Print this Article


ධර්මයෙහි පිහිට ධර්මානුකූල වූ තරමට යි

ධර්මයෙහි පිහිට ධර්මානුකූල වූ තරමට යි

සතර අපායේ වැටෙමින්, දුක් සහිත සසර ගමනක් ගෙවමින්, බොහෝ දුක් විඳින මේ ලෝක සත්ත්වයාට ඇති එකම පිහිට, එකම පිළිසරණ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යි. වෙනත් පිහිටක්, පිළිසරණක්, ආලෝකයක් පෙනෙනතෙක් මානයකවත් ඇතැයි කියා සිතීමට අපහසුයි. එතරම් ම මේ ධර්මය අපේ ජීවිතවලට යහපත පිණිස, සැපය, අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා.

ඒ කවර ධර්මයක් ද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය ගම්භීරයි. ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුසල පක්ෂයට අයිති. අකුසලයට විරුද්ධයි. මේ ලෝකයේ කුසල් කියා හෝ පින කියා හෝ යම් දෙයක් ඇද්ද ඒ සියලුම කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය කියන කොටසට අයිතියි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන තුරාවට ම දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සෑම බුද්ධ දේශනාවක ම චතුරාර්ය සත්‍ය ධර්මය අඩංගුයි. අපි ඒ බුද්ධ දේශනාවේ තිබෙන චතුරාර්ය සත්‍ය මතුකර ගන්නට ඕනෑ. අධ්‍යයනය කරන්නත් ඕනෑ. සෑම බුද්ධ දේශනාවක ම කුසලය වඩන්නයි තිබෙන්නේ. අකුසලය වඩන්නට නොවේ. අකුසලයෙන් ගලවාගෙන කුසලයට ගන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ. ඒ සියලු කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය රාමුවට අයිති වන්නේ.

දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අමතා කියා සිටියා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ගැඹුරු ගම්භීර පටිච්චසමුප්පාදය මට ඉතා සරලව තේරෙනවා. යනුවෙන් එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා

“පින්වත් ආනන්ද එහෙම කියන්න එපා. ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි. අවබෝධ කිරීමට අපහසුයි.” කියමින් භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ තිබෙන ගැඹුරු බව පසක් කළා. ගම්භීර අර්ථ ඇති ඒ ධර්මය ගිහි, පැවිදි ශ්‍රාවකයාට දේශනා කළේ මේ සුන්දර, ගැඹුරු, ගම්භීර ධර්මය අනුගමනය කිරීමෙන් අපට මේ සසරින් එතෙර වීමට උපකාරී වෙන නිසයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව මුලින්ම දහම් දෙසීමට උන්වහන්සේගේ සිත යොමුවුණේ නැහැ. එයට හේතුව වූයේ රාගයෙන් රත්වෙලා සිටින, රාගයෙන් ඇලී සිටින කාමයට, ආශාවන්ට වශී වෙලා සිටින ලෝක සත්ත්වයාට මේ ධර්මය දැක දැන ගැනීමට නොහැකි වේවි කියලයි. එතරම්ම ලෝක සත්ත්වයාගෙන් මේ ධර්මය දුරස්ථයි. ලෝක සත්වයා ගමන් කරන්නේ සසර ගමනකයි. එයට පරිසරයෙනුත් අනුග්‍රහය තිබෙනවා.

අද වන විට ඒ ගැඹුරු දහම කතා කරන්නේ නැති මට්ටමකට පත් වෙලා. ඒ ගැඹුරු දහමට අද ඇතැම් දෙනා කැමැති නැහැ.

