Print this Article


ඉවසීමේ සීමාවක් තිබිය හැකි ද?

ඉවසීමේ සීමාවක් තිබිය හැකි ද?

ලොකු - කුඩා, උගත් - නූගත්, දුප්පත් - පොහොසත් සෑම සමාජ මට්ටමක ම පුද්ගලයන් තුළ මුල් බැසගත් ආතති ලක්ෂණයකි, නොඉවසිලිමත්බවය. මෙම තත්ත්වය සඳහා බලපාන හේතු සාධක රැසක් ම ඇතත් ප්‍රධානත ම සාධකය වන්නේ තරගකාරී බවයි. අනෙකා අභිබවා යාමේ නොඉවසිල්මත්කමත්, අනෙකාට වඩා කැපී පෙනීමේ ආශාවත් මෙම තරගය සඳහා පුද්ගලයාට මං පෙත් විවර කර දී ඇත.

මෙම තරගයේ ස්වභාවය කෙටියෙන් පහදන්නේ නම් වර්තමානයේ දහම් පාසල්වල පවා ඇත්තේ තරගකාරී ස්වභාවයකි. දූ දරුවන් මෙම තරගය සඳහා යොමු කරමින් මව්පියෝ ද හතිලමින් තරග වදිති. මේ නිසාම සමාජයේ සමස්ත සාමාජිකත්වය ම දැඩිව අසහනයට පීඩාවට හා නොඉවසිලිමත්භාවයට පත්ව ඇත.

මෙයින් සමාජය මුදා ගන්නට නම් ඉවසීමේ ගුණාංග පුරුදු පුහුණු කළ යුතුව ඇත. මෙය නූතනයේ දී දරා ගැනීමේ හැකියාව වශයෙන් ද හඳුන්වනු ලැබේ. ඉවසීමේ ගුණාංග පිළිබඳ ඉතා පුළුල් වූත්, ගැඹුරු වූත් විග්‍රහයක් බුදුසමය තුළ දක්නට ඇත. උෂ්ණ, ශීත, සාපිසාව ආදී සියල්ල ඉවසීමේ හැකියාව ප්‍රගුණ කිරීම තුළින් ජීවිතයට ඇගයීම, ශාන්තිය ලැබෙන බව බුදුසමය අවධාරණය කර ඇත.

එහෙත් ඇතැමුන්ගේ අදහස වන්නේ ඉවවසීම යනු අනුවණකමක් බවයි. සැබැවින්ම අනුවණකම නිසා වන නිහඬවීම ඉවසීමක් නොවේ. එසේම දුබලකම නිසාත් පුද්ගලයාගේ තරාතිරම ආදිය නිසාත් ඕනෑම දෙයක් දරා සිටීම නියම ඉවසීමක් ලෙස දැක්විය නොහැකි ය. එසේම සිත තුළ යටි අරමුණක් රඳවමින් ඕනෑම දෙයක් දරා සිටීම ද ඉවසීමේ ගුණය වශයෙන් දැක්වීම වරද සහිත ය.

බුදුසමය ඉවසීම යනුවෙන් අවධාරණය කරනුයේ කරුණාව හා ප්‍රඥාව පදනම් කරගත් දරා ගැනීමේ හැකියාවයි. මෙසේ කරුණාව හා ප්‍රඥාව පදනම් වූ ඉවසීම, බුද්ධ කාරක ධර්මයක් වශයෙන් ක්ෂාන්ති නමින් පාරමිතාවක් බවට ද පත් වන්නේ ය. මෙම ඉවසීම තුළින් ඇතිකර ගත යුත්තේ තරහ නොවීමයි. මෛත්‍රී සහගත කරුණා සිතයි.

අප විනාශ කිරීමට උත්සාහ දරන පුද්ගලයා කෙරෙහි පවා ප්‍රඥා සහගතව, කරුණාවෙන් යුතුව විසිය හැකි නම් එම ඉවසීම සැබෑ ඉවසීම වේ.

