නැවතත් පිරිස ඇමතුවා. ‘ඇවැත්නි, මම රජමාලිගාවෙන් දානය වළඳලා නැවත ලෙනට පිටත් වන කොට රජතුමාත්, රජබිසවත් මගේ පසුපස ගමන් කරනවා. ඒ හැම වතාවක ම මම ‘මහ රජතුමනි, නවතිනු මැනව‘යි කියනවා.

එම නිසා ඔවුන්ගේ ගමනිනුත් මට මේ රජතුමා ය, මේ රජ බිසව කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙම වුනත් දැක මට හදුනා ගන්න බෑ’යි තවදුරටත් තමන් වහන්සේ ආරක්ෂා කළ සංවර බව ප්‍රකාශ කරමින් සංවරකමෙහි අගය ලොවට දේශනා කර, ආදර්ශයෙන් පෙන්වා පිරිනිවන් පා වදාළායි කථා පුවතක් සීහළවත්ථු නම් පාලි බණ කථා පොතේ සඳහන් වෙනවා.

සංවරකම ම ආරක්ෂා කළ නිසා අර්හත්ඵලය ලබා සසර දුක නිමා කර ගැනීමටත්, රජතුමාගෙන් හා දහස් ගණනක් මිනිසුන්ගෙන් පුද පූජා ලැබීමටත් එයම හේතුවක් වුණා. පැවිද්දකු විසින් එතරම් ගැඹුරු සංවරකමක් ආරක්ෂා කළත්, ගිහියාට ද සංවරකම නිතරම අවශ්‍ය වෙනවා. සංවරකම ඇති විට බොහෝ පිරිසකගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍රවෙනවායි මේ කථා පුවත අපට උපදෙස් ලබා දෙනවා.