සංයුක්ත නිකායේ දෙවැනි පොත් වහන්සේගේ දේශනාවක් තිබෙනවා "ආනී" සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ඒ කාලයේ දස අරහා කියලා රජෙක් සහ ඔහුගේ ඥාතීන් රට පාලනය කළා. මේ රජතුමාට තිබුණා ආනී කියලා මිහිඟු බෙරයක්. සමහර විට මෙය අණ බෙරය වෙන්න ඇති. පරම්පරා කීපයක් යද්දී මේ බෙරයේ කඳ මැදින් කුඩා සිදුරක් හැදුණා. ඒ සිදුර වහන්නට ලීවලින් හැදූ විශේෂිත ඇණයක් ඒ සිදුරට එබ්බවූවා. එයින් මිහිඟු බෙරයේ තිබූ සිදුර වැසී ගියා. කාලයක් යද්දී බෙරයේ තව තැනක සිදුරක් හැදුනා. ඒකත් විශේෂිත ලී ඇණයක් යොදා වසා දැමුවා. තව කාලයක දී කඳේ තව තැනකින් තවත් සිදුරක් හැදුණා. එයත් වසා දැමුවා. පරම්පරා කීපයක් යද්දී කාලයෙන් කාලයට බෙරයේ කඳ පුරා සිදුරු හටගත් නිසාත් ඒ සිදුරු ඇණ යොදා වසා දැමූ නිසාත් බෙරයේ කඳ සම්පූර්ණයෙන් ම ඇණවලින් පිරී තිබුණා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, කාලයක් යද්දී මේ මිහිඟු බෙරයේ බෙර කඳ අතුරුදන් වී ගොස් ඇණ ගොඩක් පමණක් ඉතිරි වුණා. කලින් තිබූ බෙර කඳ වෙනුවට ඇණ යෙදූ බෙර කඳක් පමණයි පසුව සිටි පරම්පරාවට ඉතිරි වුණේ.

මහණෙනි, මේ වගේ අනාගතයේ ඇතැම් භික්ෂූන් වහන්සේ පහළ වෙනවා. තථාගතයන් වහන්සේගේ දහම උඩුයටිකුරු කරන ඒ භික්ෂූන් තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා විකෘති කරනවා. ලෝකයෙන් එතෙර වීමට උපකාරීවන ලෙස වදාළ මේ ඉතා ගැඹුරු අර්ථ ඇති, දහම සමච්චලයට ලක් කරනවා.

සැබෑ දහම දේශනා කරද්දී ඇතැම් ශ්‍රාවකයෝ ඒ දහමට කන යොමු කරන්නේ නැහැ. සිත පිහිටුවන්නෙත් නැහැ. ඒ දහම ඉගෙන ගන්න ඕනෑ, ප්‍රගුණ කරන්න ඕනෑ, නුවණින් යුතුව කල්පනා කරන්න ඕනෑ කියා සිතන්නේ නැහැ.

මහණෙනි, ඒ වෙනුවට අනාගතයේ ඇතැම් බුද්ධ ශාසනයේ පැවිදි වූ ශ්‍රාවකයෝ කතා කියනවා. සිත කුල්මත් කරන දේ පවසනවා. ධර්ම ආසනයේ හිඳගෙන විහිළු කියනවා. එනිසාම ගිහි උදවිය ඒවා අහන්නට කැමැති වෙනවා. එලෙස දේශනා කරන දේ කන් යොමා අසනවා. සිත ඒ කෙරෙහි පිහිටුවා ගන්නවා. ඒ කියන දේ ප්‍රගුණ කරන්න ඕනෑ කියා හිතනවා. මහණෙනි, එනිසාම මේ ගම්භීර ගැඹුරු නුවණින් කල්පනා කළයුතු දහම අනාගතයේ දී අතුරුදන් වෙනවා. ධර්මය වගේ ම දහමක් කියන නිසා එය අදහා ගන්නවා.