ඉවසීමේ සීමාවක් ඇතැයි බොහෝ පිරිස් පවසති. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව නම් ඉවසීමේ සීමාවක් නැත. යමකු තම ඉවසීමට සීමාවක් පනවාගන්නේ නම් සැබැවින් ම හේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්නෙක් නොවන්නේ ය.

එසේ නම් වෛරය නතර කරලීමේ සීමාව වන්නේ මෛත්‍රී ධර්මයයි. පුද්ගලයකු අපට වෛර කරන්නේ නම් පෙරළා ඔහුට වෛර කිරීමෙන් දෙපිරිසෙහි ම වෛරය විනා මෛත්‍රිය වර්ධනය නොවේ. ද්වේෂ සහගත වීම ද එසේ ම ය. වෛරය හා විරෝධතාව නතර කරලීමට ඇති එකම පිළිවෙත හෙවත් ක්‍රමවේදය වන්නේ ඉවසීම පමණි. එය ප්‍රඥා සහගත කරුණාවෙන් යුක්ත වූවකි.

මිනිසකුගේ දර දඬුකම් හමුවේ මී ගොනකු පැමිණෙන දුක් සියල්ල කෙසේ හෝ දරා සිටියි. ඒ නොමිනිස් ක්‍රියාකාරකම් තුළ ඌට කරකියා ගතහැකි කිසිවක් නැති නිසා ය. නොඑසේ නම් ඌ බොහෝ දෑ මිනිසාට එරෙහිව කරනු ඇත. ඇතැම් පුද්ගලයන් ද මෙසේ මී ගොනුන් මෙන් දරා සිටීමටත්, නිහඬ වී සිටීමත් පෙළඹී ඇති අවස්ථා ද දැකිය හැකි ය.

මතුපිටට මෙය ඉතා ගැඹුරු ඉවසීමේ ගුණයක් වශයෙන් පෙනුණ ද ඉවසීමේ ගුණයෙහි අභ්‍යන්තරික ප්‍රධාන සාධකය වන්නේ ප්‍රඥා සහගත කරුණාවයි. හෙවත් මෛත්‍රී සහගත කරුණාවයි. මේ නිසා මී ගොනකු මෙන් දරා සිටීම, ඉවසීමේ ගුණයෙහි අභ්‍යන්තරික සාධකයන්ගේ හීනතාවකින් යුත්, කරකියාගත හැකි කිසිවක් නැති නිසා නිහඬව සිටීමකි. තමා කරා පැමිණෙන සියලු කම්කටොලු මී ගොනකු මෙන් දරා සිටීම නොව, ඒවා ජය ගැනීමට ක්‍රියා කිරීම මිනිස් වීර්යයේ බලපරාක්‍රමයේ කාර්යභාරය යි.

ඉවසීම සමාජ ප්‍රගතියට බාධාවක් නොවන්නේ ය.

මජ්ක්‍ධිම නිකායේ කකචුපම සූත්‍රයේ දී ඉවසීමේ ගුණය ප්‍රගුණ කළ යුතු අයුරු ඉතා ගැඹුරින් දක්වා ඇත. එහි දැක්වෙන පරිදි ඉවසීම ඉතා පහළ අඩියක සිටින, ඉතා සුළු කාරණයට පවා අවි ආයුධ පරිහරණය කරන, වහා කිපෙන සුළු මිනිසුන් වෙසෙන පෙදෙසකි සුනාපරත්නය. ධර්ම ප්‍රචාරය සඳහා එහි වැඩම කිරීමට තීරණය කළ පුණ්ණ මන්තානිපුත්ත භික්ෂුවගේ ඉවසීම කෙබඳු දැයි බුදුරදුන් විසින් කළ පරීක්ෂාවක් මෙම සූත්‍රයේ දැක්වේ. එහිදී බුදුරජාණන් වහන්සේ “පුණ්ණ, ඒ ජනපදවාසීන් ඉතා නපුරු ය. ඔබට බැණ වැදීමට ඉඩ තිබෙනවා නේද?” ස්වාමීනි ඒ වුණාට ඔවුන් මට පහර නොදුන් නිසා සුනාපරන්තවාසීන් හොඳ යැයි මම සිතනවා.

“පුණ්ණ, ඒ ජනපදවාසීන් ඉතා නපුරු ය. ඔබට යම් හෙයකින් පහරදීමට ඉඩ තිබෙනවා නේද?” “ස්වාමීනි, ඒ වුණාට ඔවුන් මට දඬුමුගුරුවලින් ගල්මුල්වලින් පහර නොදුන් නිසා සුනාපරන්තවාසීන් හොඳ යැයි මම සිතනවා.

"පුණ්ණා ජනපදවාසීන් ඔබට දඬුමුගුරුවලින් ගල්මුල්වලින් පහර දුන්නොත්",

“ස්වාමීනි, ඔවුන් මට දඬුමුගුරුවලින්, ගල්මුල්වලින් පහර දුන්නා මිසක මාගේ අතක් පයක් නොකැඩූ නොකැපූ නිසා සුනාපරන්තවාසීන් හොඳ යැයි මම සිතනවා.

මේ අයුරින් පුණ්ණ භික්ෂුවගේ ඉවසීම කෙබඳුදැයි පරීක්ෂා කළ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන්

“පුණ්ණ, ඒ ජනපදවාසීන් යම් හෙයකින් ඔබ ඝාතනය කළ හොත්,” ස්වාමීනි මරණය වැළඳ ගැනීමට සූදානමින් සිටින පුද්ගලයකු වූ මට එය මෙලෙස යමෙක් මට ලබා දෙන්නේ නම් මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. පුණ්ණ භික්ෂුවගේ මෙම ප්‍රකාශ ඉවසීමේ ගුණය සීමාරහිත බව දැක්වීමට ඉතා උචිත ය. එසේම එකට එක කිරීම මඟින් නොව මෛත්‍රීය, දයාව, කරුණාව වැනි ගුණ ධර්මයන් ප්‍රගුණ කිරීම තුළ වර්ධනය වන්නේ සැබෑ ඉවසීම බව මෙයින් තවදුරටත් පැහැදිලි වේ.

එසේම ඇතැම් පුද්ගලයෝ බිය නිසා ද ඉවසති. තමාට වඩා බලවත් පුද්ගලයන්ට ඇති බිය නිසාත්, එම පුද්ගලයාගෙන් පහරකෑමට ලක්වේ යැයි ඇති වන බිය නිසාත් ඉවසන පසුබිමක් දැකිය හැකි ය. සැබැවින්ම එවැනි අවස්ථාව මතුපිටින් ඉවසීමක් විනා අභ්‍යන්තර අවංක ක්‍රියා ස්වරූපයෙන් ඉවසීමක් යැයි දැක්විය නොහැකි ය.

එකට එක කරයි යන බිය නිසා ද ඉවසන පුද්ගලයන් සමාජයේ දැකිය හැකි ය. තමාට වඩා අඩු බලයක් තිබෙන පුද්ගලයන් ඉදිරියේ නොඉවසන, තමාට වඩා වැඩි බලයක් තිබෙන පුද්ගලයන් ඉදිරියේ ඉවසන ස්වභාවයක් අප අතර දක්නට ලැබේ.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් පවසන පරිද් “උස් තැන් දැක හැකිළෙන්නේ” “මිටි තැන දැක පුප්පන්නේ” වැනි ස්වරූපයකි එය. එහෙත් සැබෑ ඉවසීම වන්නේ එකට එක කිරීමේ හැකියාව තිබියදීත් එසේ නොකර උපේක්ෂා සහගත වන්නේ නම් පමණි. එසේ නම් ප්‍රබලයා මෙන් ම දුබලයන් ඉදිරියේ ද ඉවසීම සැබෑ ඉවසීමේ ගුණය වේ. බුදුසමය අනුමත කරන්නේ එවැනි පරිපූර්ණ ඉවසීමේ ගුණයයි.