පිරිසුදු ධර්මය අතුරුදන් වන්නේ කොහොම ද? ඒ නිවැරැදි දහම කියන්න කෙනෙක් නැහැ, වගේම නිවැරැදි දහම ඉගෙන ගන්න කෙනකුත් නැති වෙනවා. ශ්‍රාවකයා නිවැරැදි දහමට කැමැතිත් නැහැ. වුවමනාවක් නැහැ. සිත පිනායාමකුත් නැහැ. එනිසාම පිරිසුදු දහම භාවිතයට නොගන්නා නිසාම ක්‍රමයෙන් අතුරුදන් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, ඔබ මේ ආකාරයට හික්මෙන්න. ඉතා ගැඹුරු, ගම්භීර අර්ථ ඇති ලෝකෝත්තර මේ ධර්මය ශ්‍රාවකයන් කියා දෙද්දී මම හොඳින් අහනවා. කියා හික්මෙන්න. මේ දහමට මනා කොට කන යොමු කරනවා කියා හික්මෙන්න. මේ දහම ඉගෙන ගන්න ඕනෑ. සිතේ පිහිටුවා ගන්න ඕනෑ, ප්‍රගුණ කරන්න ඕනෑ, කියා හික්මෙන්න කියා භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනාවේ දී අපට වදාළ සේක.

අපි මේ සුන්දර ධර්මය ගැඹුරුයි කියලා අතහැරිය යුතු නැහැ. ඉතා ගැඹුරු දහමකුයි උන්වහන්සේ අවබෝධ කොට වදාළේ. එහි අර්ථ ගැඹුරුයි. ඒ දහම ගැඹුරු නැත්නම් අපි මේ වන විටත් අවබෝධ කර තිබෙන්නට ඕනෑ. සසරින් එතෙර වෙලා සිටින්නටත් ඕනෑ. අපි තවම ඉපදෙන මැරෙන මේ ලෝකයේ ඉන්නේ ඒ ගැඹුරු දහමෙහි සිත පිහිටුවා ගන්නේ නැති නිසයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළා.

“පින්වත් මහණෙනි, මේ ගැඹුරු ගම්භීර දහම අහන්න ආශා කරන්න. ඇසූ ධර්මය අවබෝධ කරන්න ඕනෑ කියලා හිත පිහිටුවා ගන්න කියා වදාළා.”

එනිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලෙස අපි මේ පිරිසුදු දහම වැනසී යාමට පෙර ඒ දහම ඉගෙන ගැනීමට ආශා කරමු. කෙළවරක් නැති දීර්ඝ සසර ගමන තුළ අපි ඇවිද යන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා දේශනා කළ දහම ලෝකයේ පවතින කාලයක් අපි මේ ගෙවා දමමින් සිටින්නේ. මේ බුද්ධ ශූන්‍ය කාලයක් නොවේ, චතුරාර්ය සත්‍ය ධර්මය කතා කරන කාලයේ, ඒ ශ්‍රාවක සංඝරත්නය වැඩ සිටින කාලයේ එයින් අප ප්‍රයෝජන ගත යුතු නොවේ ද? මේ දුර්ලභ අවස්ථාව මඟහැර ගත යුතු ද?

දහම ලෝකයට විවර වී ඇති මෙවැනි කාලයකත් ඒ ශාස්තෘන් වහන්සේ ඇතැම් බෞද්ධයෝ නිවැරැදිව හඳුනාගෙන නැහැ. ඒ දහමේ මුල, මැද, අග දන්නෙත් නෑ. එයින්ම අපට තේරෙනවා ඒ දහම කොතරම් දුර්ලභ ද කියලා.

එනිසා මේ දුර්ලභ අවස්ථාවේ මනුලොව ඉපදුණා. ධර්මය ඇහෙන ප්‍රදේශයක බෞද්ධ වෙලා ඉපදුණා. වාසනාවන්ත දුර්ලභ උපතක් ලැබී තිබෙනවා. නමුත් ඒ බව දන්නේවත් නැති පිරිසක් ඉන්නවා. මේ වාසනාවන්ත උපත වේගයෙන් ගෙවී යනවා. වසංගත, උවදුරු ව්‍යසන, රිය අනතුරු හෝ වෙනත් ක්‍රමවලින් මරණයට පත්වන්නේ මේ සුන්දර මිනිසත් බවයි. ආයුෂ වේගයෙන් ගෙවීගොස් වහා මරණය අප කරා ළඟා වෙන්න පුළුවන්. එනිසා මේ කෙටි කාලය තුළ දී අප්‍රමාද නොවී මේ සුන්දර දහමේ හැසිරී දුක්ඛිත සසරින් එතෙරවීමට වෙර වීරිය වඩමු.