කිසියම් පුද්ගලයෙක් මහපොළව සමඟ එරෙහි වී මහපොළව යම් අවියකින් කපන්නෙමි’ යි කොටන්නෙමියි. මම උඹට වෛර කරන්නෙමියි කියමින් මහ පොළව මත මල මුත්‍රා කරන්නේ නමුත්, මහ පොළවට පහරදුන්නේ නමුත් මහපොළව අකම්පිත ව සිටී. මහපොළව අකම්පිතව වෛරයෙන් තොරව සිටිනා ලෙස අප ඉවසීමෙන් සිටිය යුතු බව බුදුසමයෙ'හි අවධාරණය වේ.

එසේම යම් පුද්ගලයකු ආකාශයත් සමඟ අමනාප වී කන්දක් උඩට නැඟ අහස අඳුරු කිරීමට, දුර්වර්ණ කිරීමට යම් කළු තෙල් වැනි පාටක් විසි කළත් අහස දුර්වර්ණ වන්නේ නැත. මෙසේ අහස මෙන් අවමන් හමුවේ අපට සිත නොසෙල් වී තබාගන්නට හැකි නම් එබඳු අවස්ථාවක සැබෑ ඉවසීම තිබෙන බව බුදුසමය පෙන්වා දෙයි. මෙයින් කෙනෙකුට ඉවසීම ප්‍රගුණ කිරීමෙහිලා මනා උපදේශයක් සැපයේ.

තවද ගඟක් උතුරා යෑම නිසා එයින් පාඩු වූ පුද්ගලයකු ගඟෙන් එම පලිය ගැනීම සඳහා ගඟ කෙරෙහි වෛරයෙන් විශාල හුළු අත්තක් ගෙන එය ගඟ දිගේ පහළට ඇදගෙන එන්නේ නමුත් එයින් ගඟ රත් කරන්නට හෝ දවන්නට හැකි වන්නේ ද? එසේ කළ නොහැකි ය.

මෙම උදාහරණ මඟින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයකු සමාජය හමුවේ ඉවසිය යුත්තේ කෙසේද? යන්න පෙන්වා දී ඇත. ඉවසීම බාගෙට කිරීම ප්‍රමාණවත් නොවේ. එය කකුලක ඇනුණු කටුවකින් කොටසක් පමණක් ඉවත් කිරීමක් වැනි ය. කටුවේ කොටසක් ඉතිරි වන ලෙස කටුව ඉවත් කළහොත් කකුළ බිම තබන වාරයක් වාරයක් පාසා එය රිදුම් දේ. අඩක් ඉවසීමත් එවැනි ය. එය සම්පූර්ණයෙන් නොකළහොත් වෛරයෙන්, ක්‍රෝධයෙන් තැවීමට සිදුවේ. එලෙස යමකු සතුරාට මෛත්‍රී කිරීම තුළින් කලක් යන විට සතුරුකමත්, වෛරයත් කෙමෙන් පහ වී යයි. එනිසා එය ප්‍රායෝගිකව කළ හැකි, වත්මන් සමාජය තුළම ප්‍රගුණ කළ යුතු, අත්‍යවශ්‍ය ගුණ ධර්මයකි. එබඳු ඉවසීමක් ප්‍රගුණ කළ හැක්කේ දුර්වලයකුට නොව ප්‍රඥාව හා කරුණාවෙන් ද මනා පෞරුෂයකින් ද යුත් ශක්ති සම්පන්න කෙනකුට පමණි. එය කළ හැකි දෙයකි.